එකම ක්‍රීඩකයා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ බව හිටපු සෞදි ක්‍රීඩා ඇමති අබ්දුල්ලා බින් මොසාඩ් කුමරු (Prince Abdullah bin Mosaad) පවසනවා.
තමාගේ මතය අනුව, අනෙක් සියලුම විදෙස් ක්‍රීඩකයන් භුක්ති විඳින්නේ ඔවුන්ගේ වටිනාකමට වඩා වැඩි වැටුපක් බව අබ්දුල්ලා කුමාරයා ප්‍රකාශ කරන්නේ සෞදි වෘත්තීය පාපන්දු ලීගයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සෘජු තක්සේරුවක යෙදෙමින්.
“තමන් උපයන මුදලට සරිලන වටිනාකමක් ලබා දෙන එකම විදෙස් ක්‍රීඩකයා රොනාල්ඩෝයි. මොකද, ඔහු ලීගයට හා රටට ගෝලීය නිරාවරණය ගෙන එන නිසා” යැයි අබ්දුල්ලා කුමරු Al-Arabiya රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් කියා තිබෙනවා.
“අනෙක් බොහෝ දෙනාට ගෙවන්නේ ඔවුන්ට සුදුසු වැටුපට වඩා ඉතා වැඩි මුදලක්” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරනවා.
රොනාල්ඩෝගේ පැමිණීම සෞදි අරාබියේ පාපන්දු ව්‍යාපෘතියේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බව අබ්දුල්ලාගේ ප්‍රකාශය පිළිබිඹු කරනවා.
මේ පෘතුගාල සුපිරි පාපන්දු තරුව 2023 වසරේදී සෞදියේ අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජයට එක්වුනේ මැන්චෙස්ට යුනයිටඩ් නමැති එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජය සමග තරහ වීමකින් පසුවයි.
යුරෝපයෙන් පිටත්ව මැද පෙරදිගට යාමට ඔහු ගත් තීරණය පාපන්දු ඉතිහාසයේ ප්‍රබලතම ක්‍රීඩකයෙකුගේ පාපන්දු සමාජ කණ්ඩායමක මාරුවීමක් සංකේතවත් කළ අතර එයින් සෞදි වෘත්තීය ලීගයේ වර්ධනය වෙමින් තිබෙන දියුණුවීමේ අභිලාෂයන්ගේ සංඥාවන් නිකුත් වුණා.
අල්-නසර් කණ්ඩායම සමග එක්වූ දා පටන් රොනාල්ඩෝ, ක්‍රීඩා සුපිරි තරුවක් හා සෞදි පාපන්දුව සඳහා ගෝලීය තානාපතිවරයෙක් යන දෙආකාරයෙන්ම මෙහෙවරක් ඉටුකර තිබෙනවා. ඔහුගේ බලපෑම පිටියෙන් ඔබ්බට ගොස් තිබෙන්නේ වාණිජමය වර්ධනය හා අනුග්‍රාහක උනන්දුව ශක්තිමත් කරමින් සහ ලීගය හරහා නව ගිවිසුම් රැල්ලක ප්‍රබෝධයක් ඇති කරමින්.
සෞදි අරාබියට පැමිණි අවස්ථාවේ අල්-නසර් ක්‍රීඩා සමාජය සමග අත්සන් කළ මාස 30ක මුල් එකඟත්වය සම්පූර්ණ කිරීමෙන් පසුව රොනාල්ඩෝ මෑතකදී එම ක්‍රීඩා සමාජය සමග නව දෙවසරක කොන්ත්‍රාත් දිගුවකට අත්සන් කළා.
රොනාල්ඩෝගේ නව ගිවිසුම ඔහුව පාපන්දු ක්‍රීඩාවේ ඉහළම ආදායමක් ලබන්නන් අතරට ගෙන ගොස් තිබෙන අතර ඔහු දළ වශයෙන් සතියකට ඩොලර් මිලියන හතරක් බැගින් උපයන බවට වාර්තා වී තිබෙනවා.
මේ විස්මයජනක මුදලට අනුව ඔහු වසරකට ඩොලර් මිලියන 211ක් බැගින් හෝ කොන්ත්‍රාත් කාලය තුළ ඩොලර් මිලියන 420කට වැඩි මුදලක් උපයනවා.
සෞදි වෘත්තීය ලීගය Karim Benzema, Joao Felix, Sadio Mane සහ තවත් විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළු හිටපු යුරෝපීය සුපිරි පාපන්දු ක්‍රීඩකයන්ට නවාතැනක් වී තිබුන ද, මේ කිසිම ක්‍රීඩකයෙකුට රොනාල්ඩෝ තරම් පරිවර්තනමය බලපෑමක් නොතිබූ බව අබ්දුල්ලා කුමරු පෙන්වා දෙනවා.
නැවත බ්‍රසීලය ට යාමට පෙර අල්-හිලාල් කණ්ඩායම සමග කෙටි කලකට එක්වූ Neymar ද ලීගයේ දෘශ්‍යතාවට දායක වූව ද, හිටපු ඇමතිවරයාට අනුව ඔහු සිටින්නේත් රොනාල්ඩෝගේ බලපෑමට වඩා පිටුපසින්.
“රොනාල්ඩෝ ගෙනෙන ජාත්‍යන්තර ප්‍රසිද්ධිය වෙනෙකෙක් සමග සමාන කරන්න බැහැ” යනුවෙන් අබ්දුල්ලා කුමරු පවසනවා. “තමන් ලබන වැටුපේ මට්ටමට සාධාරණයක් ඉටුකරන එකම විදෙස් ක්‍රීඩකයා ඔහුයි. වෙනත් කිසිම ක්‍රීඩකයෙක් එවැනි දෙයක් ලීගය වෙනුවෙන් කර නැහැ.”
සෞදි වෘත්තිය ලීගයේ අඛණ්ඩ ප්‍රසාරණය රටේ දීර්ඝ කාලීන ක්‍රීඩා උපායේ මධ්‍ය කොටසක් ලෙස රැඳී තිබෙන අතර ඒ දෘෂ්ටිය ගෝලීය වේදිකාවේ සාධාරණීයකරණය කිරීමේදී රොනාල්ඩෝගේ පෙනී සිටීම තීරණාත්මක බවට ඔප්පු වී තිබෙනවා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




