එංගලන්තයේ ‘ටොට්නම් හොට්ස්ප’ (Tottenham Hotspur) ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන කිසිම පාපන්දු තරගයක් උතුරු කොරියාවේ පෙන්වීම එරට ජනාධිපති කිම් ජොං-උන් (Kim Jong-Un) තහනම් කර තිබෙනවා.

විකාර වැඩ කරන්නෙකු වන මේ කුරිරු පාලකයා ඔහු වෛර කරන අසල්වැසි රටේ ක්‍රීඩකයින් සම්බන්ධව සිටින කණ්ඩායම්වල කිසිම තරගයක් උතුරු කොරියාව තුළ විකාශය නොකළ යුතු බවට අවධාරණය කර තිබෙනවා. ‘ටොට්නම් හොට්ස්ප’ කණ්ඩායමේ නායකත්වය දරන්නේ දකුණු කොරියාවේ වඩාත්ම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා වන 32 හැවිරිදි Son Heung-min.
මේ හේතුවෙන්, පස්වරු පහේ ප්‍රවෘත්ති විකාශයට පෙර ප්‍රිමිය ලීග් තරග නැරඹීමට අවසර ලබා දී ඇති උතුරු කොරියානු ජනතාවට ඔවුන්ගේ රූපවාහිනී තිරවලින් ‘ටොට්නම් හොට්ස්ප’ කණ්ඩායමේ ක්‍රීඩාව නැරඹීමට හැකියාවක් නැහැ.
පසුගිය වසරේ ප්‍රිමිය ලීග් තරගාවලියේදී ද, ‘වුල්වහැම්ප්ටන් වොන්ඩරර්ස්’ (Wolverhampton Wanderers) හා ‘බ්‍රෙන්ට්ෆර්ඩ්’ (Brentford) කණ්ඩායම්වල තරග උතුරු කොරියාවේ විකාශය කිරීම මේ ඒකාධිපති පාලකයා තහනම් කළා. ‘වුල්වහැම්ප්ටන්’ කණ්ඩායම තහනම් කළේ එහි දකුණු කොරියාවේ ඉදිරි පෙල ක්‍රීඩක Hwang Hee-chan සිටින නිසා. ‘බ්‍රෙන්ට්ෆර්ඩ්’ කණ්ඩායමේ තහනමට හේතුව එම කණ්ඩායමට උතුරු කොරියාවේ ආරක්ෂක පෙල ක්‍රීඩක Kim Ji-soo ඇතුළත්ව සිටීම.

මිනිත්තු 90ක පාපන්දු තරගයක් මේ ගුප්ත රාජ්‍යයේ විකාශය කරන්නේ මිනිත්තු 60 දක්වා කෙටිකර වන අතර එම තරග පෙන්වන්නේ සවස පහේ ප්‍රවෘත්ති විකාශයට පෙර. තවද, එම තරග උතුරු කොරියානුවන් නරඹන්නේ ඒවා ක්‍රීඩා කර මාස හතරකට පමණ පසුව.
මේ කාරණා අනාවරණය වී තිබෙන්නේ අමෙරිකානු ආයතනයක් විසින් උතුරු කොරියාව පිළිබඳව කළ සියුම් සෝදිසියකදී. 2022 වසරේදී උතුරු කොරියානු රූපවාහිනිය එංගලන්තයේ ඉහළම පාපන්දු තරගාවලිය වන Premier League සහ ජර්මනියේ Bundesliga, ස්පාඤ්ඤයේ La Liga, ප්‍රංශයේ Ligue 1 හා ඉතාලියේ Serie A තරග විකාශය කළ බව එම වාර්තාවේ සඳහන්.
එහෙත් ඊළඟ වසරේදී, එම රූපවාහිනිය ප්‍රිමිය ලීගය, යුරෝපීය (UEFA) චැම්පියන්ස් ලීගය හා ලෝක කුසලානය විකාශය කිරීමට තීරණය කළා.
උතුරු කොරියානු ජනාධිපතිවරයා මැන්චෙස්ට යුනයිටඩ් (Manchester United) කණ්ඩායමේ ක්‍රීඩා ලෝලියෙක් බව පැවසෙනවා. එහෙත් ඔහු අප්‍රිය කරන ක්‍රීඩකයන්, එනම් දකුණු කොරියානු ක්‍රීඩකයන්, ප්‍රතිවාදී කණ්ඩායමේ සිටිනවා නම් ඒ මැන්චෙස්ට තරග පවා උතුරු කොරියානු රූපවාහිනියේ විකාශය වන්නේ නැහැ.
එංගලන්ත පාපන්දුව ලොව අනෙකුත් ආඥාදායකයන් අතර ද ක්‍රීඩා ලෝලීන් සොයාගෙන තිබෙනවා. හිටපු කියුබානු විප්ලවීය නායක ෆිඩෙල් කස්ත්‍රෝ ‘ආසනල්’ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලියෙකු වූ අතර 2019 වසරේ මිය ගිය සිම්බාබ්වේ හිතුවක්කාර පාලක රොබට් මුගාබේ ‘චෙල්සී’ ක්‍රීඩා ලෝලියෙකුව සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



