The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (58) : යලි නොඑන හේමන්තය

T

The Leader Desk

December 10, 2023 • 9:02 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (58) : යලි නොඑන හේමන්තය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆීනික්ස් පැරණි සගයින් යලි එක්වීමේ දිනය ළඟම එනවා.
  • බොහෝ විට ඔහු එන්නේ මාකොළ රිමාකෝ පේස්ට්‍රි ෂොප් එකෙන් ගත් රෝල්ස් 2 ක් සමගයි.
  • හේමන්ත මට මුළින්ම හමුවන්නේ 1997 අවුරුද්දේ දී.
  • ෆිනික්ස් එකේදී අපි අවුරුදු 7 ක් හිටියේ එකම නිර්මාණ කණ්ඩායමේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එදාට ඒ මුහුණු අතර සිටිය යුතුම මුහුණක් අද අප අතර නෑ.

ඔහු හේමන්ත ගුණවර්ධන.

ඇඩ්වර්ටයිසිං ලෝකය ලිපි පෙළ ලියන්න මට හිතුනේ හේමන්ත ගේ වියෝවත් සමගයි.

හේමන්ත ගැන එදා මං ලියූ පුංචි සටහනකින් පස්සේ තමයි ඇඩ්වර්ටයිසිං ලෝකය පටන් ගැනුනේ.

හේමන්ත නුවර.

හැම සිකුරාදාම ඔහු බයික් කට්ටේ නැගිලා නුවර බලා යනවා.

නැවත සදුදා පාන්දර ඔහු අප හමුවට එන්නේ රාජා හෝ අධිකාරි විසින් හදා දුන් ප්ලේන් ටී එක හා සිගරට් එකක් ද අතැතිවයි.

බොහෝ විට ඔහු එන්නේ මාකොළ රිමාකෝ පේස්ට්‍රි ෂොප් එකෙන් ගත් රෝල්ස් 2 ක් සමගයි.

ඒ ඔහුගේ උදේ ආහාර වේලයි.

මට මතක විදියට හේමන්ත මුළින්ම වැඩ කළේ ආනන්ද තිස්ස ද අල්විස් මහතාට අයත් දි අල්විස් ඇඩ්වර්ටයිසිං සමාගමේ.

ඔහු ෆීනික්ස් වෙත එන්න ගත් මුල් උත්සාහයන් සාර්ථක වෙන්නෙ නෑ.

ඒකට හේතුව ආනන්ද තිස්ස ද අල්විස් මහතායි.

ආනන්ද තිස්ස ද අල්විස් ළඟ සේවය කරන මනුස්සයෙක් තමන්ගේ ආයතනයට බඳවා ගන්න ෆීනික්ස් ලොක්කා වූ අර්වින් වීරක්කොඩි කැමැති වුණේ නෑ.

හේමන්ත මට මුළින්ම හමුවන්නේ 1997 අවුරුද්දේ දී.

ෆිනික්ස් එකේදී අපි අවුරුදු 7 ක් හිටියේ එකම නිර්මාණ කණ්ඩායමේ.

සෙලින්කෝ, නෙස්ලේ, එලිෆන්ට්හවුස්, සිංගර්, ලයන් බෲවරි, ද ෆිනෑන්ස්,මංචි ඇතුළු සමාගම් ගණානාවක් වෙනුවෙන් අපි එකට වැඩ කළා.

රෑ වැඩ කරද්දී සමහර දාට බේක් හවුස් එක උඩදි හරි ෆීනික්ස් එකේ පිළිකන්න පැත්තෙදි හරි එකට හමු වුණා. 

ඒ කාලේ බේක් හවුස් එකේ උඩ තට්ටුවට වෛද්‍ය සිසුන් කිහිප දෙනෙක් ගිටාරයකුත් අරන් ගොඩවදින්නේ අමතර ආදායමක් හොයාගන්නයි.

අපේ මේසය ළගට ඔවුන්ව කැඳවාගන්නා හේමන්ත සිංදු දෙක තුනක් රසවිඳ "දැනෙන" ටිප් එකකින් ඔවුන්ට සංග්‍රහ කරන්න අමතක කරන්නේ නෑ.

හේමන්ත හොද සංගීත රසිකයෙක්.

අපි හිටියේ රිසෙප්ෂන් එකට පිටිපස්සේ කාමරේ.

හැමදාම උදේ වැඩ පටන් ගන්න කලින් කම්පියුටර් එක ඔන් කරලා හේමන්ත ඉස්සෙල්ලාම අහන්නෙ " මචං, අද අපි කාවද මරන්නේ..? " කියලායි.

අපි ගායකයෙකුව නම් කරනවා.

එතැන් සිට හේමන්ත ගේ කම්පියුටර් එක ඕෆ් වෙනතුරු ඇහෙන්නේ ඒ ගායකයා ගේ සිංදු.


සමහරදාට අර්වින් ලොක්කා අපේ කෑල්ලට හිමින් සීරුවේ ඇවිල්ලා සිංදුවක් දෙකක් අහලා යනවා.

හේමන්ත ගේ මේ සිංදු රසිකත්වය නිසාම ස්ටුඩියෝ එකේ සරදා දවසක් හේමන්ත හොයාගෙන ආවා.

සරදා කියන්නේ වැඩිය දිරවන පොරක් නෙවෙයි, 

ඒකත් කියන්න ඕන මේ ගමන්ම.

" දුවට අහන්න අමරදේව ගේ හොඳ සිංදු ටිකක් දාලා දෙනවද?"

අත් නොහැර එක කවියක් රස විඳිය හැකි කෘතියක් 'එම්බාම් විමලේ'- (ජයසිරි අලවත්ත)සරදා ඇහුවා. 

" දෙන්නංකෝ...!"

එහෙම කියපු හේමන්ත එදාම CD එකකට සිංදු දාලා දුන්නා.

තොයිලේ පටන් ගත්තේ පහුවදා උදේ.

සරදා ඇවිත් හෝල්සේල් බනිනවා.


හේමන්ත අමරදේව ගේ සිංදු දෙකක් මුලට දාලා ඊට පස්සේ කුණු බයිලා සිංදු ටිකක් දාලා දීලා.
 

ඔහු හිනා වෙවී සර්දාගේ බැනුම් පිළිගත්තා.

දවසක් හේමන්තලාගේ නුවර ගෙදරට නයෙක් ආවා.

ක්‍රිකට් බැට් එකෙන් ගහලා නයා මරපු හැටි හේමන්ත විස්තර කරලා දෙනවා.

ඔය කතාව ඊළඟ සුමානේ සිකුරාදා ' ඕල්වේස් බ්‍රේක්ඩවුන් ' එකෙත් ගියා.

" බලපං බං මුන් කරන වැඩ හින්දා මට ගමේ යන්නත් නෑ..."

හේමන්ත බැන බැන යද්දී අර්වින් ලොක්කා ඩිපාර්ට්මන්ට් එකට ආවා.

" අයිසේ හේමන්ත, තමුසෙගේ ගෙදරට නයෙක් ආවලු නේද? " 

අර්වින් ලොක්කා එහෙම ඇහුවම තමයි හේමන්ත දැනගත්තේ නයි සීන් එක මුළු රටටම පත්තුවෙලා කියලා.

Screenshot 2023 12 10 at 14.29.28

හේමන්ත කියන්නේ පට්ට වැඩ්ඩෙක්.

ඔහු බොහෝ දේ ඉගෙනගත්තේ තනියමයි.

ෆීනික්ස් එකේ සාමාන්‍යාධිකාරීවරයා වූ ඇන්ඩෘ සැමුවෙල් දවසක් මෙහෙම ඇහුවා.

" අපි හේමන්ත ට්‍රේනිං යවමුද...?"

ඒ අනුව හේමන්ත ගේ කැමැත්ත අනුව ඔහුව ටෙලිවිවි එකේ කෝස් එකකට ඇරියා.

ඒකෙන් පස්සේ ඔහු තවත් වැඩ පෙන්නුවා.

හේමන්ත පෙන්වූ වැඩ නිසා අප වරක් අමරුවෙත් වැටුණා.

ඔහු ගෙටී ඉමේජ් අරන් වැඩ දාලා හදපු ස්ටෝරි බෝඩ් එකක් දැකපු ලලිත් කොතලාවල මහතා ඒක ඒ විදියටම ටීවී එකේ දාන්න කිව්වා.

ලලිත් කොතලාවල ගේ මරණයට හේතුව හෙළිවේ

ස්ටෝරි බෝඩ් එකක් ඒ විදියට ටීවී එකේ දාන්න බැහැ කියලා ලලිත් කොතලාවල ගේ ටිකිරි මොළේට පැහැදිලි කරලා දෙන්න අපට වෙනම කැම්පේන් එකක් කරන්න වුණා. 

එක පාරක් අර්වින් ලොක්කට කොම්පියුටර් වැඩ්ඩෙක් කොහෙන්දෝ හමුවුණා.

ඔහුගේ නම 'කායි' .

කායි හොංකොං ජාතිකයෙක්.

අර්වින් ඔහුව ගෙනෙල්ලා සති 2 කට ස්ටුඩියෝ එකට දැම්මේ ෆීනික්ස් එකේ කොල්ලන්ට ඉගෙනගන්න.

ඒ සති දෙක ඉවර වෙනකොට අර කායි ගෙන් හොඳටම ඉගෙනගත්තේ හේමන්ත.

සති දෙක අවසානයේ අර්වින් කායිට තෑග්ගක් දුන්නා.

ඒ හේමන්ත ඇතුළු සෙට් එක සමග ට්‍රිප් එකක් යැවීමයි.

සති දෙක ඉවර වෙනකොට හේමන්තලා කොම්පියුටර් වැඩ ටික ඉගෙනගත්තා වගේ කායි ලංකාවේ තිබ්බ සේරම කුණුහරුප ටිකත් ඉගෙනගෙන තිබුනා. 

මීට අවුරුදු 20 කට විතර ඉස්සර ෆීනික්ස් එකේ වැඩ කළ මිතුරන්ගේ පවුල් පිටින් අපි පොලොන්නරුවේ ට්‍රිප් එකක් ගියා.

ගාමිණී, සජිත්, දයාන්, ජීවක, සමන්, රංජන, එගොඩගේ ඇතුළු ෆීනික්ස් එකේ ක්‍රියේටිව් එකේ සෙට් එකක්ම මේ ට්‍රිප් එකට සම්බන්ධ වුණා. 



දවස් 3 කට ගෙයක් කුළියට අරන් අපි පොළොන්නරුවේ හිටියේ.

ගේ හොයාගත්තේ මගේ යාලුවෙක් වූ සුනිල් මාර්ගයෙන්.

අපි යද්දී ගේ පුරාම නයි කූඹි පිරිලා.

එතකොට දයාන්ගේ පොඩි එකාට මාස 3 යි.

ගෑණු සෙට් එකේම මූණු ඇදවෙලා නයි කූඹි දැකලා.

කට්ටියක් භූමිතෙල් ගේන්න ගිය අතරේ හේමන්ත මට කතා කළා.

" මචං, අපේ ගෑණි ඇරෙන්න මෙතන ඉන්න ඔක්කොම ගෑණු කූඹි කේස් එකට උඹට බැන්නා..."

හේමන්තගේ නෝනා මට නොබැන්නේ ඒ වෙනකොට ඔහුට නෝනා කෙනෙක් හිටියේ නැති නිසයි.

ඒ මුළු ට්‍රිප් එකම වීඩියෝ කළේ හේමන්ත. 

ඒ නිසාම ඒ වීඩියෝවේ ඔහු දකින්න ලැබුනේ තත්පර ගානකට විතරයි.


ඊට පස්සේ අපිට එකතුවෙලා ට්‍රිප් යන්න වුණේ නෑ.

ගියත් ඒ වගේ ට්‍රිප් එකක් නම් ආයේ කවදාවත් යන්න ලැබෙන්නේ නෑ.

හේමන්ත නැති වෙන්න මාස කිහිපයකට කලින් මං ඔහුට පුංචි ආරාධනාවක් කළා කෙටි චිත්‍රපටි දර්ශනයක් සදහා.

" මට එන්න වෙන්නෙ නෑ මචං, පොඩ්ඩක් සනීප නෑ..."

හේමන්තගේ හඬ ඇහුණු අවසන් අවස්ථාව ඒක.

ඇඩ්වර්ටයිසිං ලෝකයේ සුන්දර පරිච්ඡේදයක් හේමන්තත් එක්කම නිමා වුණා.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)

''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින් 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...