"කිසිම සැකයක් නැහැ, මෙතෙක් වාර්තා වූ විශිෂ්ටතම එක්දින ඉනිම එයයි."

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මයිකල් වෝන් එලෙස පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් (නොවැම්බර් 7 වැනිදා) ඇෆ්ගනිස්ථානයට එරෙහිව වාර්තා කළ අගනා ඉනිම පිළිබඳවයි.

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැති තරගයේදී ග්ලෙන් මැක්ස්වෙල් ක්‍රීඩා කළ ඉනිම පිළිබඳව අද වන විට ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්ව තිබේ.

පාදයේ ඇතිවූ ආබාධයකට මුහුණ දෙමින් මැක්ස්වෙල්, ඇෆ්ගනිස්ථානයට එරෙහිව වාර්තා කළ අති විශිෂ්ට ද්විත්ව ශතකය හේතුවෙන් ඔස්ට්‍රේලියාවට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා යාමට හැකි විය.

 

ඊයේ තරගයේ දී සිදුවුයේ කුමක්ද ?

මුම්බායිහිදී පැවති තරගයේදී ඇෆ්ගනිස්ථානය ලබාදුන් ලකුණු 292ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ඔස්ට්‍රේලියාව ලකුණු 49 කට කඩුලු 4ක් දැවී ගොස් තිබියදී මැක්ස්වෙල් ලකුණු රැස් කිරීමට පිටියට පැමිණියේ පන්දු යවන ක්‍රීඩක අස්මතුල්ලා ඕමර්සායි විසින් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ බලාපොරොත්තුවෙන් යොමු කළ පන්දුවට මුහුණදීම සඳහායි.

කෙසේ වුවද එම පන්දුවට සාර්ථකව මුහුණ දුන් මැක්ස්වෙල් එක් අන්තයක රැඳී සිටිමින් සිය කඩුල්ල ආරක්ෂා කර ගනිද්දී ඕස්ට්‍රේලියාව පන්දු වාර 19ක් වන විට ලකුණු 91 කට කඩුලු 7ක් දැවී ගොස් අසීරු තත්ත්වයකට මුහුණ දී සිටි අයුරු දක්නට ලැබුණි.

xfdgert

සිය කණ්ඩායමේ නායක පැට් කමින්ස් සමග එක්වෙමින් ග්ලෙන් මැක්ස්වෙල් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරය දියත් කළේ මුම්බායි වන්කඩේ ක්‍රිඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින්ය.

අවස්ථා දෙකකදී මැක්ස්වෙල් ලබාදුන් උඩපන්දු ඇෆ්ගනිස්ථාන පන්දු රකින්නන් අතින් ගිලිහි යාම ද සඳහන් කළ යුතු කරුණකි.

එම අවස්ථා හැර මැක්ස්වෙල් දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට නැවත අවස්ථාවක් ලබාදීමට ඔහු ඉඩ නොදුනි.

මැක්ස්වෙල් විසින් පිටිය සිසාරා සිය අණසක පතුරවමින් ලකුණු රැස් කරමින් සිටියදී ඔහුගේ පාදයේ මස් පිඩු පෙරලීමේ ආබාධයකට මෙන්ම, කොන්දේ ඇතිවූ ආබාධයක් නිසා දැඩි වේදනාවකට ලක්ව සිටින අයුරු දක්නට ලැබුණි.

කෙසේ වුවද සිය ඉනිමේ ලකුණු 100 වාර්තා කරන විටද ආබාධයෙන් පෙළෙමින් සිටි මැක්ස්වෙල් අවස්ථා කිහිපයකදී පිටිය මැද වේදනාව දරා ගත නොහැකිව ඇද වැටුණද ඔහු සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ට ඉතා දුර්ලභ ඉනිමක් දැක බලා ගැනීමට අවස්ථාව උදා කර දෙමිනි.

එහිදී මැක්ස්වෙල් විසින් පන්දු 128 කදී හතරේ පහරවල් 21ක් සහ හයේ පහරවල් 10ක් සමග නොදැවී ලකුණු 201ක් රැස් කිරීමට සමත් විය.

ග්ලෙන් මැක්ස්වෙල් සහ පැට් කමින්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 8 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 202ක නොබිඳුණු සබඳතාවයක් පැවත්විය.

එහිදී අගනා සහයක ඉනිමක් ක්‍රීඩා කළ පැට් කමින්ස් පන්දු 68 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 12ක් රැස් කළේය.

 

මැක්ස්වෙල්ගේ ඉනිම විශේෂ වන්නේ ඇයි ?

max

ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉනිම ඉතිහාසගත වන්නේ එය එක්දින ජාත්‍යන්තර තරගයක ලකුණු හඹා යන කණ්ඩායමක පිතිකරුවෙකු වාර්තා කළ පළමු ද්විත්ව ශතකය වීම සහ ආරම්භක පිතිකරුවෙකු නොවන පිතිකරුවෙකු විසින් ලබාගත් ද්විත්ව ශතකය වීම හේතුවෙන්ය.

එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් පළමු ඕස්ට්‍රේලියානු පිතිකරුවා වන්නේද මැක්ස්වෙල් ය.

එමෙන්ම එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ 11 වන ද්විත්ව ශතකය මෙය වන අතර ලෝක කුසලාන එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙකු රැස් කළ තෙවන ද්විත්ව ශතකය මෙය වේ.

මේ අතර මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පන්දු 40 කදී ශතකයක් වාර්තා කළ මැක්ස්වෙල් ලෝක කුසලාන තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකයට හිමිකම් කීම ද විශේෂත්වයකි.

 

නමුත් මෙය එක්දින තරගවල හොඳම ඉනිම ද?

මේ, තීරණාත්මක ජයග්‍රහණ සඳහා කණ්ඩායම් රැගෙන ගිය තවත් එක්දින ශතක නවයක් පිළිබඳ විමසා බැලීමකි.

xfdgrt


කපිල් දේව්

kapil dev

කපිල් දේව් - ඉන්දියාව වෙනුවෙන්, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව 1983 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 175* රැස් කළේය.

කපිල් දේව් පිටියට පැමිණෙන විට ඉන්දියාව ලකුණු 17 කට කඩුලු 5ක් බිඳ වැටී තිබුණි.

නමුත් තුන් ඉරියව් ක්‍රීඩක කපිල් දේව්, ටන්බ්‍රිජ් වෙල්ස්හිදී පන්දු 138කදී නොදැවී ලකුණු 175ක් රැස් කරමින් එවකට වාර්තාගත එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ වාර්තා කළ ඉනිම තෙක් එක්දින තරගවලදී අංක හයේ හෝ පසුපෙළ පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස කපිල් දේව්ගේ ඉනිම වසර 40ක් පුරා වාර්තාවට හිමිකම් කීය.

 

වීව් රිචඩ්ස්

වීව් රිචඩ්ස් - බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් එංගලන්තයට එරෙහිව, 1984 දී ලකුණු 189*ක් රැස් කළේය.

විශිෂ්ටතම එක්දින ඉනිමක් ලෙස සැලකෙන රිචඩ්ස් ගේ එම ඉනිම 1997 වන තෙක් වාර්තාගත පුද්ගලික ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ඉනිමක් ලෙස වාර්තා අතර පැවතුණි.

ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී තමන් වටා කඩුලු බිඳ වැටුණද විව් රිචඩ්ස් ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය.

කොදෙව් පිල ලකුණු 166-9ක් ලෙස තිබියදී රිචඩ්ස් ලකුණු 96ක් ලබා සිටියද අවසන් ක්‍රීඩක මයිකල් හෝල්ඩින් සමඟින් ලකුණු 106ක් රැස්කරමින් පන්දු 170කදී නොදැවී ලකුණු 189ක් රැස් කළේය.

 

අරවින්ද ද සිල්වා

අරවින්ද ද සිල්වා - 1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107* තවත් සුවිශේෂි ඉනිමකි.

ලාහෝර්හිදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට ලකුණු 242ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදීම ලකුණු 23 කට කඩුලු 2ක් බිඳ වැටුණි.

නමුත් අරවින්ද ද සිල්වා, ග්ලෙන් මැග්‍රාත් සහ ෂේන් වෝන් ඇතුළු පන්දු යවන්නන්ගේ බල ඇණියට එරෙහිව ලෝක කුසලාන අවසන් මහා තරගයකදී ලකුණු හඹා යමින් ලබාගත් ශතකය තුළින් ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කීර්තියක් අත්කර දීමට සමත් විය.

Aravinda de silva 1996

අරවින්ද ද සිල්වා - 1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 107* තවත් සුවිශේෂි ඉනිමකි.

 

හර්ෂල් ගිබ්ස්

හර්ෂල් ගිබ්ස් - දකුණු අප්‍රිකාව වෙනුවෙන් 2006 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 175 ක් රැස් කළේය.

ජොහැනස්බර්ග් හි පැවති එක්දින තරගාවලියේ තීරණාත්මක පස්වන සහ අවසාන තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව විසින් දකුණු අප්‍රිකාවට ලකුණු 435ක ඉලක්කයක් ලබා දෙන ලදී.

ගිබ්ස් පන්දු 111 කදී ලකුණු 175 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් අත්කර දුන්නේ එක්දින තරග ඉතිහාසයේ ඉහළම සාර්ථක හඹායාම ලෙස එය වාර්තා පොත් අතරට එක් කරමිනි.

 

ඇඩම් ගිල්ක්‍රිස්ට්

ඇඩම් ගිල්ක්‍රිස්ට් - 2007 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ලකුණු 149 තවත් සුවිශේෂී ඉනිමක් ලෙස දැක්විය හැකිය.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඇඩම් ගිල්ක්‍රිස්ට් පන්දු 104කදී ලකුණු 149ක් රැස්කරමින් බ්‍රිජ්ටවුන්හිදී අවසන් මහා තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උදුරා ගනු ලැබීය.

එය ලෝක කුසලාන අවසන් තරගයක පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතර පවතී.

වමත් පිතිකරු ස්කොෂ් පන්දුවක් ඔහුගේ වම් අත්වැසුමේ රඳවා තබා ගනිමින් එම ඉනිමේදී පන්දුවට පහර දුන්නේය.

 

කෙවින් ඕ' බ්‍රයන්

කෙවින් ඕ' බ්‍රයන් - 2011 ලෝක කුසලාන තරගාවලියේදී - අයර්ලන්තය වෙනුවෙන් එංගලන්තයට එරෙහිව රැස් කළ ලකුණු 113ද කැපී පෙනෙන ඉනිමකි.

බැංගලූරුහි පැවති ලෝක කුසලාන තරගාවලියේ වාර්තාගත ලකුණු 328 ක ඉලක්කයක් හඹා යමින් සිටි අයර්ලන්තය ලකුණු 106 කට කඩුලු 4 ක් ලෙස සිටියදී, තරගාවලි ඉතිහාසයේ විශාලතම කම්පනය ඇති කිරීමට ඔහු සමත් විය.

ඔහු පන්දු 50කින් සිය ශතකය කරා ළඟා වූ අතර එය ලෝක කුසලාන තරගාවලියක වාර්තාවක් වූ වේගවත්ම ශතකය වූ අතර ග්ලේන් මැක්ස්වෙල් 2023 ලෝක කුසලාන තරගාවලියේදී වේගවත්ම ශතකය පන්දු 40 කින් රැස් කරමින් එම වාර්තාව තමන් සතුකර ගත්තේය.

 

රෝහිත් ශර්මා

රෝහිත් ශර්මා - 2014 වසරේදී ඉන්දියාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 264ක් රැස් කළේය.

ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා කොල්කටාහිදී පන්දු 173කදී ලබාගත් ලකුණු 264 එක්දින තරගයකදී පිතිකරුවෙක් රැස්කළ වැඩිම පුද්ගලික එක්දින ලකුණු සංඛ්‍යාවේ වාර්තාව වෙයි.

පන්දු 100කදී සිය ශතකය ලබාගැනීමෙන් පසු රෝහිත් සිය ඉනිම ප්‍රහාරාත්මක ලෙස වේගවත් කළේ හතරේ පහර 33ක් සහ හයේ පහර 9ක් සමගිනි. එය මේ දක්වා ඔහු වාර්තා කළ එක්දින ද්විත්ව ශතක තුනෙන් දෙවැනි ද්විත්ව ශතකයයි.

වෙනත් කිසිදු පිතිකරුවෙකු ද්විත්ව ශතක එකකට වඩා රැස් කර නොමැත.

 

මාර්ටින් ගප්ටිල්

මාර්ටින් ගප්ටිල් - 2015 ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 237 ක් රැස් කළේය.

මාර්ටින් ගප්ටිල් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව සහ සියලුම එක්දින තරගවල දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේය.

ඒ වෙලිංටන්හි පැවති තීරණාත්මක ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදීය.

පන්දු 163කදී වාර්තා වූ ඔහුගේ විශිෂ්ඨ ඉනිමට හතරේ පහර 24ක් සහ හයේ පහර 11ක් ඇතුළත් විය.

 

ඒ.බී ඩිවිලියර්ස්

ඒ.බී ඩිවිලියර්ස් - 2015 වසරේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 149ක් රැස් කළේය.

ඔහු ලොව වේගවත්ම එක්දින ශතකය ලබා ගත්තේ පන්දු 31ක් පමණක් වැය කරමිනි.

ඩිවිලියර්ස් පන්දු 44කට පමණක් සීමා වූ සිය ඉනිමේදී හයේ පහර 16ක් රැස් කළේය. එය එක් ඉනිමකදී පිතිකරුවෙක් රැස් කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.

xcvfsgf


මෙවර ලෝක කුසලානයේ මැක්ස්වෙල් ගේ ඉනිම ගැන ලද ප්‍රතිචාර මොනවාද ?

"එය මෙතෙක් දුටු විශිෂ්ටතම ඉනිම බව බොහෝ දෙනා කියාවි," යැයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මයිකල් වෝන් බීබීසී ටෙස්ට් තරග විශේෂ සාකච්ඡාවේදී පැවසීය.

"මම කවදාවත් එහෙම දෙයක් දැකලා නැහැ. ඕස්ට්‍රේලියාවට ඒ තරගය දිනන්න කිසිම හැකියාවක් තිබුණේ නැහැ." ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් කයිෆ් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටියේ එය විශිෂ්ටම එක්දින ඉනිම බවයි.

mldfds


පකිස්ථාන කණ්ඩායමේ හිටපු වේගපන්දු ක්‍රීඩක ෂොයිබ් අක්තාර් මැක්ස්වෙල් ගේ මෙම ඉනිම හඳුන්වනු ලැබුවේ නැවත නොදුරේදී දැකබලා ගැනීමට හැකියාවක් නොමැති ඉනිමක් ලෙසයි.

xfgrte


ඇතැම් ඉන්දීය සමාජ මාධ්‍ය සටහන්වල ග්ලෙන් මැක්ස්වෙල් විවාහ වී සිටින්නේ ඉන්දීය ජාතික කාන්තාවක් සමග බැවින් ඒ සම්බන්ධයෙන් වන ජායාරූප ද පළකර තිබුණේ මෙලෙසයි.

iiudejmf


"අවසානය තෙක් රැඳී සිටීමට හැකිවීම වාසනාවක්"

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත් ඕස්ට්‍රේලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් තරගයෙන් පසු පවසා සිටියේ අවසානය තෙක් රැඳී සිටීමට හැකිවීම වාසනාවක් බවයි.

"අපි පන්දු රකින විට දැඩි උණුසුම් කාලගුණයක් පැවතුණේ.මම එවැනි උෂ්ණත්වයක් තුළ ඉහළ තීව්‍ර ව්‍යායාම් කරලා නැහැ. එක භයානකයි වගේම මට අවසානය දක්වා රැඳී සිටීමට ලැබීම වාසනාවක්."

"අවස්ථාවන් නොදී සිටීමට ලැබුණා නම් හොඳයි, නමුත් මම ඉතා විමසිල්ලෙන් බේරිලා හිටියා. එයින් උපරිම ප්‍රයෝජන ගත්තා. පැටී (පැට් කමින්ස්) සමඟ නොදැවී, අවසානය තෙක් රැඳී සිටීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනවා."

ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්: "සැබවින්ම එය හාස්‍යජනකයි . ඔබ එය විස්තර කරන්නේ කොහොමද කියන්න මම දන්නේ නැහැ."

“විශිෂ්ට ජයග්‍රහණයක්, නමුත් මැක්සි මේ ලෝකයේ සිටියා යැයි කියන්න බැහැ. එය මෙතෙක් සිදු වූ විශිෂ්ටතම එක්දින ඉනිම විය යුතුයි."

"එය වැදගත්. අපේ කණ්ඩායමට පමණක් නොව, ඔබට වුවද ඕනෑම තැනක සිට ජයග්‍රහණය කළ හැකි යැයි සිතන්න පුළුවන්. නමුත් ප්‍රතිවාදීන් වුව ද ඒ දෙස බලනවා. එය අපට සැබෑ විශ්වාසයක් ලබා දෙනවා. අපි දැන් අවසන් පූර්ව වටයට පැමිණ තිබෙනවා, එය විශිෂ්ටයි." ඔහු පැවසීය.

ඇෆ්ගනිස්ථාන නායක හෂ්මතුල්ලා ෂාහිඩි: "ඇත්තටම බලාපොරොත්තු කඩවුණා. ක්‍රිකට් යනු ඇදහිය නොහැකි ක්‍රීඩාවක්."

“අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් ආරම්භ කළා. නමුත් අපි අටවැනි කඩුල්ල ලබා ගැනීමට තිබු අවස්ථා අතහැර දැමුවා. මැක්ස්වෙල් නවත්වන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ ගෞරවය මම ඔහුට ලබා දිය යුතුයි."

 

(BBC සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්