පාකිස්තානයේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ පළමු තරගයේදී බ්‍රැඩ් එවන්ස් අසාමාන්‍ය පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9කට කඩුලු 3ක් ලබා ගත් අතර නායක සිකන්දර් රාසා පිත්ත හා පන්දුවෙන් වැදගත් දායකත්වයක් ලබා දුන්නා.
162/8ක සිය මුළු ලකුණු ප්‍රමාණය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 95කට දවාලීමට සිම්බාබ්වේ සමත් වුනා.
එවන්ස් හා රිචර්ඩ් න්ගරාවා විසින් මෙහෙයවනු ලැබූ සිම්බාබ්වේ පන්දු යවන්නෝ කැපී පෙනුනු ක්‍රීඩාවක නිරත වුනේ ඔවුන්ගේ සියලුම පන්දු යවන්නන් හය දෙනා ම කඩුලු ලබා ගනිමින් හා පහසු දෙයක් ලෙසින් දිස්වූ හඹා යාමක් ශ්‍රී ලංකාව ට අධෛර්ය කරවන කාරියක් බවට හරවමින්.
පළමුව පන්දු රැකීම තෝරාගත් ශ්‍රී ලංකාව ඔ්වර 20 තුළදී සිම්බාබ්වේ පිල කඩුලු 8ක් දැවී ලකුණු 162කට සීමා කළා. මේ මුළු ලකුණු ප්‍රමාණය බ්‍රයන් බෙනට්ගේ පන්දු 42කින් ලකුණු 49 (හතරේ පහර 5, හයේ පහර 1) හා සිකන්දර් රාසාගේ පන්දු 32කින් ලකුණු 47 (හතරේ පහර 3, හයේ පහර 2) මත ගොඩනැගී තිබුණා.
සිම්බාබ්වේ 40/2කට අසීරු තත්ත්වයකට පත් කරමින් ශ්‍රී ලංකාව ලබා ගත් ශක්තිමත් ආරම්භය මධ්‍යයේත්, බෙනට් සහ රාසාගේ ලකුණු 60ක තෙවැනි කඩුල්ලේ සබඳතාව මගින් ඔවුන්ගේ ඉනිම ස්ථාවර කළා. කෙසේ වෙතත්, මුළු ලකුණු 120දී වනිඳු හසරංග විසින් බෙනට් දවාලීමෙන් පසුව, සිම්බාබ්වේ ට ඔවුන්ගේ කඩුලු ක්‍රමානුකූලව අහිමි වෙමින් 162/8කට ඉනිමක අවසන් වුනා.
ලකුණු 163 හඹා යාමේදී, ශ්‍රී ලංකාව ට පළමු ඔ්වරයේ පස්වැනි පන්දුවෙන් පැතුම් නිස්සංක අහිමි වූ අතර ඊළඟ ඔ්වරයේදී කුසල් මෙන්ඩිස් දැවී ගියා. ‘පවර් ප්ලේ’ ක්‍රීඩාවෙන් පසුව වැඩි වේලාවක් යන්නට පෙර ඔවුන්ට කඩුලු 4ක් ලකුණු 29කට අහිමිව ගොස් තිබූ අතර නැවත නැඟී සිටීමට අසමත් වෙමින් ලකුණු 95කට දැවී ගියා. නායක දසුන් ශානක තනි සටනක නියැලෙමින් හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කර පන්දු 25කින් ලකුණු 34ක් ලබා ගත්තා.
ඉතාමත් දුර්වල ශ්‍රී ලංකා පිතිකරණයේදී ශානකට අමතරව ඉලක්කම් දෙකේ ලකුණු වාර්තා කලේ භානුක රාජපක්ෂ (11) පමණයි. ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාවේ දෙවැනියට වැඩිම ලකුණු සටහන්ව තිබුනේ අතිරේක ලකුණුවලින් (12).
එවන්ස්ගේ ගොදුරු බවට රාජපක්ෂ, එෂාන් මාලිංග හා මතීෂ පතිරණ පත්වුනා. න්ගරාවා ලකුණු 15කට කඩුලු 2ක් බිඳ හෙලූ අතර සිකන්දර් රාසා, රයන් බුරි, ග්‍රෑම් ක්රීමර් සහ ටිනොටෙන්ඩා මපොසා යන සෙසු පන්දු යවන්නන් ද කඩුල්ලක් බැගින් ලබා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමට අමතක නොවන මේ සුවිශේෂී ජයග්‍රහණයට දායක වුනා.
(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




