හේටි කණ්ඩායමේ 52 හැවිරිදි ප්‍රංශ ජාතික පුහුණුකරු වන සෙබැස්ටියන් මිග්නෝ (Sebastien Migne) එම තනතුරට මීට මාස 18කට පෙර පත් කිරීමෙන් පසුව මේ දක්වා ඔහුට හේටියට පා තැබීමට නොහැකි වී තිබෙනවා. එරට පවතින ගැටුම් හේතුවෙන් හේටි ජාතික පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ සත්කාරක තරග ක්‍රීඩා කරන්නේ සැතපුම් 500කට දුරින් පිහිටි කුරසාවු රටේ. එය දකුණු අමෙරිකානු රටක් වන වෙනිසුවේලාවේ වෙරළට ඈතින් පිහිටි දූපත් දේශයක්.
2010 වසරේ හේටියේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවේ සිට මේ දක්වා එම රට ප්‍රචණ්ඩත්වය විසින් වෙලාගෙන තිබෙනවා. ආයුධ සන්නද්ධ කල්ලි රටේ අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් හි මුළු ප්‍රදේශයම පාහේ ඔවුන්ගේ පාලනයට යටත් කරගෙන සිටිනවා. ගැටුම් හේතුවෙන් මිලියන 1.3ක ජනතාවකට ඔවුන්ගේ නිවෙස් අතහැර යාමට සිදුව තිබෙන අතර සාගත මට්ටමේ කුසගින්නක් ඇවිළී තිබෙනවා.

මිලියන 12ක ජනතාවක් සිටින මේ රටට නොයන ලෙසට සංචාරකයින්ට අනතුරු අඟවා තිබෙන්නේ පුද්ගලයන් පැහැරගෙන යාමේ අවදානම, අපරාධ, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ සිවිල් නොසන්සුන්බව නිසා.
“එහෙ යන්න බැහැ. මොකද, ඒක හරිම භයානකයි” මිග්නෝ පවසනවා.
“මම සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ මම වැඩකරන රටවලයි. නමුත් මෙහෙදි මට එහෙම කරන්න බැහැ. ජාත්‍යන්තර ගුවන්යානා තවදුරටත් එහෙට යන්නේ නැහැ” ඔහු කියනවා.
පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී කැමරූන් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කළ මිග්නෝ, හේටියේ ක්‍රීඩකයින් පිළිබඳව හේටි පාපන්දු සම්මේලනයේ නිලධාරීන් දුරකථනයෙන් ඔහුට ලබා දෙන විස්තර කෙරෙහි විශ්වාසය තබා සිටිනවා. “ඔවුන් මට විස්තර ලබා දුන්නා. මම දුරස්ථව සිටිමින් කණ්ඩායම කළමනාකරණය කළා” යනුවෙන් ඔහු ප්‍රකාශ කරනවා.
ඔවුන්ගේ සංචිතයේ සියලු දෙනාම දැන් විදෙස්ගතව සිටින අතර එංගලන්තයේ ‘වුල්ව්ස්’ පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රංශයේ උපන් මැදපෙල ක්‍රීඩක Jean-Ricner Bellegarde ද සංචිතයට ඇතුළත්ව සිටිනවා. හේටියානු මව්පියන්ට දාව ප්‍රංශයේ උපත ලබා දැන් එංගලන්තයේ ‘සන්ඩලන්ඩ්’ පාපන්දු සමාජයීය කණ්ඩායමට ක්‍රීඩා කරන ඉදිරිපෙල ක්‍රීඩක Wilson Isidor ද කණ්ඩායමට එක්කර ගැනීම සඳහා පොලඹවා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා.
සංචිතයේ අඩකට වැඩි ප්‍රමාණයක් හේටියේ උපත ලැබූවන් වන අතර අනෙක් අය හේටියානු මව්පියන්ගේ දරුවන් වනවා.
හේටි කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ 1974 වසරෙන් පසුව ප්‍රථම වතාවටයි. මීට පෙර හේටියේ එකම ලෝක කුසලාන සහභාගිත්වයේදී ඔවුන් ඉතාලිය, පෝලන්තය හා ආජන්ටිනාව හමුවේ පරාජය වෙමින් පළමු වටයෙන් ම ඉවතට විසිවුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




