ක්‍රිකට් ක්‍රීඩා දිවියකදී ත්‍රිත්ව ශතකයක් හා කඩුලු හතක් ලබා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාවේ වීආන් මල්ඩර් (Wiaan Mulder) පත්ව සිටිනවා. ඔහු මේ කලාතුරකින් අසන්නට ලැබෙන ද්විත්ව වික්‍රමය සම්පූර්ණ කළේ බංග්ලාදේශයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදීයි.
එම තරගයේදී පිත්තෙන් විශිෂ්ට දස්කම් දක්වමින් පන්දු 178කින් ශතකයක් වාර්තා කළ ඔහු පන්දුවෙන් ද සුපිරි ක්‍රීඩාවක නිරත වෙමින් ඕවර 11කදී ලකුණු 31ක් පමණක් ලබා දී කඩුලු 7ක් ලබා ගැනීමට සමත් වුණා.
සිම්බාබ්වේට එරෙහිව රැස් කළ නොදැවුණු ත්‍රිත්ව ශතකය
28 හැවිරිදි මේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයා 2025 වසරේ ජූලි මාසයේ බුලවායෝ හිදී සිම්බාබ්වේට එරෙහිව නොදැවී ලකුණු 367ක් ලබා ගත්තා. එය මල්ඩර්ගේ පළමු ටෙස්ට් නායකත්වයේ තරගය වීම විශේෂත්වයක්. ඔහු ත්‍රිත්ව ශතකයට පිවිසියේ පන්දු 297කින් වූ අතර එය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී දකුණු අප්‍රිකානු පිතිකරුවෙකුගෙන් වාර්තා වූ එක් අනගිතම ඉනිමක් වුණා. අවසානයේදී දකුණු අප්‍රිකාව ඉනිමක් හා ලකුණු 236ක ජයක් සටහන් කළා.

වසර 149ක ටෙස්ට් ඉතිහාසයේ අලුත් වූ වාර්තා පොත
ඊට වසරකට ආසන්න කාලයකට පසුව බංග්ලාදේශයට එරෙහිව පන්දු යැවීමෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතාවට අනුව ඔහු වසර 149ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ත්‍රිත්ව ශතකයක් මෙන්ම කඩුලු හතක මල්ලක් ලබා ගත් එදා මෙදා තුර පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුණා.
මීට අමතරව මල්ඩර් එකම තරගයේදී ශතකයක් රැස් කර කඩුලු හතක් ද ලබා ගත් ලොව පස් වැනි ක්‍රීඩකයා ලෙසින් ද වාර්තා පොතට එක්වනවා. 1980 වසරේ එංගලන්තයේ ඉයන් බොතම්ට පසුව මේ අපූර්ව හපන්කම පෑ පළමු වේග පන්දු යවන්නා වන්නේ ද මල්ඩර්.
සෙන්චූරියන් ජයග්‍රහණය සහ තරගමාලා ජය
සෙන්චූරියන් හි පැවති දෙවැනි ටෙස්ට් තරගයේ බංග්ලාදේශයේ දෙවැනි ඉනිමේදී කඩුලු හතක් ලබා ගනිමින් ඔහු දකුණු අප්‍රිකාවට ඉනිමක හා ලකුණු 219ක ජයග්‍රහණයක් සහතික කර ගැනීමට හා 2-0ක තරගමාලා ජයක් සම්පූර්ණ කර ගැනීමට උපකාරී වුණා.
මල්ඩර්ගේ කඩුලු හතේ දක්ෂතාවත් සමඟ ඔහු එකම තරගයේදී ටෙස්ට් ශතකයක් හා කඩුලු හතක් ලබා ගත් ප්‍රථම දකුණු අප්‍රිකානුවා බවට පත්වුණේ ඔහුගේ කණ්ඩායමේ මේ සුවිශේෂී ජයග්‍රහණයට තුන් ඉරියව්වෙන් ම දායක වෙමින්.
(සටහන - වර්නන් ගුණසේකර)




