MCA ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති මේ T20 අවසාන තරගයේදී ෆෙයාෆස්ට් රක්ෂණ කණ්ඩායමට එරෙහිව CDB කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ නිර්භීත පිතිහරඹයක නියැලෙමින් හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 26කින් ලකුණු 51ක් රැස්කළ මුල් පෙල පිතිකරු පවන් රත්නායක. පසුව තරගයේ වීරයා ලෙස නම් කෙරුණු පවන්ගේ පිතිකරණය මත තරගයේ පන්දු 38ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට CDB ට හැකිවුනා.
පළමුව පන්දුවට පහර දීම පිණිස කැඳවනු ලැබූ ෆෙයාෆස්ට් රක්ෂණ කණ්ඩායමට ඔ්වර 20 ඇතුළත රැස්කර ගත හැකිවූයේ කඩුලු 9 ට ලකුණු 170ක් පමණයි. ඔවුන් එම මුළු ලකුණු ප්‍රමාණය වාර්තා කළේ අනුක් ප්‍රනාන්දු හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමග පන්දු 37කින් ලබා ගත් අර්ධ ශතකය (ලකුණු 51) ආධාරයෙන්.
CDB කණ්ඩායම කඩුලු 5කට ලකුණු 171ක් රැස් කරමින් ඔවුන්ගේ ඉලක්කය වේගයෙන් හඹා ගියේ ඔ්වර 13.4ක් ඇතුළත. පවන් රත්නායක හා සොනාල් ඩිනූෂ (පන්දු 17කින් නොදැවී 36) සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25ක් තුළ ලකුණු 55ක් රැස් කළා.

අවසාන තරගයේදී ලකුණු 33කට කඩුලු 2ක් ලබා ගත් මොවින් සුබසිංහ (CDB) හොඳම පන්දු යවන්නා ලෙස ද, තරගාවලියේ හොඳම පිතිකරු ලෙස ටී.එම්. සම්පත් (Hayleys Group) ද නම් කෙරුණා.
31 වැනි Singer – MCA සුපර් ප්‍රිමිය ලීගය 2024 අවසන් වූයේ ප්‍රථම වරට සහභාගි වූ මැලිබන් බිස්කට් කණ්ඩායම ලීග් ශූරයින් හා ෆෙයාෆස්ට් රක්ෂණ කණ්ඩායම පිළිමළුන් පිටු දැකීමේ ශූරයින් වෙමින්.
ප්‍රධාන අමුත්තා වූ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමනාකරු කේ.ඩී.එස්.කනිෂ්ක මහතා අතින් ජය සංකේත ප්‍රදානය කෙරුනු අතර MCA සභාපති මහේෂ් ද අල්විස්, ලේකම් රොහාන් සෝමවන්ස හා තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වුනා.




