ලෝක පූජිත එංගලන්ත පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් (David Beckham) මීට වසර 26කට පෙර ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලබා ගැනීමේ

තරගයක පළඳින ලද පාපන්දු බූට්සපත්තු ජෝඩුවක් අපේක්ෂිත මුදලට වඩා හය ගුණයකටත් වැඩියෙන් ලන්ඩන් වෙන්දේසියේ අලෙවි වී තිබෙනවා.  

මේ පාපන්දු ක්‍රීඩා පාවහන්වල මෝඩ වැරදීමක් තිබියදීත් වෙන්දේසියේදී එහි වටිනාකම පවුම් 2,000 - 3,000ක් දක්වා ඉහළ යනු ඇතැයි තක්සේරු කර තිබුනත් අවසානයේ එය අලෙවි වූයේ ගැනුම්කරු ට හිමිවන ත්‍යාගය ද සමග පවුම් 19,024කට.

David Beckham Adidas Predator
හිටපු එංගලන්ත පාපන්දු නායකයා ඔහුගේ මේ කළු, සුදු හා රතු Adidas Predator බූට්සපත්තු පැළඳ තිබෙන්නේ 1998 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිණිස ඉතාලිය ට එරෙහිව පැවති ජනප්‍රිය තරගයේ. තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා ලකුණක් අවශ්‍යව තිබියදී රෝමය ට ගිය එංගලන්ත කණ්ඩායම තරගයේ 0-0ක ජය පැරදුමින් තොර ප්‍රතිඵලයක් ලබා ගෙන ඔවුන්ගේ අවශ්‍යතාව සපුරා ගත්තා.

 

මේ පාවහන්වලට සංකේතාත්මක වටිනාකමක් තිබුනත් එහි පොඩි දෝෂයක් තිබුනා. මේ බූට්සපත්තු ජෝඩුව බෙකම්ගේ ම බවට කිසිම තර්කයක් නොතිබුනේ  සපත්තු දිවේ ‘බෙක්ගේ’ – Beck’s - යනුවෙන් මසා තිබුනා නිසා. කෙසේ වෙතත් එය ඉතාම සරල ලෙසින් කියවිය යුතුව තිබුනේ ඩේව්ඩ් බෙකම්ගේ හුරතල් නාමය වන ‘බෙක්ස්’ – Becks -  ලෙසින්. s අකුරට පෙර ’ යන ලොප් ලකුණ යෙදීම අවශ්‍යව තිබුනේ නැහැ.

 

Untitled design 2023 11 15T120714.381

මේ පාපන්දු සපත්තු කුට්ටම බෙකම්ගේ සමරු අත්සන ද සහිතව හෑන්සන් (Hanson) වෙන්දේසිකරුවන්ගේ නොවැම්බර් 14 ක්‍රීඩා වෙන්දේසියට ඉදිරිපත් කර තිබුනේ පවුම් 2,000 - පවුම් 3,000 තක්සේරුවකින්. නමුත් මේ සම්බන්ධයෙන් තිබූ විශාල උනන්දුව හේතුවෙන් එය ඇස්තමේන්තුගත මිලට වඩා හය ගුණයකටත් වැඩියෙන් පවුම් 19,024කට අලෙවි වුනා.

“මෙය අතිවිශිෂ්ට ප්‍රතිඵලයක්” යැයි හැන්සන්ස් වෙන්දේසිකරුවන්ගේ හිමිකරු චාල්ස් හැන්සන් ප්‍රකාශ කරනවා. “මේ පොඩි වැරැද්ද නිසා සපත්තු ජෝඩුවේ විරලබව තවත් වැඩිවුනා. ඩේවිඩ් බෙකම්ගේ සිහිවටනවලට තිබෙන්නේ සැමදා පවතින ඉල්ලුමක්.”

 

                     
 “බෙකම් දීර්ඝ කාලයක් තිස්සේ එංගලන්තයේ ලොකුම සුපිරි තරුවක් ලෙසින් සිටිනවා. නමුත් මේ වර්තමානයේ ඔහුගේ චරිතයට තිබෙන අගය අන් කවරදාකටවත් වඩා ඉහළට ගොස් තිබෙන්නේ ‘Beckham’ නමැති Netflix වාර්තාමය වැඩසටහනේ සාර්ථකත්වය නිසා. මිලියන ගණන් නරඹන්නන් ඔහුගේ ජීවිත කතාවෙන් වශීවී සිටින අතර ඩේවිඩ් බෙකම් කොතරම් විශේෂ කෙනෙක්ද කියා සමහරු වටහා ගනිමින් සිටින්නේ ප්‍රථම වතාවට.”

“බෙකම්ගේ බූට්ස් තක්සේරු කර තිබූ මිල අභිබවා යාම මට නම් පුදුමයක් නෙවෙයි. ඒවා සුවිශේෂ ක්‍රීඩකයෙකුගේ දුර්ලභ සිහිවටන. ඊටත්, පන්දුවට ගහන අතිවිශිෂ්ට පාපහරක් නවත්තන්න අකුරුවල තිබුනු පොඩි වැරැද්දකට කවදාවත් පුළුවන් වුනේ නැහැ” යනුවෙන් හැන්සන් පවසනවා.

                   
1998 ලෝක කුසලාන තරගාවලියේදී බෙකම් එංගලන්ත කණ්ඩායමට උපකාරයක් වූවද එය ඔහු සැලසුම් කළ පරිදි ම සිදුවුනේ නැහැ. ආජන්ටිනාව ට එරෙහි තරගයේදී ඩියෙගෝ සිමෙයොනෙ (Diego Simeone) ට පයින් ගැසීම හේතුවෙන් මතභේදාත්මක අයුරින් ඔහු පිටියෙන් ඉවත් කරනු ලැබුවා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 23 යි.

“මම මහ මෝඩ වැරැද්දක් කළා” යනුවෙන් බෙකම් පවසන්නේ ඔහුට ලැබුනු ඒ කුප්‍රකට රතු කාඩ්පත වසර 25කට පසුවත් තමන්ට වද දෙන බව මතක් කරමින්. “එය මගේ ජීවිතය වෙනස් කළා.”
David Beckham 2023.11.18
මේ රතු කාඩ්පත නිසා ඩේවිඩ් බෙකම් එදා එංගලන්තයේ අංක එකේ මහජන සතුරා බවට පත්වුනා.


ප්‍රංශයේ පැවති 1998 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 16 දෙනාගේ පිළිමළුන් පිටු දැකීමේ වටයේ ආජන්ටිනාව සමග තරගය ගෝල් 2-2 බැගින් සමතත්ත්වයේ තිබියදී ප්‍රතිවාදී ක්‍රීඩක ඩියෙගෝ සිමෙයොනෙ ට නොරිස්සන අයුරින් අනවශ්‍ය පයින් පහරක් ගැසීම හේතුවෙන් බෙකම් ට කෙළින් ම රතු කාඩ්පත පෙන්වා තරගයෙන් ඉවත් කළා. ඉන්පසු ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කරමින් එංගලන්තය තරගය අල්ලා ගෙන සිටීමෙන් පසුව එළඹුනු පෙනල්ටි ප්‍රහාරයෙන් ආජන්ටිනාව තරගය ජයග්‍රහණය කළ අතර එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවුනා.

මුළු එංගලන්තයේ ම දැඩි කෝපය ඩේවිඩ් බෙකම් ට එල්ල වුනේ ඉන්පසුව. ආපසු සියරට පැමිණීමෙන් පසුව බෙකම් දකින සැමවිටකම ජනතාව ප්‍රසිද්ධියේ ඔහුට කෙළ ගැසූ අතර සෑම ක්‍රීඩාංගණයකදීම ඔහු ට ලැබුනේ දැවැන්ත “හූ” පාරක්. එංගලන්ත කණ්ඩායමට ඔහුගෙන් සහයෝගයක් නොලැබීම පිළිබඳව බෙකම්ගේ මව පවා ඔහු සමග උරණ වී සිටියා. බේකම්ගේ පඹයන් ගොඩනැගිලිවලින් පහළට එල්ලා තිබුනා.

‘මැන්චෙස්ට යුනයිටඩ්’ ක්‍රීඩක ඩේවිඩ් බෙකම් අවසානයේදී එංගලන්ත ක්‍රීඩා ලෝලීන් දිනා ගත්තේ අනූඅටේ භූතාත්ම පලවා හරිමින් 2002 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය ට සුදුසුකම ලබා දෙමින් ග්‍රීසිය ට එරෙහිව ගෝල් දැල තුළට එල්ල කළ ඇතුළට කරකැවුනු ගෝලයෙන්.

            
ඩේවිඩ් බෙකම් ඔහුගේ පරම්පරාවේ සිටි එක් විශිෂ්ටතම මැද පෙළ ක්‍රීඩකයෙකු වශයෙන් සැලකෙනවා. ඔහුගේ පාපන්දු ක්‍රීඩා සමාජ ජීවිතය ආරම්භ වුනේ මැන්චෙස්ට යුනයිටඩ් කණ්ඩායමෙන්. කණ්ඩායම වෙනුවෙන් 1992 වසරේදී සිය මංගල තරගයට බෙකම් සහභාගි වුනේ 17 වැනි වියේදී. 1999-2009 වකවානුව තුළ ඔහු එංගලන්තය වෙනුවෙන් පාපන්දු තරග 115කට ක්‍රීඩා කළා.

එංගලන්තය, ස්පාඤ්ඤය, අමෙරිකාව හා ප්‍රංශය යන රටවල් හතරක ලීග් ශූරතා දිනූ පළමු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ඩේවිඩ් බෙකම්. ඔහු පාපන්දු තරග ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම මැන්චෙස්ට යුනයිටඩ් හා එංගලන්ත ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්