ඇන්ටනී ජොෂූආ අද උදෑසන සෞදි අරාබියේදී ෆ්‍රන්සිස් එන්ගානෝ පරාජය කළේ විනාශකාරී අයුරින්.

තියුණු සටනක් අපේක්ෂා කෙරුනු වට දහයක තරගය පැවතියේ වට දෙකක් පමණ යි. මේ වට දෙක අතරතුරදී ජොෂූආ තෙවතාවක් ම එන්ගානෝ ට රියාද් බොක්සිං වළල්ලේ බිම ඇද වැටෙන්න පහර දුන්නා.

සෞදි අරාබි කාන්තාරයට අරුණෝදය උදාවීමත් සමග ලැබූ මේ ජයග්‍රහණයෙන් ජොෂූආ ට තෙවතාවක් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනා ගත් සුපිරි ක්‍රීඩක සමූහයට ඇතුළු වීමට වරම් ලැබෙන හැඟීමක් දැනුනා. මීට පෙර දෙවතාවක් එම ශූරතාව දිනා ගත් ඔහුට එය තවදුරටත් මිරිඟුවක් නෙවෙයි. වට දෙකක් ඇතුළත ලබා ගත් මේ ආකර්ෂණීය ජයග්‍රහණය තමා ට මෙන්ම බොක්සිං ක්‍රීඩාවට මාරු වුනු UFC පුරාවෘත්ත මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝටත් අදහාගත නොහැකි සිදුවීමක්.

 132875242 gettyimages 2069515027.jpg

 කැමරූන් ජාතික එන්ගානෝ සටන් තරග ක්‍රීඩාවේ සිටින ශක්තිමත් ම පහර දෙන්නා ලෙසින් නමක් දිනා ගෙන සිටිනවා. නමුත් එය නැවත ගණන් හදා බැලිය යුතු කරුණක් වී තිබෙන්නේ ඔහු ජොෂූආගේ අතිවිශිෂ්ට දකුණත් පහර හමුවේ වට දෙකක් ඇතුළත තෙවතාවක් බිම ඇද වැටුනු නිසාවෙන්.
එන්ගානෝ දෙවතාවක් ම නැවත නැගී සිටියත් හාස්කම් තෙවතාවකින් පැමිණෙන්නේ කලාතුරකින්. තමා මෙතැන් පටන් ඉදිරියේදී සටන් කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න ඔහු දැන් තීරණය කළ යුතුව තිබෙනවා.

ජොෂූආ තරගයේ මුල සිටම සිටියේ තියුණු සටන්කාමිත්වයකින්. පළමු වටයේදී ඔහු ප්‍රතිවාදියා බිම හෙලුවේ ඉතාමත් දර්ශනීය අයුරින් හරි කෙළින් එල්ල කළ දකුණත් පහරකින්.

අනතුරුව ඔහු දෙවැනි වටයේදී හෙණ ගහන්නාන් මෙන් එල්ල කළ දකුණත් හා වමත් පහර එකතුවකින් එන්ගොනෝ දෙවැනි වතාවටත් බිම ඇද වැටුනා.
ජොෂූආ විසින් එන්ගානෝ ට තරු පෙනෙන්නට අති සාර්ථක දකුණත් පහර එල්ල කළේ ඊට තත්පර කිහිපයකට පසුව.

මේ තෙවැනි වතාවේදී එන්ගානෝව නැවත දෙපයින් නැගී සිටවීමට පෙර ඔහුට කැන්වසය මත දී ම ප්‍රතිකාර ලබා දුන්නා. බොක්සිං වළල්ලේ ඔහුට අයත් කොණ වෙත නැවත යාමට එන්ගානෝ ට උපකාර කිරීමෙන් පසුව ඔහුට ඔක්සිජන් ලබා දුන්නා.


72904492007 gty 2069526937.jpg

 ජොෂූආගේ මේ කුරිරු ප්‍රහාර හමුවේ එන්ගානෝගේ මේ ඇද වැටීම පිළිබඳව ලොව පුරා බොක්සිං ක්‍රීඩා ලෝලීන් සිටියේ අන්දමන්ද වූ හැඟීමකින් යුතුව.“බොක්සිං ක්‍රීඩාවේ එක්තරා මට්ටමක්, ප්‍රමිතියක් තිබෙන බව ජොෂූආ ඔහුට පෙන්නුවා” යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙක් ප්‍රකාශ කළා.“වේගය හා නිරවද්‍යතාව විසින් ශක්තිය පරාජය කළා” යනුවෙන් තවෙකෙක් කීවා.

 
ඇන්ටනී ජොෂූආගේ මේ ඉතාමත් චමත්කාරජනක ජයග්‍රහණය බොක්සිං වළල්ලට පා තබන MMA මිශ්‍ර සටන් කලා තරගකරුවන්ට කෙරෙන ලොකු අනතුරු ඇඟවීමක් විය යුතු බව අමෙරිකානු වෘත්තීය බොක්සිං ක්‍රීඩක Ryan Garcia ප්‍රකාශ කළා.

ඔහු මෙසේ සටහන් කළා: “මෙය MMA සටන්කරුවන්ට කරන ලොකු අනතුරු ඇඟවීමක් වුනාවේ!! බොක්සිං තරග බිමට ඒම නතර කරන්න. ඉදිරියට මෙය මීට වඩා දරුණු වනවා විතරයි.”
 132873825 aj3
“අපි ඕගොල්ලන්ගේ ක්‍රීඩාවට ආවොත් තත්ත්වය මීට වඩා දරුණු වේවි. එක පහරින් ඔක්කොම ඉවරයි!”

පරාජිත එන්ගානෝ ඔහු ලැබූ මේ විශාල පරාජයෙන් පසුව X සමාජ මාධ්‍යයට පිවිස මෙසේ සටහන් කළා: “යාළුවනේ සමාවෙන්න. අද මගේ  නරක දවසක්. නමුත් හෙට උදාවෙන්නේ තවත් දවසක්. මට දැක්වූ ආදරයට ඔබ සියළු දෙනාටම ස්තූතියි!”

පසුගිය ඔක්තෝබරයේ සිය මංගල බොක්සිං තරගයේදී ටයිසන් ෆියරීව මුළු වට දහය ම වෙහෙසට පත් කර එක් අවස්ථාවකදී ඔහුව බිම හෙලීමට පවා සමත් වූ එන්ගානෝ ට මේ තරගයේදී එක් වතාවක් හෝ ජොෂූආගේ ඇඟට අත තැබීමට නොහැකි වුනා.

එහෙත් එන්ගානෝ මීට පෙර ෆියරී සමග සටන් වැදුනු ආකාරය දුටු විට තමාටත් එන්ගානෝ සමග තරග කිරීමට අවශ්‍ය වූ බව ජොෂූආ තරගයෙන් පසුව කියා සිටියා.

“ෆියරී එක්ක කරපු සටන දැක්කම, මේ මිනිහට ගහගන්න පුළුවන් නේ...මටත් එයත් එක්ක සටන් කරන්න ඕන කියලා මට හිතුනා.”

 “මට ඕන වුනේ එයාව සාදරෙන් පිළිගන්න. ඔහු ශ්‍රේෂ්ට ශූරයෙක්. මේ පරාජය නිසා ඔහුට තිබෙන කිසිම හැකියාවක් ඔහුට නැතිවෙන්නේ නැහැ. බොක්සිං ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න එපා කියලා මම ඔහුට කීවා. ඔහු තවමත් මුහුණ දුන්නේ තරග දෙකකට පමණයි. එයාට ආපහු එන්න පුළුවන්.”“කැමරූන් ජනතාවනි! මම ඔබලාව අගය කරනවා. එක්සත් අප්‍රිකාවට මම ගරු කරනවා. මෙතැනට පැමිණි සියළු දෙනාවම මම අගය කරනවා. ෆ්‍රන්සිස් එන්ගානෝ ට බොහොම ස්තූතියි!”

 
තරගයෙන් පසුව එන්ගානෝ තුරුල් කර ගත් ජොෂූආ ඔහුට මෙසේ කියා සිටියා.”බොක්සිං අතහරින්න එපා. මට ඔබ ගැන ආඩම්බරයි. අපි වෙන වෙලාවක කතා කරමු.”

ඉක්බිති ජොෂූආ ලෝකයට මෙසේ ප්‍රකාශ කළා.

41 2024 638401574372964744 296

 “මම තවමත් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. මම මගේ ක්‍රීඩාවේ උපරිමයට එනවාද කියලා මම දන්නේ නැහැ. අද බිම වැටිලා හිටියේ මම නම් ඔබ කියාවි, ඇන්ටනී ජොෂූආ දැන් විශ්‍රාම ගත යුතුයි කියලා.” “තව අවුරුදු පහකින් මම මගේ සටන අවසන් කරාවි. ඊට පස්සෙ පුටුවක ඉඳගෙන ඉඳිද්දී මේ සියල්ල ඈතින් තිබෙන මතකයක් පමණක් වේවි.”


මේ තරගය ආරම්භ වීම නියමිත වේලාවට වඩා ප්‍රමාද වීම නිසා ලොව අනෙක් රටවල ක්‍රීඩා ලෝලීන් සිටියේ කෝපයෙන්. මහත් නොඉවසිල්ලෙන් බලා සිටි මේ තරගය ආරම්භ වීමට නියමිතව තිබුනේ සෞදි වේලාවෙන් අළුයම 2.20 ට. නමුත් ඊයේ තරග වැඩසටහනේ දෙවැනියට ප්‍රධාන තරගයේ ආරම්භය ප්‍රමාද වූ නිසා අවසානයේ ජොෂූආ - එන්ගානෝ බොක්සිං වළල්ලේ පෙනී සිටින විට සෞදි අරාබියේ වේලාව අළුයම 3.30 පමණ වී තිබුනා.

මෙතරම් ප්‍රමාද වී සටන් කරන්නේ මන්ද යන්න බොහෝ ක්‍රීඩා ලෝලීන්ට ප්‍රශ්නාර්ථයක් වී තිබුනා.

“ඔවුන් ගහගන්න යන්නේ උදේ 3.30 ට විතර. මේ වගේ ලොකු තරගයක් ඒ වගේ වෙලාවක සිද්ධ වීම හරි නැහැ. ඇත්ත වශයෙන්ම ඔවුන් බොක්සිං වළල්ලට යන්නත් කළින් වෙහෙස වෙලා ඉඳීවි?” යනුවෙන් එක් ක්‍රීඩා ලෝලියෙක් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් අසා තිබුනා.

රියාද් හි පැවති තරගය වටා තිබූ ශක්තියක් නැති උදාසීන වාතාවරණය පිළිබඳව ද ක්‍රීඩා ලෝලීන් කනස්සල්ල පළ කළා.

“බොක්සිං ක්‍රීඩාව ඇත්ත වශයෙන් ම එහි ජීවය සෞදියට විකුණලා. කිසිම ප්‍රාණවත්කමක් නැති පරිසරයක්. පුදුමයි” යනුවෙන් කෙනෙක් සමාජ මාධ්‍ය වේදිකාවකින් කියා සිටියා.


“මේ සෞදි බොක්සිං පරිසරයේ කිසිම ජීවයක් නැති නිසා මේ ස්ථානය අමෙරිකානු අජටාකාශගාමීන් පුහුණු කිරීම පිණිස යොදා ගන්න පුළුවනි” යනුවෙන් තවත් සටහනක්.

“සෞදි බොක්සිං තරගවල තිබෙන්නේ බින්දුවක චිත්ත වේගී ස්වභාවයක්” යනුවෙන් තවත් කෙනෙක් ලියා තිබුනා.

මේ තවත් සටහනක්: “සෞදියේ මේ වාතාවරණයෙන් මට සිතෙන්නේ මෙය කොවිඩ් වසංගතය කාලයේ ක්‍රීඩා ලෝලීන් නැතිව පැවැත්වූ තරගයක් කියලා.”

ඇන්ටනී ජොෂූආ මේ තරගයට පිවිසියේ Jermaine Franklin, Robert Helenius හා Otto Wallin ට එරෙහිව පිට පිට ජයග්‍රහණ වාර්තා කරමින්. මිශ්‍ර සටන් කලා ශූරයෙකු වන ෆ්‍රන්සිස් එන්ගානෝ අද අළුයම මුහුණ දුන්නේ ඔහුගේ දෙවැනි වෘත්තීය බොක්සිං තරගයට. Tyson Fury සමග පැවති පළමු තරගයෙන් ෆ්‍රන්සිස් එන්ගානෝ පරාජය වූයේ විනිසුරුවන් දුන් ලකුණුවලින් පමණ යි.

warnan Gunasekaraසටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි පුවත් :
අද රාත්‍රියේ සෞදි බොක්සිං වළල්ලට පා තැබීමටත් පෙර ඇන්ටනී ජොෂූආ උපයන මුදල

හිටපු හෙවිවේට් ශූර ජොෂූආ සහ මිශ්‍ර සටන් කලා ශූර එන්ගානෝ අතර තීරණාත්මක බොක්සිං සටනක්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්