තිබෙනවා. මේ හමුව සිදුව තිබෙන්නේ ඉන්දියාව ට එරෙහිව ධර්මසාලා හි අද ආරම්භ වූ පස්වැනි ටෙස්ට් තරගයට පෙර.
ටිබෙට් රටේ දලයි ලාමා ලොව ප්‍රසිද්ධ ආගමික නායකයෙකු මෙන්ම ක්‍රිකට් ලෝලියෙක්.

Mcleod Ganj උපනාගරික පෙදෙසේ දලයි ලාමාගේ නිවසේදී ඔහු මුණගැසීමට පැමිණ ඇත්තේ ඔලී පෝප්, සැක් ක්‍රෝලී, ඩෑන් ලෝරන්ස්, ගස් ඇට්කින්සන් හා ටොම් හාට්ලි යන ක්‍රීඩකයන් හා පිතිකරණ පුහුණුකරු මාකස් ට්‍රෙස්කොතික්.
ඩලයි ලාමා ජීවත් වන්නේ ඉන්දියාවේ ධර්මසාලා හි ය
චීන හමුදාවන්ට එරෙහිව 1959දී දියත් කළ අසාර්ථක කැරැල්ලකින් පසුව ටිබෙට් රටෙන් පළා ගිය දලයි ලාමා රටින් පිටුවහල් කළ පුද්ගලයෙකු ලෙසින් එදා සිට ජීවත් වන්නේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වන හෙමාචුල් පෲඩෙෂ් (Himachal Pradesh) හි ශීත සෘතු අගනුවර වන ධර්මසාලා හි.
ලොව වඩාත්ම ආකර්ෂණීය ක්‍රිකට් පිටියක් වන ධර්මසාලා ක්‍රීඩාංගණය හෙමාචුල් පෲඩෙෂ් ක්‍රිකට් සංගමයේ නිවහන යි. හිමාල කඳු පාමුලට තුරුලුව තිබෙන මේ ක්‍රීඩාංගණයට ඉතාමත් චමත්කාර පසුබිම දර්ශනයක් ගෙන එන්නේ කඳුවැටියේ හිම ශිඛර.
ධර්මසාලා ක්‍රීඩාංගණය
කෙසේ වෙතත්, මේ කලාපයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වීමේ බුද්ධිය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙන්නේ කාලගුණ අනාවැකියක් මගින් අද බ්‍රහස්පතින්දා දිනයේදී හිම වැසි පතිත වී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 දක්වා පහළ බසිනු ඇතැයි ප්‍රකාශ කර ඇති බැවින්.

හෙමාචුල් පෲඩෙෂ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ මීට පෙර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වා තිබෙන්නේ එක් වතාවක් පමණ යි. 2017 වසරේ පැවති එම තරගයේදී ඉන්දියාව කඩුලු පහකින් ඔස්ට්‍රේලියාව පරාජය කළා.
සංචාරක එංගලන්ත කණ්ඩායම මේ ක්‍රීඩා පිටියේදී මීට පෙර ක්‍රීඩා කර තිබෙනවා. පසුගිය වසරේ පැවති ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ දෙවැනි තරගය මේ පිටියේ ක්‍රීඩා කෙරුනු අතර එහිදී ඔවුන් බංග්ලාදේශය පැරදවූයේ ලකුණු 137කින්.

එංගලන්තය අද තරග බිමට පිවිසියේ තරග පහකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ ඉන්දියාවට වඩා 3-1ක් පිටුපසින් සිටිමින්.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




