යුදෙව්වන්ට යුරෝපයේ තිබෙන වැඩියෙන්ම ආරක්ෂිත ස්ථානය හංගේරියාව බවට ප්‍රවර්ධනය කිරීමට එරට නායකයා කටයුතු කළේ හමාස්

සංවිධානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කිරීමට බොහෝ කලකට පෙර සිට. 

euro 24

‘යුරෝ කුසලාන 2024’

දැන් ඊශ්‍රායල් පාපන්දු කණ්ඩායම ඔහුගේ වචනය විශ්වාස කරමින් ‘යුරෝ කුසලාන 2024’ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තමන්ගේ ඉතිරි සත්කාරක තරගවලට සූදානම් වීම පිණිස හංගේරියාවේ කුඩා ගම්මානයකට පැමිණ සිටිනවා.

යුදෙව් විරෝධී ක්‍රියා යුරෝපය පුරා ඉහළ යාමේ බියක් මතුව තිබියදී ඊශ්‍රායල් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය දැන් වැඩි වී තිබෙනවා. වර්තමානයේ ඔවුන් සිටින්නේ පාපන්දු ක්‍රීඩාවට උග්‍ර භක්තියක් තිබෙන පුද්ගලයෙකු ලෙසින් ප්‍රසිද්ධ හංගේරියානු අගමැති වික්ට ඕබන්ගේ (Viktor Orban) සුරතල් ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන අලංකාර ක්‍රීඩාංගණයක.

යුරෝපා කලාපීය පාපන්දු ශූරතාවලියේ ස්ථානයක් හඹා යන ඊශ්‍රායලය අද (බදාදා) ස්විට්සලන්තය ට එරෙහිවත් තව දින තුනකින් රොමේනියාව ට එරෙහිවත් තරග සත්කාරකත්වය දරනවා. මෙය 1994 වසරේ ඊශ්‍රායලය යුරෝපීය පාපන්දු සම්මේලනය UEFA ට සම්බන්ධ වීමෙන් පසුව ඔවුන් සහභාගි වන ප්‍රථම ‘යුරෝ’ තරගාවලිය යි. 

67388869 1005
ස්විට්සලන්තය සමග තරගය කළින් පැවැත්වීමට නියමිතව තිබුනේ ඔක්තෝබර් 12 වැනිදා ටෙල් අවීව් නගරයේදී. නමුත් ආරක්ෂක හේතුන් මත යුරෝපීය පාපන්දු සම්මේලනය ඊශ්‍රායලයේ පැවැත්වීමට නියමිත තරග සියල්ලම අහෝසි කර තිබෙනවා. රොමේනියාව සමග තරගය නොවැම්බර් 18 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුනේත් ටෙල් අවීව් නුවර.

හංගේරියානු අගමැතිවරයා ඔහුගේ ළමා කාලයේ වැඩි හරියක් ගත කළ පුද්ගලයන් 1,900කින් පමණ සමන්විත වන ‘ෆෙල්සෙට්’(Felcsut) නමැති ගම්මානය ට මේ තරග ගෙන ඒමේ තීරණයෙන් පිළිඹිඹු වන්නේ මේ දක්ෂිණාංශික නායකයා ඊශ්‍රායලය සමග තිබෙන සමීප සබඳතා වැඩිකර ගෙන තිබෙන ආකාරය සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙටන්යාහූ (Benjamin Netanyahu) සමග ඔහුගේ තිබෙන ගැඹුරු දේශපාලන සම්බන්ධතාව.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිගත් ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන රට පාලනයක දීර්ඝ කාලීන මිතුරන් වන මේ නායකයන් දෙදෙනා ට ම ජනතාවාදී දේශපාලනය කෙරෙහි තිබෙන්නේ එක සමාන ප්‍රවේශයක්. දැන් නෙටන්යාහූ ඊශ්‍රායල් ඉතිහාසයේ වඩාත්ම දක්ෂිණාංශික රජයක මුදුනේ සිටින විට මේ දෙදෙනා අතර ඇති සමාන්තරකම අන් කවරදාකටවත් වඩා ශක්තිමත්.

000 QP836

බෙන්ජමින් නෙටන්යාහූ - වික්ට ඕබන් 

2010 වසරේ බලයට පත්වූ දා පටන් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් රැඩිකල් සෝදාපාලුවකට ලක් කිරීමට මුල් වූ ඕබන් ඊශ්‍රායලයේදී නෙටන්යාහූ විසින් සිදුකරන උපක්‍රම ඒ හා සමානව ම ක්‍රියාත්මක කරන නායකයෙකු ලෙසින් සැලකෙනවා. 

තම රජයේ සිටින සමහරු යුදෙව් විරෝධී ආකල්ප දරණ බවට වන චෝදනාවලින් ආරක්ෂා වීම පිණිස හංගේරියානු නායකයා ඊශ්‍රායලය සමග තිබෙන තමාගේ සබඳතාව භාවිතා කර තිබෙන අතර තමාගේ රජයේ යුදෙව් හිතවාදී සද්භාවයේ පැහැදිලි සළකුණක් ලෙස ඔහු නෙටන්යාහූ සමග තිබෙන ඔහුගේ සමීප සම්බන්ධය හුවා දක්වනවා.

ඊශ්‍රායල් පාපන්දු කණ්ඩායම හා ඔවුන්ගේ තරග ‘ෆෙල්සෙට්’ වෙත ගෙන ඒමෙහි ලා ඕබන් සහ නෙටන්යාහූගේ කිට්ටු මිත්‍ර සබඳතාව මෙන්ම පාපන්දු ක්‍රීඩාවට ඕබන්ගේ තිබෙන කැපවීම ද ප්‍රධාන හේතුවක් වූ බව හංගේරියාවේ සිටින ඊශ්‍රායල් තානාපති යාකොව් හාඩස්-හෑන්ඩල්ස්මන් (Yacov Hadas-Handelsman) පිළිගන්නවා.

“පුද්ගලික මිත්‍රත්වය හා දේශපාලන සබඳතාවත් එක්ක ක්‍රීඩාව සහ පාපන්දුවට තිබෙන අව්‍යාජ ආදරයකින් යුත් හොඳ සම්බන්ධයකුත් අපට තියෙනවා” යැයි හෑන්ඩල්ස්මන් පවසනවා. “තමන්ගේ රට වගේ තවත් රටක් (සත්කාරකත්වය) නැහැ. නමුත් දැන් තිබෙන තත්ත්වය යටතේ අපට අපේ රටේ ක්‍රීඩා කරන්න බැරි නිසා හංගේරියාව සහ ෆෙල්සෙට් හොඳ විකල්පයක්.”

pancho

‘පන්චෝ’ (Pancho) ක්‍රීඩාංගණය

ඕබන්ගේ නිවාඩු නිකේතනයට පියවර කිහිපයක් නුදුරින් 2014දී විවෘත කරන ලද ආසන 3,500කින් සමන්විත ‘පන්චෝ’ (Pancho) ක්‍රීඩාංගණයේදීයි තරග පැවැත්වෙන්නේ. ෆෙල්සෙට් හි ජනගහණය මෙන් දෙගුණයකට ආසන්න ධාරිතාවකින් යුත් මේ ක්‍රීඩාංගණය මතභේදයන්ගේ මාතෘකාව බවට පත්ව තිබෙන්නේ එය විවෘත කළ දා පටන්. හංගේරියා අගමැතිවරයා විසින් මේ ක්‍රීඩාංගණයේ පිහිටුවූ පාපන්දු ක්‍රීඩා සමාජයකට ඒකාබද්ධ බදු ක්‍රමවේදයක් හරහා මහජන මුදල් යොදවා ඇති බවට ඕබන් ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේත්, ඊශ්‍රායලයේ තරගවලට හංගේරියාව සත්කාරකත්වය දැරීමේ දේශපාලන මතිමතාන්තර ඉක්මවා යුදෙවුවන්ට තමාගේ රට ආරක්ෂිත සුරපුරයක් කිරීමේ ඕබන්ගේ සටන වඩාත් ආකර්ෂණයක් ගෙන තිබෙන්නේ ඊශ්‍රායලය එම ස්ථානය ඔවුන්ගේ ‘යුරෝ’ පාපන්දුවේ ස්ථානයක් හඹා යන තැනක් බවට පත්කර ගෙන තිබෙන නිසා. හංගේරියානු අගමැතිවරයා විසින් යුදෙව් විරෝධී ක්‍රියාවන්ට කිසිසේත්ම ඉඩක් නොදෙන ප්‍රතිපත්තියක් ස්ථාපිත කර ඇති බැවින් ඊශ්‍රායල් අගමැතිවරයා විසින් ඔහු හඳුන්වනු ලබන්නේ ‘ඊශ්‍රායලයේ සැබෑ මිතුරෙක්’ ලෙස.

දෙවැනි ලෝක යුද්ධයේ 550,000ක් පමණ වූ හංගේරියානු ජාතික යුදෙවුවන් මරා දැමුනු නට්සීන්ගේ යුදෙව් ඝාතනයේදී හංගේරියාව ‘පාපය’ක් සිදුකර ඇති බවට ඕබන් පිළිගත්තේ වසර 30කට ආසන්න කාලයකට පසුව ඊශ්‍රායල් අගමැතිවරයෙක් හංගේරියාව ට පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් නෙටන්යාහූ 2017 වසරේදී බූඩපෙස්ට් අගනුවර ට පැමිණි අවස්ථාවේදී. 



‘යුදෙව් ප්‍රජාව ආරක්ෂා කරනවා වෙනුවට අපි නාසින් එක්ක එකතු වීම තෝරා ගත්තා” යනුවෙන් ඕබන් ප්‍රකාශ කළා. “මේක ආයෙ කවදාවත් සිද්ධවෙන්න බැහැ. මින් ඉදිරියට හංගේරියානු රජය එහි රටවැසියන් සියළු දෙනාවම ආරක්ෂා කරනවා.” 

ගාසා තීරයේ සිදුකෙරෙන ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාරය හමුවේ පලස්තීන හිතවාදී පෙළපාලි මෑතකදී තහනම් කළ ඕබන්, සමහර බටහිර යුරෝපීය නගරවල පැවැත්වෙන එවැනි විරෝධතාවන්ට ඇඟිල්ල දිග්කරන්නේ යුදෙව් විරෝධතාවන් මෙල්ල කිරීමෙහි ලා තම රට බටහිර රටවලට වඩා සාර්ථක කාර්යභාරයක් ඉටුකර තිබෙන බව තහවුරු කිරීමට.

සටහන :
පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්