මේ හේතුවෙන් ක්‍රීඩාව මිනිත්තු කිහිපයකට නතර වුනා.
තරගයේ තෙවැනි දිනයේ උදය වරුවේ මේ භූ කම්පනය සිදුවන විට අයර්ලන්තය ඔවුන්ගේ දෙවැනි ඉනිමේදී කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කරගෙන සිටියා. තරග විනිසුරුවන් තරගය නැවැත්වූ අතර දෙපිලේ ම ක්‍රීඩකයන් පිටියේ මැදට එකතු වුනා.

කම්පනවලින් නරඹන්නන් හා පුහුණු මණ්ඩලය හා තරග නිලධාරීන් ද බියට පත්වුනා. ක්‍රීඩාංගණයේ මණ්ඩපයන්හි සිටි ක්‍රීඩා ලෝලීන් විවෘත ප්‍රදේශ කරා ගිය අතර සමහරු ක්‍රීඩාංගණයෙන් පිටව ගියා. අනෙක් අය පිටිය සමීපයට පැමිණියා. ක්‍රීඩකයින් ඇඳුම් අඳින කාමර අත්හැර දමා ගිය අතර මාධ්‍යවේදීන් ආරක්ෂාව පිණිස මාධ්‍ය ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
රික්ටර් මාපක 5.5ක මේ භූචලනයේ කේන්ද්‍රය ධකා සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටි මධාබ්ඩි ප්‍රදේශය බව වාර්තා වනවා. බටහිර බෙන්ගාලය හා ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශය හරහා ද මේ කම්පනය දැනී තිබෙනවා. සිද්ධියෙන් දරුවෙක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් 450 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වනවා.
තරගයේ නතර වීම සිදුවුනේ මඳ වේලාවකට පමණයි. ආරක්ෂාව පිළිබඳව පිරික්සීම හා නිලධාරීන් අතර සාකච්ඡාවලින් පසුව තරගය යළි ආරම්භ වන විට තරග විස්තර ප්‍රචාරක කුටියට පවා එම කම්පනය දැනුනු බව නිවේදකයන් කියා සිටියා.
ක්‍රිකට් තරගවලට භූ කම්පනවලින් බාධා සිදුවූ අවස්ථා ඉතාමත් විරලයි. මෙවැනි සිදුවීමක් මීට පෙර අවසන් වතාවට වාර්තා වූ අවස්ථාවේදී ද අයර්ලන්තය එම තරගයට සම්බන්ධව සිටියා. එම භූචලනය සිදුවුනේ ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝ දේශයේ පෝට් ඔෆ් ස්පේන් හි Queen’s Park Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය හා සිම්බාබ්වේ අතර 2022 වසරේ අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගය පැවැත්වෙමින් තිබියදී. එම අවස්ථාවේදී ද තරගය මොහොතකට නතර වුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




