The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ටෙනිස් : වාසනාවන්ත පරාජිතයෙකුගේ විස්මිත ජයග්‍රහණය

T

The Leader Desk

March 15, 2024 • 10:28 AM

ටෙනිස් : වාසනාවන්ත පරාජිතයෙකුගේ විස්මිත ජයග්‍රහණය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ 123ට ශ්‍රේණිගතව සිටින ටෙනිස් ක්‍රීඩකයා අංක 1 නෝවැක් ජොකව්ච් පරදවයි
  • ඔහු හැදී වැඩුනේ තම නිදන කාමරයේ බිත්තියේ අලවා තිබෙන ජොකවිච්ගේ පෝස්ටර දිනපතා දකිමින්.  ලුකා නාඩිගේ මේ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වන්නේ ඔහු මේ තරගයට සහභාගි වූයේ ‘වාසනාවන්ත පරාජිතයා’ - Lucky Loser - ලෙසින් නිසා.
  • මේ අනපේක්ෂිත පරාජයෙන් පසුව, තමාගේ ක්‍රීඩාව ගැන ඉතාමත් කලකිරීමෙන් කතා කළ ජොකවිච්, නාඩි ට එම ජයග්‍රහණයට අයිතියක් තිබෙන බව ද පිළිගත්තා.
  •   “ඔහු ප්‍රධාන තරග සටහනට ඇතුළු වුනේ වාසනාවන්ත පරාජිතයා ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජගත් ටෙනිස් තරග බිමේ අංක 123ට ශ්‍රේණිගතව සිටින ලූකා නාඩි (Luca Nardi) විසින් ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩක නෝවැක් ජොකවිච් (Novak Djokovic) පරාජය කිරීම ලෝක ටෙනිස් ක්ෂේත්‍රය උඩුයටිකුරු කළ සිදුවීමක්.

මේ සුවිශේෂී ජයග්‍රහණයත් සමග 20 හැවිරිදි ඉතාලි ජාතිකයා එදා මෙදා තුර ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අඩු ම ශ්‍රේණියක සිටිමින් ටෙනිස් ක්‍රීඩාවේ සංකේතාත්මක ක්‍රීඩකයා පරාජය කළ පුද්ගලයා ලෙස ඉතිහාසගත වුනා. 

 

 

ග්‍රෑන්ඩ් ස්ලෑම් වැඩිම ජයග්‍රහණ අත්කර ගත් ටෙනිස් ක්‍රීඩකයාගේ වාර්තාව උසුලන ජොකවිච් 6-4, 3-6, 6-3කින් නාඩි ට පරාජය වූයේ අමෙරිකාවේ කැලිෆෝනියාවේ ඉන්ඩියන් වෙල්ස් (Indian Wells) හි පැවති BNP Paribas Open තරගාවලියේ තෙවැනි වටයේ දී. මේ පෙරලිකාර ජයග්‍රහණය වාර්තා කළ නාඩිගේ ටෙනිස් වීරයා වන්නේ ජොකවිච්. ඔහු හැදී වැඩුනේ තම නිදන කාමරයේ බිත්තියේ අලවා තිබෙන ජොකවිච්ගේ පෝස්ටර දිනපතා දකිමින්. 

ලුකා නාඩිගේ මේ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වන්නේ ඔහු මේ තරගයට සහභාගි වූයේ ‘වාසනාවන්ත පරාජිතයා’ - Lucky Loser - ලෙසින් නිසා.

 

nardi iw 2024 reaction tuesday‘වාසනාවන්ත පරාජිතයා’
සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරගවලින් පරාජය වී සිටි නාඩි ‍ක්‍රීඩා කරමින් සිටියේ ‘වාසනාවන්ත පරාජිතයා’ ස්ථානයක් ඔහුට පිරිනැමීමෙන් පසුව. Lucky Loser යනු සුදුසුකම් ලබා ගැනීමේ අදියරේදී පරාජය වූ ක්‍රීඩකයන්ට ලබා දෙන ස්ථානයක්. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් තරගාවලියේ පළමු වටය ට පෙර ඉවත් වන ක්‍රීඩකයන්ගෙන් හිස්වන ප්‍රධාන තරග සටහනේ ස්ථානය පිරවීමේ අවස්ථාව මේ ‘වාසනාවන්ත පරාජිතයා’ ක්‍රීඩකයන්ට හිමිවෙනවා.

නාඩි ඔහුට ලැබුනු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ ප්‍රධාන තරග සටහනේ දෙවැනි වටයේදී Zhang Zhizhen පරදවා ඉන්පසු ජොකවිච් ට එරෙහිව මේ චමත්කාරජනක ජයග්‍රහණය වාර්තා කරමින්. 

මේ වික්‍රමයත් සමග ලුකා නාඩි වෘත්තීය ටෙනිස් ක්‍රීඩක සංගමයේ  - Association of Tennis Professionals (ATP) - මාස්ටර්ස් 1000 හෝ ග්‍රෑන්ඩ් ස්ලෑම් මට්ටමේදී ජොකවිච් පරාජය කළ ලොව අඩු ම ශ්‍රේණිගත ක්‍රීඩකයා බවට පත්වුනා.

මේ අනපේක්ෂිත පරාජයෙන් පසුව, තමාගේ ක්‍රීඩාව ගැන ඉතාමත් කලකිරීමෙන් කතා කළ ජොකවිච්, නාඩි ට එම ජයග්‍රහණයට අයිතියක් තිබෙන බව ද පිළිගත්තා.

 


“ඔහු ප්‍රධාන තරග සටහනට ඇතුළු වුනේ වාසනාවන්ත පරාජිතයා ලෙස. ඒ නිසා ඔහුට ඇත්ත වශයෙන්ම නැති වෙන්න දෙයක් තිබුනේ නැහැ. එබැවින් ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා. ඒ ජයග්‍රහණය ඔහුට සුදුසුයි. මම මගේ ක්‍රීඩා මට්ටම ගැන පුදුමයට පත්වෙලයි හිටියේ. මගේ මට්ටම ඉතාම, ඉතාම නරකයි” ජොකවිච් කියා සිටියා.

“මේ කාරණා දෙක එකට එකතු වෙනවා. එයාගේ දවස හොඳයි. මගේ දවස ඉතාම නරකයි. මට අත්වූ ප්‍රතිඵලය සෘණාත්මකයි.”

මේ වසර මුල ජනවාරියේ පැවති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී තවත් තරුණ ඉතාලි ජාතිකයෙකු වන 22 හැවිරිදි යැනික් සිනෙර් ට පරාජය වීමෙන් පසුව 36 හැවිරිදි ජොකවිච්ගේ පළමු තරගාවලිය වුනේ ‘ඉන්ඩියන් වෙල්ස්’.

 

Novak Djokovic frustratedමේ අවුරුද්දේ මට ශූරතා නැහැ. මෙය මට පුරුදු දෙයක් නෙවෙයි
ඉන්ඩියන් වෙල්ස් හි දී වාර්තාගත හය වැනි කිරුළක් හඹා යමින් සිටි නෝවැක් ජොකවිච්, 2024 වසරේ තම ක්‍රීඩා මට්ටම පිළිබඳව තමාගේ සිත් තැවුල ප්‍රකාශ කළා.

“මේ අවුරුද්දේ මට ශූරතා නැහැ. මෙය මට පුරුදු දෙයක් නෙවෙයි. මගේ ක්‍රීඩා දිවියේ බොහෝ අවස්ථාවල මම ක්‍රීඩා වාරය ඇරඹුවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණයකින් හෝ ඩුබායි ජයග්‍රහණයකින් හෝ වෙනත් තරගාවලියක ජයග්‍රහණයකින්. මෙය ක්‍රීඩාවේ කොටසක්. ඔබ එය පිළිගත යුතුයි. සමහර තරග ඔබ ජය ගන්නවා. සමහර තරග පරදිනවා. මම තවත් තරග ජය ගෙන දිගටම  ඉදිරියට යාවි කියා මම බලාපොරොත්තු වෙනවා.”

මේ ජයග්‍රහණය පිළිබඳව ලුකා නාඩි සිටියේ විශ්වාස කළ නොහැකි තත්ත්වයෙන්.

 

lucaමේ ජයග්‍රහණය පිළිබඳව ලුකා නාඩි සිටියේ විශ්වාස කළ නොහැකි තත්ත්වයෙන්
“මම තරගය පුරා මගේ ධෛර්යය රඳවා ගෙන සිටියේ කොහොමද කියා මම දන්නේ නැහැ. මම හිතන්නේ මේක හාස්කමක්. මොකද, මම අවුරුදු 20ක කෙනෙක්, ලෝක ශ්‍රේණිවල ඉන්නේ සිය ගණන්වල, ජොකොව්ච්ව පරද්දනවා. මේක නම් මහ පිස්සු වැඩක්.”

“මේ රාත්‍රියට පෙර කවුරුවත් මම ගැන දැන සිටියේ නැහැ. තරගය නැරඹීමට පැමිණ සිටි සෙනඟ එයින් ආස්වාදයක් ලැබුවා කියා මම හිතනවා. මම නම් ඉන්නේ බොහොම සතුටින්!”

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com  


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ටෙනිස් : වාසනාවන්ත පරාජිතයෙකුගේ විස්මිත ජයග්‍රහණය | The Leader