බ්‍රසීලය හා ආජන්ටිනාව යනු පාපන්දු ලෝකයේ සිටින ඉතාමත් ප්‍රබල ප්‍රතිවාදීන්. එවන් කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන තරගයක් සැම අතින් ම

ආවේගයෙන් පිරුණු උණුසුම් ගැටුමක්. තරග බිමේ ක්‍රීඩකයන් අතර මෙන් ම පිටියෙන් පිටත නරඹන්නන් අතරත් එය එසේමයි.

දෙපාර්ශවය අතර තිබෙන ප්‍රතිවාදිත්වය මේ සතිය මුලදී අරාජිකත්වය ට කඩා වැටුනා.

මේ දරුණු ප්‍රතිවාදීන් අතර බ්‍රසීලයේ පැවති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් ආජන්ටිනාව ගෝල් 1-0ක තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේ බ්‍රසීලය ට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන්ගේ රටේදී ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ පරාජයක නීරසය ලබා දෙමින්.

skysports argentina brazil 6368105

දෙපිල අතර මැරෙකානා ක්‍රීඩාංගණයේ (Maracana) පැවති තරගය බිහිසුණු මුහුණුවරක් ගත් අතර මේ නිසා බ්‍රසීලය හා ආජන්ටිනාව ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) පරීක්ෂණයකට භාජනය වී සිටිනවා. මෙයින් සත්කාරක බ්‍රසීලය ලකුණු අඩු කිරීමකට හෝ මිනිසුන් නැති හිස් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කිරීමේ දඬුවමක් ලැබීමේ අවදානමකට පත්ව සිටිනවා. 

ලකුණු අඩු කිරීමක් යනු බ්‍රසීලය ට වැදෙන ලොකු පහරක් වනු ඇත්තේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ ආරම්භක තරග හයෙන් ලකුණු 7ක් පමණක් රැස්කර ගෙන කණ්ඩායම් දහය අතරින් ඔවුන් පසුවන්නේ 6 වැනි ස්ථානයේ බැවින්.


පොලිසිය සමග ගැටීමට පෙර ප්‍රතිවිරුද්ධ ක්‍රීඩා ලෝලීන් එකිනෙකා සමග ගහ ගැනීමට පටන් ගත්තා.

තරගයේ පාලනය හා ආරක්ෂාවේ නීති උල්ලංඝනය කිරීම සහ ආධාරකරුවන්ගේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් බ්‍රසීල පාපන්දු සම්මේලනයට චෝදනා එල්ල වී තිබෙනවා. 

තරගයට පෙර, තරගය අතරතුර හා තරගයෙන් පසුවත් පාලනය හා ආරක්ෂාව සත්කාරක ක්‍රීඩා සමාජ හා සංගම්වල වගකීම බවට FIFA විනය නීති සංග්‍රහයෙන් පැහැදිලිව කියා තිබෙනවා. ඕනෑම ආකාරයක සිදුවීම්වලට සත්කාරක රට වගකිය යුතු බව ද එහි සඳහන් වෙනවා. 

බ්‍රසීල ක්‍රීඩා ලෝලීන්ගේ බාධා කිරීම්වලට අමතරව තරග ආරම්භයේ ප්‍රමාදය සම්බන්ධයෙන් ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ කල්ක්‍රියාව ගැන ද FIFA විසින් විමර්ශනය කිරීමට නියමිතයි.

l messi 2l
තරගයට පෙර ජාතික ගී ගායනයට බාධා පමුණුවමින් ක්‍රීඩා ලෝලීන් ගුටිබැට හුවමාරුවක් පටන් ගත් අතර පොලිස් නිලධාරීන් ආධාරකරුවන්ට බැටන් ප්‍රහාර එල්ල කරන්නට වූ බැවින් ලයනල් මෙසී ආරක්ෂාව පිණිස ඔහුගේ ආජන්ටිනා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඇඳුම් මාරු කරන කාමරයට ගෙන ගියා. 

බ්‍රසීල ආධාරකරුවන් විසින් අන්ෂෙල් ඩි මරීයා (Angel Di Maria) නමැති ආජන්ටිනා ක්‍රීඩකයා බීරවලින් නාවනු ලැබුවේ ඔහු සිය කණ්ඩායම් සගයින් සමග මෙසේ ක්‍රීඩාගාරයේ උමඟේ ආපසු කාමරයට යමින් සිටියදී. මින් කෝපයට පත් ඩි මරීයා බ්‍රසීල ආධාරකරුවන්ට කෙළ ගැසුවා.

අඟහරුවාදා තරගයට පෙර ජාතික ගී ගැයෙන අතරවාරයේ බ්‍රසීල හා ආජන්ටිනා ක්‍රීඩා ලෝලීන් රණ්ඩුසරුවල් කරද්දී ඊට මැදිහත් වුනු බ්‍රසීල පොලිස් නිලධාරීන් සංචාරක ආජන්ටිනා ආධාරකරුවන් වෙත කඩා පනිමින් ඔවුන්ට බැටන් පොලුවලින් පහර දෙන්නට වූ අතර සමහරු ලේ පෙරාගෙන වැටෙනු දිස්වුනා. මෙය දුටු ආජන්ටිනා ක්‍රීඩක එමලීආනෝ මාටීනස් (Emiliano Martinez) ක්‍රීඩාමණ්ඩපයට පැන ආජන්ටිනා ක්‍රීඩා ලෝලීන්ට පහර දෙමින් සිටි පොලිස් නිලධාරියකුගේ බැටන් පොල්ල උදුරා ගැනීම සඳහා ඔහු සමග පොර බදින්නට වූ අතර කණ්ඩායමේ සගයන් පැමිණ ඔහු වළක්වා ගනු ලැබුවා.

ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් තරග ආරම්භය පැය භාගයකින් පමණ කල් දැමුනා. පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ගෝල්රකින්නා ලෙස Golden Glove සම්මානය දිනා ගත් එංගලන්තයේ ඇස්ටන් විලා (Aston Villa) වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජයේ ගෝල්රකින ක්‍රීඩක එමලීආනෝ ආජන්ටිනා පාපන්දු ලෝලීන්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ කෙනෙක්.

තමන් නැවත පිටියට එන්නේ තත්ත්වය පාලනය වූ පසුව පමණක් බවට ලෝක පාපන්දු ශූරයින් වන ආජන්ටිනාව අවධාරණය කළ අතර ඔවුන් නැවත තරග බිමට පිවිසියේ මිනිත්තු 22ක පමණ කාලයක් ක්‍රීඩකයන් ඇඳුම් මාරු කරන කාමරයේ ගත කිරීමෙන් පසුව. අවසානයේ තරගය ආරම්භ කිරීමට පෙර ආජන්ටිනා ක්‍රීඩකයන් තවත් මිනිත්තු තුනක් ශරීර උණුසුම් කර ගැනීමේ ව්‍යායාමයන්හි ද නිරත වුනා.

“අපි කාමරයට ගියේ තත්ත්වය සන්සුන් කිරීමට තිබුනු එකම විදිය ඒක නිසායි. එහෙම නැත්නම් ලොකු ඛේදවාචකයක් වෙන්න ඉඩ තිබුනා” යැයි නායක ලයනල් මෙසී පැවසුවා. 

“අපි ඔක්කොම එක පවුලක්. තත්ත්වය තවත් සන්සුන් කරන්නයි අපි ක්‍රීඩා කරන්න තීරණය කළේ.”

“පොලිසිය මිනිසුන්ට ගහන හැටි අපි දැක්කා. අපේ පවුලේ අයත්, එතන ඉන්න අනෙක් අයත් මොනවද වෙන්නේ කියලා දැනගෙන හිටියේ නැහැ. තරගයක් ක්‍රීඩා කරනවාට වඩා අපි වඩාත් සැලකිලිමත් වුනේ ඒ ගැන යි.”

“ඒ අවස්ථාවේ අපට තරගය වැදගත් වුනේ දෙවැනියට.”

“ඊට පස්සේ, මේ තරගය ජය ගැනීම තමයි මේ කණ්ඩායම ලබා ගත්ත එක් වැදගත්ම ජයග්‍රහණය. ඉතිහාසය පුරා ම තමන්ගේ රටේදී බ්‍රසීල කණ්ඩායම ශක්තිමත්ව ඉඳපු හැටියට, බ්‍රසීලයේදී ඔවුන් පරාජය කරන්නට ලැබීම ඉතාමත් ලොකු සතුටක් ගෙන දෙන්නක්.”

78092579 0 image a 52 1700621088312
තරගයේ කණ්ඩායම් දෙක අතර වෙනස වූයේ නිකලස් ඕටමෙන්ඩි (Nicolas Otamendi) දෙවැනි භාගයේදී ලබා ගත් ගෝලය. මේ ජයග්‍රහණයත් සමග ආජන්ටිනාව තරග හයකින් ලකුණු 15ක් රැස්කර ගෙන දකුණු අමෙරිකානු සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ඉහළින් ම තිබෙන තම ස්ථානය තහවුරු කර ගත්තා.

දකුණු අමෙරිකානු කලාපයෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කෙළින් ම සුදුසුකම් ලබනු ඇත්තේ කණ්ඩායම් හයක් පමණයි. 

ජගත් පාපන්දු සම්මේලනයේ සභාපති ජයානි ඉන්ෆන්ටීනෝ (Gianni Infantino) බ්‍රසීල-ආජන්ටිනා තරගයේ හටගත් ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් සටහන් කළ ‘ඉන්ස්ටග්‍රෑම්’ පණිවුඩයක මෙසේ සඳහන් වෙනවා.

231123nstFIFA01 1700742946

Gianni Infantino

“තරග පිටියේදීත් ඉන් පිටතත් ප්‍රචණ්ඩතාව ට පාපන්දු ක්‍රීඩාවේ කිසිම ඉඩක් නැහැ. මේ තරගයේදී දක්නට ලැබුනු එවැනි සිදුවීම්වලට අපේ ක්‍රීඩාවේ හෝ සමාජයේ ඉඩක් නැහැ.”

“විශේෂයක් නැතිව, සියළුම ක්‍රීඩකයන්ට, ක්‍රීඩා ලෝලීන්ට, කාර්ය මණ්ඩලයට හා නිලධාරීන්ට ආරක්ෂාකාරීව පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්නටත් එයින් විනෝද වෙන්නටත් අවශ්‍යයි. මෙය සෑම මට්ටමකින්ම සහතික කරන ලෙසට මම අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

මැරෙකානාහිදී ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් අතර හටගත් ප්‍රචණ්ඩත්වයේ පළමු ගිනිකූර දැල්වුනේ කෙසේදැයි පැහැදිළි නැහැ. 

ක්‍රීඩාමණ්ඩපයේ ඇති පුටු ගලවා ගෙන ඒවා ප්‍රතිවාදී ආධාරකරුවන් වෙත විසිකරද්දී බුරුතු පිටින් පැමිණි රියෝ ඩේ ජෙනේරෝ (Rio de Janeiro) පොලිසිය තත්ත්වය මැඩපැවැත්වීමට උත්සාහ කිරීමෙන් පසුව බැටන් පොලුවලින් පහර දෙන්නට පටන් ගත්තා.

soccer05pix data
ගුවනේ පියඹා ආ පුටුවල කෑලි නරඹන්නන්ගේ ශරීරවල වැදෙන්නට වූ අතර එක් ක්‍රීඩා ලෝලියෙක් හිසෙන් ලේ ගලමින් ක්‍රීඩාංගණයෙන් පිටව යනු දක්නට ලැබුනා. ලේ පෙරා ගත් තවත් ක්‍රීඩා ලෝලියෙක් ගිලන් ස්ට්‍රෙචරයක් මත වැතිර සිටින ආකාරය වීඩියෝ දර්ශනවලින් පෙනුණා.

සමහර ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා මණ්ඩපයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බේරීම පිණිස යකඩ වැටවල් දිගේ උඩට බඩගාන අයුරු දිස්වූ අතර අම්මලා ඔවුන්ගේ දරුවන්ට ආවරණය සලසනු දක්නට ලැබුනා. සමහරු සිටියේ හඬා වැලපෙමින්.

“බ්‍රසීල් පොලිසිය කරන දේ හරිම ලැජ්ජයි. කොහොමද මෙහෙම වෙන්නේ. තව කොච්චර කාලයක් අපි මේවා දකින්නද? හැමදාම බ්‍රසීලයේ සිද්ධ වෙන්නේ මේ දේ ම යි” තුවාල ලැබූ ආජන්ටිනා හා ‘මැන්චෙස්ට යුනයිටඩ්’ මැද-පසුපෙල ක්‍රීඩක ලිසන්ඩ්‍රෝ මාටීනස් (Lisandro Martinez) ‘ඉන්ස්ටග්‍රෑම්’ සටහනකින් කියා තිබුනා.

තරගයෙන් පසුව ලයනල් මෙසී බ්‍රසීල පොලිසියට දොස් කිවුවා: “බ්‍රසීල් පොලිසිය අපේ මිනිසුන්ට ගහන හැටි අපි දැක්කා. තරගයට වඩා පොලිසියේ අවධානය යොමු වී තිබුනේ ආජන්ටිනා ක්‍රීඩා ලෝලීන්ට ගහන්නයි.”

සටහන :
ලෝක කුසලාන ක්‍රිකට් තරග බිමේ ලොකුම පෙරලිය(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්