දරුවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු ලෝක ස්නූකර් ශූර ග්‍රෑම් ඩොට්ට ස්කොට්ලන්ත මහාධිකරණයෙන් සිරදඬුවම් නියම වෙයි.
කුඩා දරුවන් දෙදෙනෙකුට ලිංගික අතවර සිදුකළ හිටපු ස්නූකර් ලෝක ශූර ග්‍රෑම් ඩොට් (Graeme Dott) ට වසර හතක සිරදඬුවමක් නියම වී තිබෙනවා.
49 හැවිරිදි ඩොට් මේ පිරිමි ළමයා සහ ගැහැනු ළමයා ඉලක්ක කරගෙන තිබෙන්නේ ඔවුන්ගේ වයස අවුරුදු අටක් හා නවයක්ව තිබියදීයි. ගැහැනු ළමයා අපයෝජනයට ලක් කරන විට ඩොට්ගේ වයස අවුරුදු 16ක් හෝ 17ක්ව තිබූ අතර ඔහු පිරිමි ළමයාට ලිංගික අතවර කිරීම ආරම්භ කර තිබෙන්නේ ඊට වසර දහයකට පමණ පසුවයි. තමාගේ ක්‍රියාවන් පිළිබඳව වෙනත් කෙනෙකුට පැවසුවොත් කිසිම කෙනෙක් ඔවුන්ව විශ්වාස නොකරනු ඇති බවට ඩොට් මේ ළමයින්ට තරවටු කර තිබෙනවා.
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේ මහාධිකරණයේ පසුගිය මාසයේ පැවති නඩු විභාගයකින් පසුව වරදකරු යයි ප්‍රකාශ කෙරුණු ඩොට්, ඔහුගේ ඇඳුම් ගලවා දමා ප්‍රාථමික පාසල් වියේ සිටි ළමයින් දෙදෙනාට ඔහුගේ රහස් අවයව පෙන්වමින් ඔවුන් නුසුදුසු ආකාරයෙන් ස්පර්ශ කර සිපගෙන තිබෙනවා.
වසර ගණනාවක් පුරා සිදු කළ අපයෝජන මාලාව
ගැහැනු ළමයා අපයෝජනය කර තිබෙන්නේ වසර 1993 සිට 1996 දක්වා කාලයේදී වන අතර පිරිමි ළමයාට ලිංගික අතවර සිදුකර තිබෙන්නේ ඩොට් ලෝක ශූරයාව සිටි 2006 වසරේ සිට 2010 දක්වා කාලය තුළදීයි.
මේ දරුවන් දෙදෙනාගේ ළමා කාලයෙන් සැලකිය යුතු කොටසක් ඩොට් විසින් පැහැර ගෙන ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.
ඔහු දින නියමයක් නැතිව ලිංගික වරදකරුවන්ගේ රිජිස්ටරයට ඇතුළත් කර තිබෙනවා.
තමාව නැවත නැවත අපයෝජනය කළ බවට ඩොට්‌ගේ පළමු ගොදුර වී දැන් 40 වැනි වියේ පසුවන කාන්තාව ජූරිය ඉදිරියේ කියා සිටියා. තමාගේ තට්ටම පිරිමදිමින් ආරම්භයක් ලබා ගත් ඔහු පසුව ඔහුගේ ඇඳුම් ඉවත් කර ඔහුගේ රහස් අවයවවලින් තමාව ස්පර්ශ කළ බව ඇය කියනු උසාවිය ඇසුවා.
දැන් 20 වැනි වියේ පසුවන ලිංගික හිරිහැරයට පත් දෙවැනි තැනැත්තා කරුණු දක්වමින්, අපයෝජනය කිරීම වැඩියෙන්ම සිදුවුණේ ෂවරයේ නෑමේදී බව කියා සිටියා. නිරුවතින් හෝ අඩ නිරුවතින් නාන කාමරයට ඇතුළු වන ඩොට් තමාගේ ශරීරයේ නුසුදුසු තැන් ස්පර්ශ කළ බව ඔහු අධිකරණය හමුවේ විස්තර කළා.
නිහඬතාව මිලදී ගැනීමට දැරූ උත්සාහය සහ හෙළිදරව්ව
ඩොට් මේ ළමයින්ට කෑම වර්ග, ත්‍යාග හෝ මුදල් දෙමින් ඔවුන්ගේ නිහඬතාව මිලදී ගැනීමට උත්සාහ කර තිබෙනවා. ඔහුට එරෙහි චෝදනා ඔහුගෙන් අතවරයට ලක්වූ බාලිකාව 2001 වසරේදී ගොනු කර තිබුණ ද, දෙවැනි පුද්ගලයා 2024 වසරේදී ඉදිරියට පැමිණෙන තුරු ම ඒ පිළිබඳව ඉදිරි පියවරක් ගෙන තිබුණේ නැහැ.
ස්කොට්ලන්තයේ ලාක්හෝල් නගරයේ පදිංචිව සිටින දෙදරු පියෙකු වන ඩොට් සතියක් තිස්සේ පැවති නඩු විභාගයේදී තමාට එල්ල වූ සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේ ඒවා “විකාර හා බොරු” යැයි පවසමින්.
1993 වසරේදී නගරයේ නැගෙනහිර අන්තයේ නිවෙසක ඩොට්ගේ ලිංගිකව හිරිහැර කිරීමේ තෙවසරක ක්‍රියාවන් ඇරඹෙන විට තමාගේ වයස නවයක් හෝ දහයක්ව තිබෙන්නට ඇති බව ඇය ප්‍රකාශ කළා. ඇඳුම් ඉවත් කරමින් ඩොට් එදා සිදුකළ ලිංගික ක්‍රියාව අද සිදුවුනා නම් එය කාන්තාවක් දූෂණය කිරීමක් වනු ඇති බවට ඇය උසාවියේ කියා සිටියා.
නව යොවුන් වියට පැමිණීමෙන් පසුව මිතුරියක විශ්වාස කර ඇයට මේ සිදුවීම් ගැන කියන තෙක් ම ඇය මේ සම්බන්ධයෙන් කිසිවක් හෙළි කර නැහැ. ඉන්පසුව අනෙක් පුද්ගලයින් ඇයට සිදුවූ දේවල් දැනගෙන තිබෙනවා.
ක්‍රීඩාවෙන් තහනම් වීම සහ අවසන් තීන්දුව
2001 වසරේදී පොලිසිය ඩොට්ගෙන් ප්‍රශ්න කළ ද කිසිම චෝදනාවක් ඉදිරිපත් කළේ නැහැ.
ඩොට් විසින් පිරිමි ළමයා ඉලක්ක කරගෙන තිබෙන්නේ ඔහු 2006 වසරේ මැයි මාසයේ ලෝක ස්නූකර් කිරුළ දිනාගෙන ටික කලකට පසුවයි. ඒ අපයෝජනය සිවු වසරක් තිස්සේ සිදුව තිබෙනවා. එය ආරම්භ වන විට තමාගේ වයස අවුරුදු අටක් පමණ වූ බවත් ඩොට් හත් වතාවක් පමණ තමාට ලිංගිකව අතවර කළ බවත් ඔහු අධිකරණය හමුවේ කියා තිබෙනවා.
ලෝක ස්නූකර් කීර්තිමත් ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුවෙන් ග්‍රෑම් ඩොට් දැන් ඉවත් කර තිබෙන්නේ ඔහුට ස්නූකර් ක්‍රීඩාවේ නියැලීම ද තහනම් කරමින්. ඔහු ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවනු ඇත්තේ ලිංගික අපරාධකරුවෙකුගේ ලේබලයත් සමගයි.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







