පේලේ (Pele)ගේ සිට රොනල්ඩීන්යෝ (Ronaldinho) දක්වාත්, සීකෝ (Zico)ගේ සිට රවාල්ඩෝ (Rivaldo) දක්වාත් බ්‍රසීලයේ කහ පැහැති අංක 10 කමිසය උසුලා ගෙන ගියේ එරට වඩාත්ම දීප්තිමත් සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ට පමණක් දැරිය හැකි බරක් සහ වගකීමක්.

රොනල්ඩීන්යෝගේ විශ්‍රාම යාමෙන් පසුව, කමිසය පිටුපස අංක 10 රැගෙන යාමේ ගෞරවය හා වගකීමේ උරුමක්කාරයා බවට පත්වූයේ නේමා. 2013 වසරේ ජූනි මස 2 වැනිදා නේමා මේ ප්‍රතිමාමය අංකය සහිත කමිසය ප්‍රථම වතාවට පැළඳ ක්‍රීඩා කළ අතර ඊට මසකට පසුව ඔහු ‘කන්ෆෙඩරේෂන්ස් කුසලාන’ ශූරතාව කරා බ්‍රසීලය මෙහෙයවූයේ ඒ වන විට එම කිරුළ හිමිකර ගෙන සිටි ස්පාඤ්ඤය ගෝල් 3-0කින් අවසාන තරගයේදී පරාජය කරමින්. තවත් මාස දෙකකට පසුව නේමා ‘බාසිලෝනා’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහුගේ මංගල යුරෝපීය පාපන්දු තරගයට ක්‍රීඩා කළා.
ඉක්බිති සියල්ල ඉතිහාසයට එක්වුනා. 21 වැනි ශතවර්ෂයේ හොඳම පාපන්දු ක්‍රීඩකයෙක් බවට පත්වෙමින් නේමා බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන තුනක අංක 10 කමිසය පැළඳුවේ ගෝල් 79ක් ලබා ගෙන එදා මෙදා තුර බ්‍රසීලයේ වැඩිම ගෝල්ලාභියා බවට පත්වෙමින් සහ බ්‍රසීලය වෙනුවෙන් මෙතෙක් දෙවැනියට වැඩිම තරග ක්‍රීඩා කළ සුවිශේෂී පාපන්දු ක්‍රීඩකයා බවට ද පත්වෙමින්.

වර්තමානය දෙස බලන විට, මේ හිටපු ‘බාසිලෝනා’ හා ‘පැරිස් සැන්-ජමෑන්’ ක්‍රීඩකයා 2023 ඔක්තෝබර් 18 වැනිදා උරුගුවේ කණඩායමට එරෙහි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේදී ආබාධයකට ලක්වීමෙන් පසුව මේ දක්වා බ්‍රසීලය වෙනුවෙන් ක්‍රීඩා කර නැහැ.
නේමාගේ ආශිර්වාදය ලැබීමෙන් පසුව ‘රේආල් මෙඩ්රිඩ්’ ක්‍රීඩක රොඩ්රිගෝ (Rodrygo) 2024 ‘කෝපා අමෙරිකා’ තරගාවලියේදී අංක 10 කමිසය පැළඳ ක්‍රීඩා කළා.
පසුගිය ජාත්‍යන්තර තරග විරාමයේදී අංක 10 කමිසය පැළඳුවේ රෆීනියා (Raphinha). එම ‘බාසිලෝනා’ ඉදිරිපෙල ක්‍රීඩකයා මේ පුරාවෘත්ත කමිසය පැළඳ ගෝල් ලබා ගත්තේ නේමාගේ සංකේතාත්මක ප්‍රීතිවීමේ ඉරියව්වෙන් ඔහුට ප්‍රණාමය පුද කරමින්.
| Raphinha - Rodrygo
දැන්, සිය දණහිසේ ආබාධයෙන් මාස 17කට පසුව නේමා නැවත වරක් නිල වශයෙන් බ්‍රසීල ජාතික පාපන්දු සංචිතයට එක්ව සිටින්නේ අංක 10 කමිසය එහි නියම අයිතිකරුට නැවත ලැබෙමින්. ළඟ එන කොලොම්බියාව හා ආජන්ටිනාව ට එරෙහි 2026 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා වන බ්‍රසීල සංචිතයට ඔහුව ඇතුළත් කර තිබුනේ ආජන්ටිනාව සමග තරගයේදී නේමා ට ඔහුගේ හිටපු එංගලන්ත ක්‍රීඩා සමාජ සගයා මෙන්ම අංක 10 කමිසය පළඳින තවත් ක්‍රීඩකයෙකු වන ඔහුගේ මිතුරු ලයනල් මෙසී මුණගැසීමට අවස්ථාව උදා කරමින්.
එහෙත් අවාසනාව තවමත් 33 හැවිරිදි නේමා පසුපස හඹා එන බවක් පෙන්නුම් කරනවා. කලවයේ ආබාධයක් හටගැනීම හේතුවෙන් නේමා දැන් බ්‍රසීල සංචිතයෙන් ඉවත්ව සිටිනවා. මාස 18කට ආසන්න කාලයක හිඩැසකින් පසුව නැවත වරක් බ්‍රසීලයේ සංකේතාත්මක කහ පැහැති ජර්සිය පැළඳීමට තිබූ අවස්ථාව මඟ හැරීයාම නිසා ඇතිව තිබෙන ඉච්ඡා භංගත්වය ප්‍රකාශ කිරීම පිණිස නේමා සමාජ මාධ්‍ය වෙත යොමුවුනා.
හැඟීම්බර ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් නේමා මෙසේ කියා තිබෙනවා: “එය ඉතාම සමීප බවක් පෙනුනත් අවසනාවකට මට ලෝකයේ වඩාත්ම බරපතල කමිසය දැන්ම පළඳින්න බැහැ! මට සහයෝගය පළ කරමින් පණිවුඩ එවූ සැමදෙනාවම මම අගය කරනවා. අපි ගොඩක් වෙලා කතා කිරීමෙන් පසුව පොදු එකඟතාවකට පැමිණ අවදානමක් නොගැනීමට තීරණය කළා. මගේ ආබාධයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ගැනීමට කටයුතු කරන්න බ්‍රසීල කළමනාකාරිත්වය එකඟ වුනා.”
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



