The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශ පන්දු යවන්නියගෙන් හිටපු තේරීම් නිලධාරියාට එරෙහිව ලිංගික අතවර චෝදනාවක්

T

The Leader Desk

November 7, 2025 • 2:56 PM

බංග්ලාදේශ පන්දු යවන්නියගෙන් හිටපු තේරීම් නිලධාරියාට එරෙහිව ලිංගික අතවර චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු තමාට ලිංගික අතවර කළ බවට චෝදනා කරමින් බංග්ලාදේශ වේග පන්දු යවන්නියක වන
  • 2022 කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ජාතික කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් තමාට අසභ්‍ය යෝජනා ලැබුනු බව ඇය කියා සිටිනවා.
  • Cricbuzz ට අනුව, කාන්තා ක්‍රිකට් තේරීම් නිලධාරියා සහ කළමනාකරු ලෙස කටයුතු කළ බංග්ලාදේශ හිටපු වේග පන්දු යවන්නනෙකු වන මන්ජුරුල් ඉස්ලාම්ගේ (Manjurul Islam) අශිෂ්ට යෝජනාව පිළිගැනීමට ජහනාරා සූදානම් නොවු බැවින් ඔහු ඇයට දියුණු වීමට ඉඩ දී නැහැ.
  • අපි කන්නෙ බොන්නේ මේකෙන් වුනාම, මිනිසුන් ඔබව හඳුනන විට, ඔබට උවමනාව තිබුනත් බොහෝ දේවලට එරෙහිව කතා කරන්න හෝ විරුද්ධ වෙන්න ඔබට බැහැ” යනුවෙන් ඇය රියාසාඩ් අසිම් නමැති මාධ්‍යවේදියෙකු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජහනාරා අලාම් (Jahanara Alam) කම්පාකරන හෙළිදරව්වක් කර තිබෙනවා.

2022 කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ජාතික කණ්ඩායම් කළමනාකාරිත්වයෙන් තමාට අසභ්‍ය යෝජනා ලැබුනු බව ඇය කියා සිටිනවා.

Cricbuzz ට අනුව, කාන්තා ක්‍රිකට් තේරීම් නිලධාරියා සහ කළමනාකරු ලෙස කටයුතු කළ බංග්ලාදේශ හිටපු වේග පන්දු යවන්නනෙකු වන මන්ජුරුල් ඉස්ලාම්ගේ (Manjurul Islam) අශිෂ්ට යෝජනාව පිළිගැනීමට ජහනාරා සූදානම් නොවු බැවින් ඔහු ඇයට දියුණු වීමට ඉඩ දී නැහැ.

“අසභ්‍ය යෝජනාවට එක වතාවක්‌ නොව කිහිප වරක්ම මුහුණ දීමට මට සිදුවුනා. පැහැදිලිවම, අපි කණ්ඩායම සමග ඉන්න විට, අපට අවශ්‍ය වුනත් බොහෝ දේවල් ගැන අපට කතා කරන්න බැහැ. අපි කන්නෙ බොන්නේ මේකෙන් වුනාම, මිනිසුන් ඔබව හඳුනන විට, ඔබට උවමනාව තිබුනත් බොහෝ දේවලට එරෙහිව කතා කරන්න හෝ විරුද්ධ වෙන්න ඔබට බැහැ” යනුවෙන් ඇය රියාසාඩ් අසිම් නමැති මාධ්‍යවේදියෙකු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

නැසීගිය ටවුහිඩ් මහමුද් (Towhid Mahmud) ද බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) සම්බන්ධීකරණ නිලධාරියා වන සාෆරාස් නමැත්තකු හරහා තමාට යෝජනාවක් ගෙන ආ බවට ඇය චෝදනා නගනවා.

මන්ජුරුල්ගේ හිරිහැර කිරීම නතර කිරීමට හිටපු BCB අධ්‍යක්ෂ ෂෆියුල් ඉස්ලාම් නඩෙල් අසමත් වූ බවත් ඒ අතරතුර BCBයේ ප්‍රධාන විධායක නිසාමුඩින් චවුඩරී තමාගේ පැමිණිලි කිරීම් ගණන් නොගෙන සිටි බවත් බංග්ලාදේශ හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩිකාව තවදුරටත් සඳහන් කරනවා.

2024 දෙසැම්බරයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කර නැති ජහනාරා දැන් පදිංචිව සිටින්නේ ඔස්ට්‍රේලියාවේ.

“2021 වසරේදී ටවුහිඩ් බායි සාෆරාස් බාබු හරහා මට ළං වුනා. මම මේක මීට පෙර කිහිප වරක්ම කියා තිබෙනවා. ඔවුන් මාත් එක්ක වැරදි ලෙස හැසිරුනේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම නිශ්ශබ්දව ඉඳගෙන ක්‍රිකට්වලට අවධානය යොමු කරන්න ගොඩක් උත්සාහ කළා. නමුත් මම උපායශීලීව ඒ යෝජනාව මඟහැරිය විට, මන්ජු බායි ඊළඟ දවසේ ඉඳන්ම මට අපහාස කරන්නත් නින්දා කරන්නත් පටන් ගත්තා” යැයි ජහනාරා කියා තිබෙනවා.

“ටවුහිඩ් බායි කවදාවත් මට කෙලින් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඔහු සාෆරාස් බාබුව එවුවා. අවුරුදු එකහමාරකට විතර පස්සේ, මේ සියල්ල විස්තර කරමින් මම පැමිණිල්ලක් නොව ‘නිරීක්ෂණ ලිපියක්’ ප්‍රධාන විධායක නිලධාරියාට ඉදිරිපත් කළා. ‘ටවුහිඩ් සර්ව බලාගන්න’ කියලා සාෆරාස් බාබු මට කීවා. නමුත් මම ඇහුවා, ‘එයානෙ අපිව භාරව ඉන්නේ. ඉතිං මම මොනවද එයාගෙ බලාගන්නේ?’ කියලා. මම හිතාමතා ම යෝජනාව මට නොතේරුණු විදියට හිටියා. මම මේ විස්තර බෙදාගන්නේ මේ විදියට අනෙක් කෙල්ලන්ටත් බේරිලා ඉන්න පුළුවන් වෙයි කියලා හිතලයි. මන්ජු බායිගේ නරක හැසිරීම පටන් ගත්තේ ඒ අවස්ථාවේයි.”

ජහනාරා මෙසේ ද කීවා: “මන්ජු බායිගෙන් දෙවැනි යෝජනාව ආවේ 2022 ලෝක කුසලාන තරගාවලිය අතරතුරයි. මම පහුගිය අවුරුදු එකහමාර තුළ සිදුවූ සියල්ල BCBයට දැනුම් දෙන්න තීරණය කළා. මම නඩෙල් සර්ට කිහිප වතාවක්ම මේ ගැන කීවා. එයා කළේ තාවකාලික විසඳුමක් යෝජනා කිරීම පමණයි. නමුත් ඉක්මනින්ම මේ දේවල් ආපහු තිබුණු විදියටම පත්වුනා. මම ප්‍රධාන විධායක නිලධාරියාට පවා දැන්නුවා.”

නවසිලන්තයේ සිදුවූ එක් සිද්ධියක් යළි මතකයට ගෙන එමින් ඇය මෙසේ කියා සිටියා: “තරගවලට පෙර තිබූ අපේ කඳවුරේදී, මම පන්දු යවනකොට, ඔහු මගේ ළඟට ඇවිත් එයාගෙ අත මගේ උරහිස මත තැබුවා. කෙල්ලන්ව ඔහුගේ ළඟට ඇදගෙන, ඔවුන්ව එයාගෙ පපුවට තද කරගෙන කෙල්ලන්ගේ කන්වලට සමීප වෙලා කතාකරන පුරුද්දක් එයාට තිබුණා. අපි හැමවිටම ඔහුව මඟහරින්න බැලුවා. තරගවලින් පස්සේ සිදුවන අතට අතදීම්වලදී පවා අපි දුරක ඉඳන් අත දිගුකළේ එයාට අපිව ඇදලා ගන්න බැරිවෙන්නයි. ‘ඔන්න අරයා එනවා. එයා ආපහු අපිව බදාගනීවි’ කියලා අපි අපිට විහිළු කරගත්තේ දැඩි මානසික අපහසු තත්ත්වයක පසුවෙමින් සිටින විටදීයි.”

''ඔහු මගේ ළඟට ඇවිත් මගේ ඔසප් චක්‍රය ගැන ඇහුවා!”

ඇය තවදුරටත් මෙසේ පැවසුවා: “වරක් ඔහු මගේ ළඟටම ඇවිත්, ම‌ගේ අත අල්ලගෙන, එයාගෙ අතක් මගේ උරහිසට දාගෙන, මගේ කන ළඟට ඇලවෙලා, ‘ඔයාගෙ ඔසප්වීම පටන්ගෙන දැන් කොච්චර දවස් ද?’ කියලා ඇහුවා. ඒක එයා එතකොටත් දැනගෙන හිටියේ ICCයේ (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය) නිර්ණායකයන්ට අනුව සෞඛ්‍යමය හේතුන් මත භෙෘතචිකිස්තකයන් ක්‍රීඩිකාවන්ගේ ඔසප් චක්‍රය පිළිබඳව විමසිලිමත්ව සිටින නිසා. කණ්ඩායමේ කළමනාකරුවෙකු හෝ තේරීම් නිලධාරියෙකුට ඒ විස්තර අවශ්‍ය ඇයි කියා මම දන්නේ නැහැ. මම ‘දවස් පහයි’ කියලා කිවුවම ඔහු, ‘දවස් පහයි? ඒක ඉවර වෙන්න තිබුනේ ඊයේ නේ... ඔයාගෙ ඔසප්වීම ඉවර වුනාම, මට කියන්න. මොකද, මට මගේ පැත්ත ගැනත් බලන්න තියෙනවා’ කියා පිළිතුරු දුන්නා. එවිට මම ඔහු දිහා බලා, ‘සමාවෙන්න බායියා, මට තේරුණේ නැහැ’ කියලා කිවුවා.”

මන්ජුරාල් මේ සියල්ල ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

“මේවා පදනම් විරහිතයි කියලා කියනවා හැරෙන්න වෙනත් කියන්න දෙයක් මට නැහැ. මම හොඳ ද නරක ද කියලා අනෙක් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් අහන්න” යනුවෙන් මන්ජුරාල් පවසනවා.

මෙය සම්පූර්ණයෙන්ම ඇය විසින් ගොතන ලද කතාවක් බව සාෆරාස් කියනවා.

“මැරිච්ච මිනිහෙක්ව ඇය ඇදලා ගන්න එක අවාසනාවක්. පදනම් විරහිත චෝදනා එල්ල කරන්නේ නැතිව සාක්ෂි ඉදරිපත් කරන ලෙසට මම ඇගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් සාෆරාස් ප්‍රකාශ කරනවා.

හිටපු තේරීම් නිලධාරියාගේ නුසුදුසු හැසිරීම පිළිබඳව ජහනාරා අලාම් නගන චෝදනා පරික්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවට බංගලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබෙනවා. මේ පිළිබඳව සොයාගත් කරුණු සහ නිර්දේශ දින 15ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසට ද මණ්ඩලය කමිටුවට උපදෙස් දී තිබෙනවා.

පරීක්ෂණයෙන් හෙළිවන කරුණු මත සුදුසු පියවර ගන්නා බව BCBය ඊයේ මධ්‍යම රාත්‍රියට මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයකින් කියා තිබුනා.

මේ චෝදනා පැමිණෙන්නේ ජහනාරා තවත් සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනිම චෝදනා නගමින් බංග්ලාදේශ ක්‍රිකට් නායිකා නිගා සුල්ටානි තමාගේ කණ්ඩායම් සගයින්ව ශාරීරිකව හිරිහැර කළ බවට ප්‍රකාශ කර ටික දිනකට පසුව. කෙසේ වෙතත්, එම චෝදනා පදනමක් නැති ඒවා බවට BCBය කියා තිබෙනවා.

ජහනාරා බංග්ලාදේශය වෙනුවෙන් සුදු පන්දුවේ තරග 135කදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කඩුලු 48ක් සහ ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 60ක් ලබා ගෙන තිබෙනවා. ඉන්දියාවේ කාන්තා T20 අභියෝග තරගාවලිය සහ FairBreak ආරාධිත T20 තරගාවලියට ක්‍රීඩා කර තිබෙන එකම බංග්ලාදේශ ක්‍රීඩිකාව වන්නේ ද ජහනාරා අලාම්.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...