මේ අනුව ලබන ඉරිදා පැවැත්වෙන අවසාන මහා තරගයේදී පාකිස්තානය ට නැවත වරක් ඉන්දියාව මුණගැසෙනවා. මේ තරගාවලියේ මීට පෙර දෙවතාවක් මේ කණ්ඩායම් දෙක තරග වැදුනු අතර ඒ වාර දෙකේදී ම ඉන්දියාව විසින් පාකිස්තානය පරාජය කරනු ලැබුවේ ඉතාමත් පහසුවෙන් නිසා දැන් ක්‍රිකට් ලෝකය බලා සිටින්නේ ඉන්දියාව ඔවුන්ගේ පරම ප්‍රතිවාදීන්ට එරෙහිව පිට පිට තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කරාවිද, එසේත් නැත්නම් ඒ ලජ්ජාවෙන් මිදීමට පාකිස්තානය මේ වතාවේ හෝ සමත් වේවිද යන්න පිළිබඳව.
‘සුපිරි හතර’ වටයේ ඊයේ රාත්‍රියේ පැවති ඉතාමත් තීරණාත්මක තරගය පාකිස්තානය ලකුණු 11කින් ජය ගත්තේ ඔවුන් කඩුලු 8ක් දැවී රැස් කළ 135ක මුළු ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගනිමින් වීම විශේෂත්වයක්.
පාකිස්තානයේ පිළිවෙළකට නැති පිතිකරණයේදී බංග්ලාදේශයේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ලකුණු 28කට කඩුලු 3ක් ලබා ගත්තා. පාකිස්තානය අවසානයේ 135-8ක මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ද, ඔවුන් එවැනි තත්ත්වයකට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනා නොසිතුවේ ඉනිමේ අඩක් ගෙවී යන විට පාකිස්තානයේ කඩුලු 4ක් ම ලකුණු 46කට බිඳ වැටී තිබීම නිසා.
වේග පන්දු යවන්නන් වන ෂහීන් අෆ්රිඩි (3-17) සහ හැරිස් රවුෆ් (3-33) මාර්ගයෙන් නැවත සටන් කළ පාකිස්තානය ඔ්වර 20 ඇතුළත බංග්ලාදේශය 124-9කට සීමා කිරීමට සමත් වුනා.
මේ තරගාවලියේ නැවත වතාවක් ඉන්දියාව මුණගැසෙන තුරු පාකිස්තානය පුල පුලා බලා සිටින බව නායක සල්මන් අලි අඝා පවසනවා.
“කරන්න අවශ්‍ය දේ කුමක්ද කියා අපි දැන් දන්නවා. ඔ්නෑම කෙනෙක් පරාජය කරන්න පුළුවන් හැකියාවක් අපට තියෙනවා. අපි ඉරිදා ඇවිත් ඉන්දියාව පරාජය කරන්න හැකි සෑම උත්සාහයක් ම දරනවා” යනුවෙන් අඝා කියනවා.
“බංග්ලාදේශය සමග පැවති තරගය වැනි තරග අපට දිනන්න පුළුවන් නම්, අපි අතිවිශේෂ කණ්ඩායමක් විය යුතුයි. අපි ලකුණු දහයක් පහළොවක් වගේ අඩුවෙනුයි හිටියේ. ඒක ප්‍රතික්ෂේප කරන්න මට කොහෙත්ම බැහැ. නමුත් අපි ඒ වගේ පන්දු යැව්වොත් අපට පීඩනයක් නිර්මාණය කරන්න පුළුවන් බව මම දැන සිටියා. මේ වගේ තීරණාත්මක තරගයකදී අපි කලින්ම පීඩනයක් නිර්මාණය කළොත්, ඉලක්කය හඹා යන්න පහසු වෙන්නේ නැහැ.”
බංග්ලාදේශ පිතිකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ නායක ජකර් අලි සිටින්නේ මහත් කනගාටුවෙන්. “පිතිකරණ අංශයක් විදියට, අපි අන්තිම තරග දෙක පැරදුනා. පන්දු යැවීමේ අංශය විදියට, අපි හොඳ කාර්යයක් ඉටු කළා.”
පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානය ට ඇරයුම් කිරීමෙන් පසුව රිශාඩ් හොසේන් (2-18) සහ මෙහෙඩි හසන් (2-28) යන දඟ පන්දු යවන්නෝ ටස්කින් ට නොමඳ සහයෝගයක් ලබා දුන්නා.
පාකිස්තානය පළමු පන්දු 10දී ලකුණු 5ක් ලබා ගත්තේ ඔවුන්ගේ ප්‍රධාන කඩුලු දෙකක් අහිමි කර ගනිමින්. ටස්කින් තරගයේ සිවු වැනි පන්දුවේදී සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 4කට දවාලූ අතර මෙහෙඩි, සයිම් අයුබ් බින්දුවට දවා ගත්තේ ඔහුට මේ තරගාවලියේ සිවු වැනි බින්දුව ද අත්කර දෙමින්.
ෆකාර් සමාන් ලකුණු 13කට හා සල්මාන් ලකුණු 19කට දැවී ගියේ පාකිස්තානය 11 වැනි ඕවරය වන විට 49-5ක දුර්වල තත්ත්වයකට පත් කරමින්.
කෙසේ වෙතත්, පාකිස්තාන අග පෙළ පිතිකරුවන් ලෙහෙසියෙන් පරාජය බාර නොගත් අතර කණ්ඩායමට අවසන් ඕවර පහේදී ලකුණු 52ක් එක්කර ගැනීමට උපකාරී වුනේ මොහමඩ් හැරිස් (31) හා මොහමඩ් නවාස් (25) අතර ගොඩනැගුනු ලකුණු 38ක හත් වැනි කඩුලු සබඳතාව.
හැරිස් හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් එල්ල කළ අතර නවාස්ගේ පන්දු 15 ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහරක් ඇතුළත් වුනා.
බංග්ලාදේශ පන්දු රකින්නන්ගේ අසමත්කම නිසා දෙවතාවක් ම දැවී යාමෙන් බේරුණු ෂහීන් පන්දු 13කින් ලකුණු 19ක ඔහුගේ වේගවත් ඉනිමේදී හයේ පහර දෙකක් එල්ල කළා.
සිය ප්‍රතිවාදීන්ගේ අවුල් සහගත ආරම්භයට කැඩපතක් වෙමින් බංග්ලාදේශය 6 වැනි ඕවරය වන විට 29-3ක අගාධයකට වැටුනේ ෂහීන්ගේ ආරම්භක ද්විත්ව ප්‍රහාරයෙන් අන්දමන්ද වෙමින්.
ෂහීන් විසින් පාවෙස් හොසේන් ඉමොන් සහ ටවුහිඩ් රිඩෝයි දවාලුවේ බංග්ලාදේශය ට ශක්තිමත් ආරම්භයක් ලබා නොදෙමින්. එතැනින් නොනැවතුනු ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ෂමිම් හොසේන් (30) ද දවාලීමට සමත් වුනා.
“කණ්ඩායමක් විදියට, ආරම්භයේදීම අපට කඩා බිඳගෙන යාමේ ක්‍රීඩාවක් අවශ්‍ය වුනා. මම පන්දු යැවුවේ ඒ අවශ්‍යතාවට අනුවයි” ෂහීන් ජයග්‍රහණයෙන් පසුව පැවසුවා. “කුඩා මුළු ලකුණු ප්‍රමාණයක් සතුව තිබියදී, කලින්ම මේ වගේ ක්‍රීඩාවක් අවශ්‍යයි. අපි සැලසුම් කළේ ඒ විදියටයි.
අනතුරුව, හැරිස් බංග්ලාදේශ අග පිතිකරු පෙල වනසමින් පාකිස්තානය ට අවසාන තරගයට යාමේ මඟ විවර කළා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com





