පන්දු යැවීමේදී දරුණු ප්‍රහාරයකට ලක්වූවා පමණක් නොව තරගයේ ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ පියාගේ හදිසි වියෝවේ කම්පනය ද විඳ දරා ගැනීමට ඔහුට සිදුවුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තීරණාත්මක තරගයේ ජයග්‍රාහකයන් වූව ද, තම පියා මිය ගිය පුවත දුනිත් දැනගත්තේ තරගය අවසන් වීමෙන් පසුව. පියා ද ක්‍රිකට් ක්‍රීඩා කළ කෙනෙක්. ඔහු මොරටුව වේල්ස් කුමර විදුහල් කණ්ඩායමේ නායකත්වය ද දරා තිබෙනවා.

වෙල්ලාලගේ ට ඊයේ තරගය සුභදායී එකක් වුනේ නැහැ. එක් කඩුල්ලක් පමණක් ලබා ගනිද්දී ඔහුගෙන් ලකුණු 49ක් උදුරා ගැණුනා. පන්දු 22කින් ලකුණු 60ක් වාර්තා කළ පළපුරුදු ඇෆ්ගන් පිතිකරු 40 හැවිරිදි මොහමඩ් නබි එකම ඔ්වරයකදී දුනිත් ට පිට පිට හයේ පහර පහක් එල්ල කළේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ලාංකේය ක්‍රිකට් ලෝලීන් ද අන්දමන්ද කරමින්.
කෙසේ වෙතත්, දුනිත්ගේ පියා හෘදයාබාධයක් හටගැනීම නිසා මරණයට පත්වූ බව මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඔහුට දැන්වූ විට නබි කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වූ බව වාර්තා වනවා. තමා අනුකම්පා විරහිතව බැට දුන් පන්දු යවන්නාගේ පියා එම තරගය අතරතුරදී ම මිය ගිය බව දැනගත් විට නබි ට එය අදහාගත නොහැකි වූ බව සඳහන්.
“දුනිත් වෙල්ලාගේ ගේ පියාගේ මරණය ගැන මම මගේ හදපත්ලෙන් ම නැගෙන ශෝකය දුනිත්ටත් ඔහුගේ පවුලටත් ප්‍රකාශ කරනවා. මේ ඉතාම දුක්බර මොහොතේ ඔබ ශක්තිමත්ව ඉන්න සහෝදරයා!” යනුවෙන් නබි සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් දමා තිබෙනවා.

තරගයේ පන්දු අටක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය වීරයා වුනේ කුසල් මෙන්ඩිස්. තමා ‘මෙන්ඩිස් ස්පෙෂල්’ කෙනෙකු බවට නැවත වතාවක් ඔප්පු කළ ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 52කින් ලකුණු 74ක් රැස් කිරීමට සමත් වුනා. මේ ‘ස්පෙෂල්’ වර්ගයේ ම තවත් පිතිකරුවකු වන කමිඳු මෙන්ඩිස් ද තරගයේ අවසන් ක්‍රීඩාවේදී කුසල් ට ලොකු සහයෝගයක් ලබා දෙමින් පන්දු 13කින් ලකුණු 26ක් රැස්කළා.
මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව එක්සත්අරාබි එමීර් රාජ්‍යයේ මේ දිනවල පැවැත්වෙන 2025 ආසියානු කුසලාන තරගාවලියේ ‘සුපරි හතර’ වටයට සුදුසුකම් ලැබුවා. එම වටයේදී ශ්‍රී ලංකාව ට පළමුව මුණගැසෙන්නේ ඊයේ තරගයෙන් පසුව ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය ආධාරයෙන් Super Four වටයට පිවිසි බංගලියෝ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




