සන්තොස් (Santos) කණ්ඩායම බ්‍රසීල අන්තර සමාජ පාපන්දු තරග බිමේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන

තාක් කල් ‘අංක 10’ කමිසය අතිශ්‍රේෂ්ඨ පෙලේ - Pele - ට උපහාර පිණිස පුරප්පාඩු වී තිබෙනු ඇතැයි එම පාපන්දු ක්‍රීඩා සමාජය ප්‍රකාශ කර තිබෙනවා. ‘සන්තොස්’ යනු ලොව මෙතෙක් බිහිවූ අතිශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වන බ්‍රසීලයේ පෙලේගේ ක්‍රීඩා සමාජය යි.

පෙලේ අංක 10 කමිසය පැළඳ සන්තොස් පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීම ආරම්භ කරන විට ඒ කමිසය අනෙක් කමිස අතර තිබුනු එක් කමිසයක් පමණක් වූ අතර එම කමිසයට විශේෂ තේරුමක් තිබුනේ නැහැ. නමුත් පෙලේ සන්තොස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් හා බ්‍රසීලය වෙනුවෙන් බැබළෙන්නට පටන් ගත් විට ඩියෙගෝ මැරඩෝනා, සිනෙඩින් සිඩාන් හා ලයනල් මෙසී ඇතුළු ලොව පුරා ඉහළම මට්ටමේ පාපන්දු ක්‍රීඩකයින් 10 නොම්මරය ඔවුන්ගේ අංකය ලෙස තෝරා ගත්තා.



පසුගිය සතියේ පැවති තියුණු තරග වාරයකින් පසුව සන්තොස් කණ්ඩායම බ්‍රසීල පාපන්දු තරගාවලියේ දෙවැනි කොටස දක්වා පහතට වැටුනා. රටේ දෙවැනි කොටසේ පාපන්දු ක්‍රීඩා කරන කාලය තුළ සන්තොස් කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් අංක 10 සඳහන් කමිසය නොපළඳිනු ඇතැයි එම ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා නිවේදනය කර තිබෙනවා.

පිළිකාවක් හේතුවෙන් 2022 වසරේ මිය ගිය සන්තොස් ක්‍රීඩා සමාජයේ ලොකුම සුපිරි තරුව වන පෙලේ ට උපහාර පිණිස මේ තීරණය ගත් බව එම ක්‍රීඩා සමාජයේ නව සභාපති මර්සෙලෝ ටිෂේරා (Marcelo Teixeira) පවසනවා.

santos


“බ්‍රසීල පාපන්දු ලීග් ක්‍රමවේදයේ පෙරමුණේ තිබෙන රටේ ප්‍රධානතම වෘත්තීය ලීගය වන Serie A නමැති සන්තොස්ගේ නියම තත්ත්වයට යළි පැමිණෙන තෙක් අපි අංක 10 කමිසයත් එක්ක ක්‍රීඩා කරන්නේ නැහැ” යැයි මීට පෙරත් අවස්ථා දෙකකදීම සන්තොස් සභාපති ලෙස පත්ව සිටි ටිෂේරා කියා සිටියා.

“මේ අවුරුද්දේ බ්‍රසීලියානු ලීගය නම් කර තිබුනේ පෙලේ රජා වෙනුවෙන්. අපි මේ මෙහෙයුමේ දිග ට ම යනවා. අපි නැවත පළමු කොටසට එනවා. නමුත් එතෙක් අපි අපේ වඩාත්ම ගෞරවාන්විත කමිසය අඳින්නේ නෑ.”


මේ වර්ෂයේ පැවති සෑම බ්‍රසීල ලීග් තරගයක ම 10 වැනි මිනිත්තුවේදී ම පෙලේව සමරනු ලැබුවේ ඔහු සන්තොස් හා බ්‍රසීල් කණ්ඩායම් නියෝජනය කළ විට පැළඳ සිටි කමිසයේ සඳහන්ව තිබූ අංකයට යොමු වෙමින්.

sdfsfsd

පෙලේගේ අංක 10 කමිසයට සන්තොස් සදහටම විශ්‍රාම දිය යුතු බවට වසර කිහිපයකට ඉහතදී ටිෂේරා යෝජනා කළද තෙවතාවක් ම ලෝක ශූරයෙකු වූ ඔහු පසුව කියා සිටියේ එය එසේ සිදුවනවා දකින්නට තමාට උවමනාවක් නැති බව.

පෙලේ විසින් ජනප්‍රිය කරවනු ලැබූ සන්තොස් කණ්ඩායම පසුගිය සතියේදී දෙවැනි කොටස දක්වා පහතට වැටුනේ ඔවුන්ගේ වසර 111ක ඉතිහාසයේ ප්‍රථම වතාවට.

jr
 අතීත පෙලේ මෙන්ම වර්තමාන නෙයිමා (Neymar)ගේ ද ක්‍රීඩා සමාජය වන සන්තොස් අට වතාවක් බ්‍රසීලියානු ශූරයින් බවට පත්වීමට සමත් වුනා. මෙවර ඔවුන් බ්‍රසීල පාපන්දු තරගාවලියේ දෙවැනි කොටසට වැටීමෙන් කෝපයට පත් සන්තොස් ආධාරකරුවන් කලකෝලාහල කරමින් සඋ පාලු (Sao Paulo) නගරයේ කාර් බස්වලට ගිනි තැබුවා. සන්තොස් ආක්‍රමණශීලී ක්‍රීඩක ස්ටීවන් මෙන්ඩෝසා (Stiven Mendoza)ගේ මෝටර් රථය ද ගිනිබත් වූ වාහන අතර තිබුනා.

බ්‍රසීලය හරහා සිටින බොහෝ පාපන්දු ලෝලීන් මෙන්ම සන්තොස් පාපන්දු සමාජයේ ආධාරකරුවන්ද ඔවුන්ගේ කණ්ඩායම දකින්නේ දෙවැනි ආගමක් ලෙසින්. පෙලේ ඔහුගේ ක්‍රීඩා දිවියේ වැඩි කාලයක් ක්‍රීඩා කළේ මේ ක්‍රීඩා සමාජය වෙනුවෙන්. සන්තොස් කණ්ඩායමට පසුගිය සතියේ අත්වුනු මේ පරාජය සිහිනෙකින්වත් සිතාගත නොහැකි දෙයක් වූයේ ඒ නිසාවෙන්.

බ්‍රසීලයේ විලා බෙල්මිරෝ (Villa Belmiro) ක්‍රීඩාංගණයේදී අත්විඳින්නට සිදුවූ සන්තොස් කණ්ඩායමේ මේ ඛේදජනක ඉරණමෙන් පසුව ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හඬා වැලපෙන්නට වූ අතර ක්‍රීඩාංගණය වටේ මහාමාර්ගවල තිබුනු වාහනවලට ගිනි තැබුනේ සමහරු දුක කෝපය දක්වා දුර දිග ගෙන ගිය නිසා.

ක්‍රීඩාංගයේ සිටි සන්තොස් ආධාරකරුවන් නොයෙකුත් ද්‍රව්‍ය තරග  පිටියට විසිකරන්නට වූ අතර තවත් සමහරු පොලිසිය සමග ගැටෙන්න පටන් ගත්තා. පෙලේ සමග ක්‍රීඩා කළ, ගෝල් 403ක් ලබා ගෙන සන්තොස් කණ්ඩායමේ දෙවැනියට වැඩියෙන් ගෝල් ලබා ගත් එම කණ්ඩායමේ තවත් පුරාවෘත්ත ක්‍රීඩකයෙකු වන පෙපේ (Pepe) කියා සිටියේ තමා 741 වතාවක් ක්‍රීඩා කළ කණ්ඩායම දෙවැනි කොටසට පහළට වැටෙනු තමා බලා සිටි‌යේ අදහා ගත නොහැකි අයුරින් බව.

santos down

“දකින්න පුළුවත් ඉතාම දුක්බර අවස්ථාවක් මෙය බවට කිසිම සැකයක් නැහැ. වයස අවුරුදු 88ක් වන මම හොඳ සහ නරක දෙකේ ම හැඟුම්බර අවස්ථාවන් බොහොමයකට මුහුණ දී තිබෙනවා. නමුත් බ්‍රසීල පාපන්දු ශූරතාවලියේ සිදුවන ඉහළ යාම් හා පහළ බැසීම් මැදත් සන්තොස් කණ්ඩායමට මෙවැනි ඉරණමක් අත්වේවි කියා මම නම් කොහෙත්ම හිතුවේ නැත්තේ පාපන්දු දෙවියන් අපව ආරක්ෂා කරනවා කියලා මට සිතුනු නිසා” යනුවෙන් පෙපේ ‘ඉන්ස්ටග්‍රෑම්’හි ලියා තිබුනා.

.

සන්තොස් කණ්ඩායම බ්‍රසීල පාපන්දුවේ දෙවැනි තත්ත්වයට ඇද වැටීම පෙලේගේ මරණයෙන් වසරකටත් අඩු කාලයකදී සිදුවීම තත්ත්වය වඩාත් බරපතළ කර තිබෙනවා.

සන්තොස් කණ්ඩායම තරගාවලියේ ලකුණු සටහනේ මැද සිටි Fortaleza Esporte නමැති සාමාන්‍ය කණ්ඩායමක් වෙතින් ගෝල් 2-1ක පරාජයක් ලැබ දෙවැනි කොටසට පහත වැටුනු මේ ක්‍රීඩා වාරයේ අවසාන තරගය පැවති Vila Belmiro Stadium සන්තොස් ක්‍රීඩා සමාජයේ නිවහන වන අතර පෙලේගේ මිනීපෙට්ටිය තැන්පත් කර තිබෙන්නේ ද මේ ස්ථානයේ. තරග වාර 18ක් සිය සත්කාරක ක්‍රීඩාංගණය ලෙස හඳුන්වමින් ගෝල් 288ක් ලබා ගෙන පෙලේ ක්‍රීඩාංගණ වාර්තාවක් තැබුවේ ද මේ ස්ථානයේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්