The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රෝයා කරිමි: ළමා මනාලියකගේ සිට යුරෝපයේ ඉහළටම ගිය ඇෆ්ගන් කායවර්ධන ක්‍රීඩිකාව

T

The Leader Desk

November 19, 2025 • 3:15 PM

රෝයා කරිමි: ළමා මනාලියකගේ සිට යුරෝපයේ ඉහළටම ගිය ඇෆ්ගන් කායවර්ධන ක්‍රීඩිකාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්ටල් බොත්තම් ඇල්ලූ බිකිනියක් පැළඳ ඇය වේදිකාවේ සිටගෙන සිටින්නේ දිලිසෙමින්.
  • අඩුවක් නැති ‘මේක්-අප්’ ආලේපයෙන් හැඩවී කැපී පෙනෙන දුඹුරු කෙස් ඇතිව සිටින ඇය අවිවාහක විශ්ව රූ රැජින තරගයකට පවා ඉදිරිපත් කිරීමට සුදුසුයි.
  • රෝයා කරිමි (Roya Karimi) මීට වසර 15කට පෙර ළමා මනාලියක ලෙස විවාහ කරවා ඇෆ්ගනිස්තානයේ නව යොවුන් මවකව සිටි බව සිතාගැනීම පවා අසීරුයි.
  • වයස අවුරුදු 14දී බලෙන් විවාහ කරවනු ලැබ දැන් 30 වැනි වියේදී යුරෝපයේ ජනප්‍රිය කායවර්ධන ශූරියක දක්වා රෝයා කරිමිගේ නැඟී සිටීම මුළුමනින් ම වාගේ අතාත්වික කතාන්දරයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇගේ දීප්තිමත්, දුඹුරු පැහැති හමෙන් ප්‍රදර්ශනය වන්නේ මනාව විදහා පාන මාංසපේශී රේඛාවන්. මෙය පැය ගණනාවක් ජිම්නේසියමේ ලැබූ බර ඉසිලීමේ පුහුණුවක ප්‍රතිඵල.

srt4543

අඩුවක් නැති ‘මේක්-අප්’ ආලේපයෙන් හැඩවී කැපී පෙනෙන දුඹුරු කෙස් ඇතිව සිටින ඇය අවිවාහක විශ්ව රූ රැජින තරගයකට පවා ඉදිරිපත් කිරීමට සුදුසුයි.

රෝයා කරිමි (Roya Karimi) මීට වසර 15කට පෙර ළමා මනාලියක ලෙස විවාහ කරවා ඇෆ්ගනිස්තානයේ නව යොවුන් මවකව සිටි බව සිතාගැනීම පවා අසීරුයි. ඒ, ඇය ඇගේ අලුත් ජීවිතය සොයා පලා ඒමට පෙර. ඇය දැන් යුරෝපයේ ඉහළින්ම සිටින කායවර්ධන ශූරියක්.

වයස අවුරුදු 14දී බලෙන් විවාහ කරවනු ලැබ දැන් 30 වැනි වියේදී යුරෝපයේ ජනප්‍රිය කායවර්ධන ශූරියක දක්වා රෝයා කරිමිගේ නැඟී සිටීම මුළුමනින් ම වාගේ අතාත්වික කතාන්දරයක්. වර්තමානයේ නෝවේ රටේ ජීවත් වෙමින් යුරෝපය හරහා තරගවලට සහභාගි වන මේ ඇෆ්ගන් ක්‍රීඩිකාව දැන් ‘ප්‍රත්‍යස්ථිතිය හා නැවත කෙරුනු නිර්මාණයක් දිස්වන ආකාරය’ යළි නිර්වචනය කරමින් සිටිනවා.

fty565

ඇයව නිහඬ කිරීමට සැලැසුම් කර තිබූ තත්ත්වයන්ගේ සිටයි ඇගේ ගමන ඇරඹුනේ. නව යොවුන් වයසේ මුල් අවධියේම විවාහ කරවා අවුරුදු 15 වන විට මවක් වූ රෝයා ජීවත් වුනේ ඇයට අධ්‍යාපනය, නිදහස හා සිහින දැකීමේ කිසිම අවස්ථාවක් ප්‍රතික්ෂේප කෙරුනු දැඩි සමාජ සීමාවලට යටත්ව.

ඇය අද යුරෝපයේ තරගකාරී කායවර්ධන වේදිකාවල පෙනී සිටින්නේ ගෝත්‍රික ඇෆ්ගන් සමාජය ඇයගෙන් බලාපොරොත්තු වන සම්ප්‍රදායට විවෘතව විරෝධය පෑම සඳහා තමන්ගේ බලය, විනය හා ධෛර්යය යොදා ගත් කීර්තිමත් කාන්තාවක් ලෙසින්.

ඇගේ නැගිටීම උල්කාවක් මෙන් වේගී එකක් වී තිබෙන්නේ ඇය මේ ක්‍රීඩාවට වෘත්තීය වශයෙන් පිවිස තවමත් වසර දෙකක්වත් සම්පූර්ණ වී නැති නිසා.

රෝයා ඇගේ මව සහ යොවුන් පුතා සමග ඇෆ්ගනිස්තානයේ පලා එද්දී මේ කිසිවක් සිදුවීමට ඉඩ ඇති බවක සේයාවක් හෝ තිබුනේ නැහැ. එකල, ඇය සරණාගතයෙකු ලෙස නෝවේ දේශයේ සිටිමින් අලුත් ජීවිතයක් සකසා ගත්තේ ඇගේ අධ්‍යාපන කටයුතුවල දිගටම නිරත වෙමින් සහ හෙදියක් බවට පත්වෙමින්. කායවර්ධකයෙකු වන ඇගේ අලුත් සැමියාව රෝයා ට මුණගැසුනේ මේ අතරතුර.

dry5645
සීමා කෙරුනු සම්ප්‍රදායන්ට එරෙහිව සටන් කිරීමට සහ ඇගේ අනන්‍යතාව නැවත ගොඩනැගීමටත්, පුළුල්ව ව්‍යාප්ත වූ සීමාවන්ට මුහුණ දී සිටින ඇගේ මව්රටේ කාන්තාවන් ප්‍රබෝධමත් කිරීමටත් දරණ උත්සාහයක් බවට රෝයාගේ ජීවිත කතාව පත්ව තිබෙනවා.

මේ සමහර සීමාවන් රෝයා ඇෆ්ගනිස්තානයේ ජීවත් වන කාලයේත් තිබුනේ සමාජ සම්මතයන්හි ප්‍රතිඵලයක් ලෙසින්. නමුත් ඒ සීමාවන් ටලිබාන්වරු නැවත බලයට පැමිණි 2021 වසරේ සිට දරුණු වී තිබෙනවා. දැන්, වයස අවුරුදු 12න් ඔබ්බට ඇෆ්ගනිස්තානයේ ස්ත්‍රී වර්ගයාට පාසල් යාම තහනම් කර තිබෙනවා. රැකියා ලබා ගැනීමට ද තහනමක් පනවා තිබෙන අතර පිරිමි භාරකරුවෙකු නැතිව දුර ගමන් යා නොහැකි කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථානවල ශබ්ද නගා කතා කිරීම ද තහනම්.

ඒ ජීවිතය තමන්ට අවශ්‍ය නැති බව රෝයා තීරණය කළේ ටලිබාන්වරු නැවත පැමිණීමට වසර ගණනාවකට පෙර.

එවකට සිටි තමා‌ගේ සැමියා හැර දමා 2011 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පලා යාමට ඇය ගත් තීරණය, සාම්ප්‍රදායික ඇෆ්ගන් සමාජය තුළ සිටින කාන්තාවක් ලෙසින් ඇයට අවදානම් බොහොමයක් ගෙන ආවා. එය ඇය මතක් කිරීමට කැමති කාලවකවානුවක් නෙවෙයි. ඒ ගැන කතා කිරීමටවත් ඇය කැමති නැහැ.

නෝවේ හිදී, රෝයා මුහුණ දුන්නේ හාත්පසින්ම වෙනස් වටපිටාවකට. අලුත් සහ වඩාත් ලිබරල් සංස්කෘතියකට හැඩගැසෙමින් තමාගේ පවුල ජීවත් කරවීම සඳහා රැකියාවක් සොයා ගැනීමටත්, නෝවේජියානු භාෂාව ඉගෙන ගැනීමටත් ඇයට සිදුවුනා.

මේ කාරිය සියල්ලේම එකවර යෙදීම මුල් දවස්වල ඇයට අපහසු වුනත් ක්‍රමයෙන් ඇගේ උත්සාහයන් සාර්ථක වුනා.

රෝගීන්ට සාත්තු කිරීම හැදෑරූ ඇය ඔස්ලෝ අගනුවර රෝහලක රැකියාව කළා.

රෝයාගේ ජීවිතයේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඇය කායවර්ධන ක්ෂේත්‍රයට පිවිසීම. ජිම්නේසියමකට යාම ඇයට ශාරීරික ව්‍යායාමයක් පමණක් ම වුනේ නැහැ. එය ඇගේ ආත්ම විශ්වාසය නැවත ගොඩනැගීම හා ඇගේ පෞද්ගලික අනන්‍යතාව යළි නිර්වචනය කිරීමේ මාර්ගයක් ද වුනා.

රෝයා ට ඇගේ දෙවැනි සැමියා වන ඇෆ්ගන් ජාතික කමාල් ජලාලුඩීන් මුණගැසුනේ ද මේ ජිම්නේසියමේයි.

කායවර්ධනයේ දීර්ඝ ඉතිහාසයක් තිබූ ඔහු රෝයාගේ ප්‍රධාන ආධාරකරුවන්ගෙන් කෙනෙක්.

මීට මාස දහඅටකට ඉහතදී, තමන්ගේ සාත්තු සේවා රැකියාවෙන් මිදි කායවර්ධන ලෝකයට වෘත්තිමය වශයෙන් ඇතුළු වීමට රෝයා තීරණය කළා.

fgy56

මෙහිදී, රැකියාව මාරු කිරීම ඇයට තිබෙන ප්‍රධාන අභියෝගය නොවුන ද, එය අවදානම් සහිත තීරණයක් වුනා. එය ඇෆ්ගනිස්තානයේ ඇයට අත්විඳින්නට සිදුවූ සීමාවන්ගෙන් පසුව ලැබුනු නිදහසට සුදුසු පරිදි තම ජීවිතය හැඩගස්වා ගැනීමේදී අභියෝගයක් වූ බව ඇය කියා සිටියා.

කෙසේ වෙතත්, ඇයට කායවර්ධන ලෝකයේ ද ගැටළු තිබුණා.

ඇගේ රටේ දැන් නිල සීමාවන් බවට පත්ව තිබෙන කාන්තාවන් ඇඳුම් අඳින ආකාරය සහ ඔවුන් පෙනී සිටිය යුතු අන්දම පිළිබඳ ආඥාවන් හා සසඳන විට ඇගේ බිකිනි පැළඳීම, කඩාහැලෙන කොණ්ඩය සහ රූපලාවන්‍ය තදින් ආලේප කරගෙන වේදිකාවේ පෙනී සිටීම වැනි ක්‍රියාවන් තිබෙන්නේ සැතපුම් මිලියන ගණනක් දුරින්.
එබැවින් ඇගේ සමාජ මාධ්‍ය ගිණුම් සියල්ල විවේචන, අපහාස හා ප්‍රචණ්ඩත්වය සහ මරණ තර්ජනවලින් පිරී තිබීම පුදුමයක් නෙවෙයි.

මේ මතයන් රෝයා ප්‍රතික්ෂේප කරනවා.

dfye645

“මිනිස්සු දකින්නේ මගේ පෙනුම හා බිකිනිය පමණයි. අවුරුදු ගණනාවක් විඳි වේදනාවන්, පරිශ්‍රමයන් හා නොපසුබට උත්සාහයන් ඒ පෙනුම පිටුපස තිබෙනවා. මගේ සාර්ථකත්වයන් මට පහසුවෙන් ලැබුනු ඒවා නෙවෙයි” ඇය කියනවා.

නමුත් සමාජ මාධ්‍යය රෝයා ට සෘණාත්මක දෙයක් වී නැහැ. එය ඇයට ඇෆ්ගනිස්තානයේ සිටින කාන්තාවන් ආමන්ත්‍රණය කිරීමටත් ඔවුන් සමග ශාරීරික සෞඛ්‍යය, ආත්ම විශ්වාසය හා කෙනෙකුගේ අනන්‍යතාව නැවත ගොඩනගා ගැනීම පිළිබඳව කතා කිරීමටත් අවස්ථාව ලබා දී තිබෙනවා.

රෝයා කරිමි දැන් ජාත්‍යන්තර ශාරිරික යෝග්‍යතාව කායවර්ධන සම්මේලන ශූරතාවලියන්ට සහභාගි වෙමින් සිටිනවා. අප්‍රේල් මාසයේ පැවති Stoperiet විවෘත කායවර්ධන තරගාවලියේදී ඇය Wellness අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. විශාලව වැඩුණු පේශීන්ට වඩා මේ තරග අංශය විශේෂ අවධානය යොමු කරන්නේ ස්වභාවික යෝග්‍යතාව, සෞඛ්‍යමය පෙනුම හා ඉස්මතු නොවන සුන්දරත්වය කෙරෙහියි.

එම ජයග්‍රහණයෙන් පසුව වැඩිකල් නොගොස් ඇය තවත් ජයක් හිමිකර ගත්තේ ස්කැන්ඩිනේවියාව පුරා විසිරී සිටින ක්‍රීඩිකාවන් සහභාගි වන ගෞරවනීය ‘නෝවේ ක්ලැසික් 2025’ තරගාවලියෙන්.

එතැන් සිට, යුරෝපීය ශූරතාවලියට පිවිසි ඇයට එහිදී ස්පාඤ්ඤයේ පැවති 2025 ලෝක ශුරතාවලියට සහභාගි වීමට සුදුසුකම ලැබුණා.

“මට සතුට, ආඩම්බරය සහ ගෞරවයක ගැඹුරු හැඟීමක් මා තුළ දැනෙනවා” යනුවෙන් ඇය ලෝක ශූරතාවලියට පෙර ප්‍රකාශ කළා. “මෙය මේ වසර පුරා පැමිණි විස්මය ජනක ගමනක්. නමුත් ඒ ගමනේ පියවරෙන් පියවරට රන් පදක්කම් දිනාගන්න මට පුළුවන් වුනා.”

පැත්තක සිට ඇගේ සැමියා හා පුතා සැමවිටම ඇයට ‘චියර්’ කරනවා.

rtret4563
“රෝයා කායවර්ධන තරග වේදිකාවේ සිටිනු දැකීම අපි එකට ගොඩනැගූ සිහිනයක් සම්පූර්ණ වීමක්” යනුවෙන් කමාල් කියන්නේ මහත් උද්යෝගයෙන්.

නමුත් රෝයා කරිමි ට, විශේෂයෙන් මේ ලෝක ශූරතා තරගාවලිය ඇයට සහ ඇගේ පවුලට පමණක් වෙන්වූවක් නෙවෙයි.

“මම මගේ උපරිමය දෙන්න සම්පූර්ණයෙන් සූදානම්. වාර්තාවක් තබමින් ප්‍රථම වරට ඇෆ්ගන් කෙල්ලන් හා ගැහැනුන් වෙනුවෙන් ඉතිහාසය නිර්මාණය කරන්න මම අපේක්ෂා කරනවා!”

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

 whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...