The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලිය : මාර්තු 23 – 24

T

The Leader Desk

March 22, 2024 • 10:13 AM

Sri Lions ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලිය : මාර්තු 23 – 24 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය හමුවේදී තිලකා ජිනදාස (මැද) කතා කළ අවස්ථාව. ජයන්ති සෝමසේකරම්, ආචාර්ය කැළුම් සුජිත්, ප්‍රසාදිකා සෙව්වන්දි හා අකිලා ජයවර්ධන මෙහි සිටියි
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මාර්තු 23 හා 24 දිනවල පැවැත්වෙන මේ ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය සංවිධානය කරන්නේ ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතාගේ නිර්මාතෘත්වයෙන් ආරම්භ වූ ‘ශ්‍රී ලයන්ස්’ සංවිධානය යි.
  •   ශ්‍රී ලයන්ස් නිර්මාතෘ හා ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා සභාපති ආචාර්ය කැළුම් සුජිත් කරුණු දක්වයි ජාත්‍යන්තර නෙට්බෝල් ලීගයක ආකාරයට ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන ‘ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය’ සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වනවා.
  • ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්ම මැලේසියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීගය - Sri Lions International Invitational Netball League - ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන නෙට්බෝල් ලීග් තරගාවලිය යි.


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මාර්තු 23 හා 24 දිනවල පැවැත්වෙන මේ ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය සංවිධානය කරන්නේ ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතාගේ නිර්මාතෘත්වයෙන් ආරම්භ වූ ‘ශ්‍රී ලයන්ස්’ සංවිධානය යි. ක්‍රීඩා මෙන්ම සමාජ සත්කාර හා ප්‍රජා සේවා කටයුතු ද ව්‍යූහය කරගත් මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිමය විධි විධානවලට අනුව ක්‍රියාත්මක වන සංවිධානයක්.

 

sri lions 1 ශ්‍රී ලයන්ස් නිර්මාතෘ හා ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා සභාපති ආචාර්ය කැළුම් සුජිත් කරුණු දක්වයි

ජාත්‍යන්තර නෙට්බෝල් ලීගයක ආකාරයට ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන ‘ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය’ සඳහා කණ්ඩායම් 6ක් සහභාගි වනවා. ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර (Sri Lions International) , මාලදිවයිනේ මැට්රික්ස් සමාජය (Matrix) , ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක සරසවිය (KDU), රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමය හා ජනසතු සේවා නෙට්බෝල් සංගමය එම කණ්ඩායම්.

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙන්ම මැලේසියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්. මේ කණ්ඩායම ආසියාවේ ප්‍රධානතම නෙට්බෝල් සමාජ කණ්ඩායමක් ලෙස පිළිගැනීමට ලක්ව සිටිනවා.

 

net456dfgතරගාවලියේ සංවිධායකයින් හා කණ්ඩායම් නායිකාවන්


මේ තරගාවලිය සඳහා කණ්ඩායම් අටක් සහභාගි කර ගැනීමට කළින් සැලසුම් කර තිබුනත් එක් තරගයක් වෙනුවෙන් පැයක තරග කාලයක් වෙන් කිරීමට සිදුව ඇති බැවින් දින දෙකක තරගාවලියකට කණ්ඩායම් අටක් සහභාගි කර ගැනීමට නොහැකි නිසා කණ්ඩායම් හයක් පමණක් තරග වදින බව තරගාවලියේ තාක්ෂණික උපදේශිකාව වන ජයන්ති සෝමසේකරම් පවසනවා.

ජයන්ති සෝමසේකරම් ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ හිටපු නායිකාවක්. මීට අමතරව ඇය ශ්‍රී ලංකා ජාතික බාස්කට්බෝල් කණ්ඩායමට ද ක්‍රීඩා කර තිබෙනවා.

‘ශ්‍රී ලයන්ස් නෙට්බෝල් ලීගය’ ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ මේ වසරෙන් පමණක් නතර වීමට නොවන බවත් ඉදිරි වසරවලදී මේ තරගාවලිය මීටත් වඩා ජාත්‍යන්තර මුහුණුවරකින් යුත් ක්‍රමවේදයකින් පැවැත්වීමට අදහස් කරන බවත් ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ සභාපති ආචාර්ය කැළුම් සුජිත් මහතා ප්‍රකාශ කරනවා. මේ තරගාවලිය අනාගතයේදී පාසල් හා තරුණ පරපුර අතර ව්‍යාප්ත කළ හැකි ආකාරය පිළිබඳව ද සොයා බලන බව ඒ මහතා පවසනවා.

නෙට්බෝල් ඇකඩමියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ආචාර්ය කැළුම් සුජිත් මහතාගේ අරමුණ වී තිබෙන්නේ එම ඇකඩමිය කොළඹින් ආරම්භ කර පියවරෙන් පියවර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගෙන යාමට යි.

ශ්‍රී ලංකාව වර්තමාන ආසියානු නෙට්බෝල් ශූරියන් වූවත් අපට ලීග් තරගාවලියක් නැතිකම විශාල අඩුවක් බවත් මේ තරගාවලිය එම අඩුව පිරිමැසීමට ගන්නා දැවැන්ත උත්සාහයක පළමු පියවර වනු ඇතැයි අපේක්ෂා කරන බවත් තිලකා ජිනදාස කියා සිටිනවා.

 

sri lions 4තරග අංක ලබා දීම 

ශ්‍රී ලයන්ස් නෙට්බෝල් පුහුණුකාරිනී ලෙස කටයුතු කරන හිටපු ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවක ද වන තිලකා ජිනදාස මෙනවිය මුළු ආසියාවේ ම ගෞරවයට පාත්‍රව සිටින අතිදක්ෂ නෙට්බෝල් පුහුණුකාරිනියක්. ඇය 2011 සිට 2018 දක්වා වසර හතක් බෲනායි නෙට්බෝල් කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළා. මලල ක්‍රීඩා දිවියෙන් පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම පුහුණු කළ තිලකා ජිනදාස 2009 හා 2018 ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීම පිණිස ජාතික කණ්ඩායමට උපකාරී වුනා. ක්‍රීඩාව වෙනුවෙන් ඇගේ දායකත්වය අගය කරමින් 1988 වසරේ ජාතික ගෞරව පිදීමේදී තිලකා ජිනදාස මෙනවියට ‘දේශබන්දු’ නාමය පිරිනැමුනා.

මාර්තු 23 වැනිදා ඇරඹෙන ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට පිරිනැමෙන ශූරතාව ‘තිලකා ජිනදාස කුසලානය’ ලෙස නම් කර තිබෙන්නේ ඇයට උපහාර පිණිස. තරගාවලියේ ජයග්‍රාහී ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරෙනවා.

Sri Lions ක්‍රීඩා කණ්ඩායම් පිළිබඳව නොදන්නා ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලියෙක් මැද පෙරදිග නැහැ. 2019 වසරේ ඇරඹුනු ‘ශ්‍රී ලයන්ස්’ අද වන විට ක්‍රීඩා දහයකට යොමුවී සිටිනවා. එම ක්‍රීඩාවන් වනුයේ ක්‍රිකට්, රග්බි, වොලිබෝල්, පාපන්දු, බැඩ්මින්ටන්, නෙට්බෝල්, හොකී, පිහිනුම්, ගොල්ෆ් හා බාස්කට්බෝල්. විශේෂයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ඒ’ කොටසේ ක්‍රිකට් හා නෙට්බෝල් තරගාවලියන්ට සහභාගි වන ‘ශ්‍රී ලයන්ස්’ කණ්ඩායම් ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ජාත්‍යන්තර මට්ටමෙන්.

ලෝකයේ ජනප්‍රිය ජාත්‍යන්තර ක්‍රීඩා තරු කොතරම් ප්‍රමාණයක් ඇතුළත් වූවත් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට පැවරීම ‘ශ්‍රී ලයන්ස්’ ප්‍රතිපත්තියක්. එහි රග්බි කණ්ඩායමේ නායකත්වය ශ්‍රීනාත් සූරියබණ්ඩාර ට පවරා උපනායකත්වය දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන සෙසිල් අෆ්රිකා ට ලබා දුන්නේ ඒ ප්‍රතිපත්තියේ සිට යි.

 

sri lions 6තරග අංක ලබා දීම 
සිය මංගල වසරේදීම ශ්‍රී ලාංකික අන්තර් සමාජ රග්බි ‘බී’ කොටසේ ශූරයන් බවට පත්වූ ශ්‍රී ලයන්ස් රග්බි කණ්ඩායම ලබන වසරේදී ‘ඒ’ කොටසේ තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නංවා දේශීය කුසලතාවන් මුවහත් කිරීමේ අරමුණෙනුයි ශ්‍රී ලයන්ස් සංවිධානය මේ ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීගය සංවිධානය කර තිබෙන්නේ. ලීගය පැවැත්වීමේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ තිලකා ජිනදාස බව එම සංවිධානය පවසනවා. 

champ 9023තරග අංක ලබා දීම 
ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ මෙන්ම ආසියානු නෙට්බෝල් සම්මේලනයේ ද සභාපතිනිය වන ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය මේ ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ පූර්ණ ආශිර්වාදය ලබා දී තිබෙනවා. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රියල් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් ඉහළ ම දායකත්වය මේ තරගාවලියට ලබා දෙනවා.

ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර ආරාධිත නෙට්බෝල් ලීගය ක්‍රීඩාශීලිත්වයේ ජීවය සංකේතවත් කරන ඉසව්වක් පමණක් නොව ශ්‍රී ලාංකේය නෙට්බෝල් ක්‍රීඩාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ද ලබා දෙන නව යුගයකට පෙරමඟ දක්වන අපූරු තරගාවලියක්.


සටහන :
 warnan Gunasekara(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...