පහතින් ඉදිකරණ ලද වේදිකාවේ බංකු පුටුවක වාඩිවී සිටි රීබියල්ස් තමා වෙත දමාගැසූ බිත්තර තුනකින් වැළකී සිටීමට උත්සාහ කරමින් සැණින් නැගී සිට එම අවස්ථාවට සහභාගි වෙමින් සිටි කුඩා පිරිස දෙසට කඩා පැන්නා. එක් බිත්තරයක් ඔහුගේ කළු ජැකට්ටුව පිටුපසට වැදුනු අතර තවත් බිත්තරයක් ඔහුට පිටුපසින් තිබූ තිරයේ වැදුනා.
“මිනිහෙක් ආවා. එයා මගේ අන්කල් කියා දැනගත්තේ පස්සේ. එයා කරදරකාරයෙක්. හැමදාම එහෙමයි” රීබියල්ස් වාර්තාකරුවන්ට පැවසුවා. “එයා ළඟ බිත්තර තිබුණා. ඒ බිත්තර කිහිපයකින් එයා මට ගැහුවා. නමුත් එයාගෙ අතේ තිබුනේ මොනවද කියලා මම දැනහිටියේ නැහැ. මම ඉස්සෙල්ලාම එයාව දැක්කම හිතුවේ එයා ළඟ ආයුධයක් තියෙනවා කියලයි.”
ඔහුගේ මාමා ලුවීස් රූබන් රීබියල්ස් බවත් ඔහු දේශීය රූපවාහිනි චිත්‍රපට කිහිපයක රඟපෑ නළුවෙක් බවත් ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කළා.
බිත්තර ප්‍රහාරය එල්ල කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ස්පාඤ්ඤ පොලිසිය ප්‍රකාශ කළා. ප්‍රහාරයට හේතුව කුමක්දැයි ප්‍රකාශ වී තිබුනේ නැහැ. රීබියල්සගේ මාමා බිත්තර ප්‍රහාරය දියත් කළ සැණින් ඔහුව අල්ලා ගත් කිහිප දෙනෙක් ඔහුව එතැනින් පිටතට ගෙන යන අයුරු වීඩියෝවක දැක්වෙනවා.
රීබියල්ස් මීට වසර කිහිපයකට පෙර ඔහුගේ තවත් මාමා කෙනෙකු වන ජුආන් රීබියල්ස් සමග ද ආරවුලක් ඇතිකර ගෙන තිබෙනවා. ඒ, රීබියල්ස් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සිටියදී ජුආන් ඔහුට සේවය කරමින් සිටි අවධියේ.
“රීබියල්ස් මරා දැමීම” – “Matar a Rubiales” (Killing Rubiales) යනුවෙන් නම් කර තිබෙන පිටු 500කින් යුත් එම පොත 2023 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තිළිණ ප්‍රදානෝත්සවයේදී ස්පාඤ්ඤ කණ්ඩායමේ ඉදිරි පෙල ක්‍රීඩිකා ජැනී හේමර්සෝ (Jenni Hermoso) සිපගැනීමෙන් පසුව සිදුවූ ඔහුගේ වෘත්තිමය මරණය පිළිබඳව ලියැවුණු එකක්.
එම පොතේ ප්‍රකාශකයාට අනුව, රජය හා ‘ලාභදායක ස්ත්‍රී සමානත්ම වාදයේ ලෝකය’ ඇතුළු ස්පාඤ්ඤ මහජන ජීවිතයේ විවිධ බලවේගයන්හි කුමන්ත්‍රණයක තමා ගොදුරක් බව රීබියල්ස් එම පොතෙන් කියා සිටිනවා.
හේමර්සෝගේ කැමැත්තක් නැතිව තමා ඇයව සිපගත් බවට තිබෙන චෝදනාව රීබියල්ස් සැමවිටම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ක්‍රීඩිකාවගේ අකමැත්තෙන් ඇයව සිපගැනීම නිසා රීබියල්ස් ලිංගික අතවර කිරීමේ ක්‍රියාවට වැරදිකරු බවට ස්පාඤ්ඤ උසාවියක් මේ වසර මුලදී තීන්දු කළා.
ස්පාඤ්ඤ සුපර් කුසලාන පාපන්දු තරගාවලිය සෞදි අරාබිය ට ගෙනයාමේ ඔහුගේ 2020 වසරේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියේ සියුම් පිරික්සීමට ද 48 හැවිරිදි රීබියල්ස් ලක්ව සිටිනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




