රටවල් බිහිවන්නේ ජනතා එක්  තැන් වීමත් සමඟය. ජනතාව එක් තැන් වූයේ නායකයන් නිසාය. නායකයන් ජනතාව එක මිටකට එක් තැන් කිරීමෙන්

රාජ්‍ය නායකයා බවට පත්වේ. රාජ්‍ය නායකයා හෙවත් ප්‍රජාවේ නායකයන් තම ඉහළම ස්ථරය කරා ගමන් කිරීමෙන් චක්‍රවත්තී හෙවත් සක්විති නායකයා බවට  පත්විය යුතු බවත් ‌ගෞතමයන් වහන්සේ වදාරා තිබේ‍.  ඒ ලෝකය තුල රාජ්‍යයක් ලෙස පවතින්නට නම් රාජ්‍ය නායකයා ගමන් කළ යුතු මාර්ග සිතියම පැහැදිලි කර දෙමින්ය.

 

බුදුන්වහන්සේ නිබඳවම මානව ප්‍රජාවේ දියුණුව ඉහළින්ම යෝජනා කල ශාස්තෘවරයාද වේ. මානවයා දියුණු විය යුතු වන්නේ ලොව්තුරුව පමණක් නොව ලෞකිකව බවද දැක බුදුන් වහන්සේ එයට මඟ පෙන්වාලීම සිදු කළේය. ලොව්තුරු සුවය උදෙසාම ලෞකික සිහිනයන් ජය ගැනීමට මේ පෙන්වා දී ඇති මාවත අන් කවර ආගමික සාරයකටත් වඩා සුලලිත මෙන්ම ප්‍රායෝගිකද වේ. නොවේ නම් සමබරය. එම නිසා බුදු වදන නිරතුරුවම රාජ්‍ය පාලනය සමඟම බැඳී පවතින විසඳුමක් මානවයාගේ පොදු මහ ප්‍රශ්නයට පිළිතුරු ලෙස යෝජනා කර ඇති දහමය.

 

නමුත් ඒ බුදු දහම රාජ්‍යයෙන් වියුක්තව හදාරා වටහා ගන්නට දරණ වෑයමක් මතුව පවතී. තවත් අතකින් බුදු දහම රාජ්‍ය හි පටලවා ගැනීමක් ද වේ. රාජ්‍යයට ඇත්තේ මානවයාගේ ලෞකික ප්‍රභර්ෂයට අදාල වගකීම ඉටු කර දීමය. මේ බුදුන් වහන්සේ රාජ්‍ය නායකයාට වගේම රාජ්‍යයේ පුරවැසියන්ටද යෝජනා කර ඇති රාජ්‍යයේ ස්වභාවයයි.

 

ඒ අනුව ලෞකික සාර්ථකත්වය හි පදනම ධනයෙන් සුඛිත ව ලොකිකස්වාද වින්දනයට ඇති බාධාවන් ඉවත් කිරීමය. ප්‍රජාවද රාජ්‍යය දෙස බැලිය යුත්තේ තම ලෞකික සුව සාධනය කොට නිවීමට අවශ්‍ය කළමනාකරණය කරන ව්‍යුහය ලෙස බවද, සම්බුදු තථාගතයන් කියා දෙයි. මේ අනුව ලෞකික සශ්‍රීකත්වයෙන් පිරුණු රාජ්‍යයක් බවට තම ප්‍රජා රාජ්‍යය පත් කරන්නාට “ රාජ්‍ය නායකයා” යන නම උන්වහන්සේ යෝජනා කරයි.

 

ලෞකික සුඛවාදය ප්‍රජාව වෙත ලං කර දෙන්නා පමණක් තම රාජ්‍ය නායකයා ලෙස හෙවත් රාජ්‍යයේ භාරකාරයා ලෙස පිළිගැනීමට ගෞතමයන් වහන්සේ වදාරා සිටීමෙන් උන් වහන්සේ මානවයාගේ පංචේන්ද්‍රීය සතුට ගැන වටහා ගෙන ඇති ගැඹුර වැටහේ. අනෙක් අතට උන්වහන්සේ නායකයන් වන්නාට යෝජනා කරන්නේ ජනතාවගේ ලෞකික සපළත්වය ලඟා කර දීමට සමත් හැකියාවන් වේ නම් පමණක් රාජ්‍ය නායක භූමිකාවට පිවිසෙන සේය. ඒ වෙනුවෙන්ම “ චක්කවත්තී සීහනාද සුත්‍රය ”  නමින් සදාර්ශණික ඥාණ දේශපාලන චින්තාවලියකට උන්වහන්සේ සමාජය කැඳවා තිබේ.


දීර්ඝ බෞද්ධ සාරයක් ඇති රටක් ලෙස ලංකා රාජ්‍යය භාරගත් බොහෝ නායකයන් බුදුන් වහන්සේ කියා දී ඇති පාඩම ඉවත දමා ඇත. එනම් ලාංකිකයන්ගේ ලෞකික ප්‍රාර්ථනා ඉෂ්ඨ කර දිය නොහැකි නායකයන් රාජ්‍ය නායකයන් වී තිබේ. එමෙන්ම තමන්‌ගේ අවශ්‍ය දේ ඉෂ්ඨ කර දිය නොහැකි නායකයන් තමන්ගේ රාජ්‍ය නායකයා කර ගැනීමෙන් ලංකාවේ ජනතාව බුදුන් වහන්සේ වදාල දහමට පයින් ගසා තිබේ. කෙටියෙන් කියන්නේ නම් බුදුන් වදාල දහම වෙනුවට සඟුන් වදාල දහමට හෝ වෙන කවරෙකු හෝ කියා දී ඇති මිත්‍යාවන් අධිපති වී ඇත. එයින් සිදු වී ඇත්තේ නායකයන් රාජ්‍ය නායකයන් වී තම වගකීම සේ සිතා නිවන් පුර යන ජනතාවක් ඇති කිරීමට වටපිටාව තැනීමය‍. ඒ නිසාම ජනතාවද නිවන් පුර යන්නට තමන්ට මඟ පාදා දෙන නායකයන්ට රාජ්‍යය භාර දෙන්නට තරම් අඥාණ මෝඩයන් විය. මේ තත්ත්වය බොහෝ ලස්සන තත්ත්වයක් ලෙස හැමෝටම පෙනේ. නිවන් යන්න මඟ පෙන්වන නායකයන් පතන රටක් කෙතරම් සොඳුරුදැයි සිතේ. ඒත් බුදුන් වහන්සේ ලෞකික සුවය වින්දනය කර නොගත්තේනම් දකින්න හැකි නිවනක් නැතැයි පැහැදිලිව කී ශාස්තෘන් වහන්සේය‍. ලෞකිකත්වය නොමැති නිවනක් ඇත්තේ ජෛන ආගමේ මිස බුදු දහම නොවේ. මේ නිසා ලංකාව පතපු නිවන ලංකාවට හමු නොවන්නේය.

 

මේ සියල්ල අතරින් තේරුම් ගෙන සිතිය යුතු වන්නේ රාජ්‍ය නායකයන් වීමට හැකියා නැත්තන් ඇටවූ චින්තමය ගතිකය තුළ ලංකාව සිරි වී ඇති බවය. බුදු වදනට මුවා වී එයම විකෘති කොට මිත්‍යාවාද පතුරවා රාජ්‍යය අල්ලා ගන්නට මේ අශ්ශීලයන්ට පුළුවන් විය. දැන් මේ විකෘතියෙන් මිදෙන්නට බුදුන් වහන්සේගේ දහම බොඳ කර වසා ඇති තිමිර ඉරා දැමිය යුතුය‍‍. මේ ගැන මෙනෙහි කරන්නට ඉඩ නොදීම අල්පයන් බලය අල්ලා ගත් විපාකයට හේතුව වී ඇත්තේය‍. සසර නිවීමට මත්තෙන් මෙලොව නිවා ගැනීමට යෝජනා කල බුදු වදන අනුව මෙලොව නිවා ගැනීමට ලාංකික අපට බැරිවූ හේතුව මෙතනය. මේ ගැන කතිකා කරන විට මේ බුදු වදන් පෙළ ඒ අවබෝධයට මනා කොට ප්‍රමාණවත් වේ.

 

“ අලං භො මම්පි පහුතං සාපත්‍යෙං ධම්මිකෙන බලිකෙන අභිසංඛතං”


ලෞකික සුඛාස්වාදිය රාජ්‍යයක් යෝජනා කරන තථාගතයන් වහන්සේ, ඒම යෝජනාව ජය ගන්නට වටිනා මාර්ගයක් කියයි. ඒනම් ධනයෙන් සපිරි භාණ්ඩාගාරයක් තම ජාතියට දායාද කළ හැකි පුද්ගලයා චක්කවත්තී හෙවත් සැබෑ රාජ්‍ය නායකයා වන බවය. ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට රැස් කර ගත හැකි මඟ, අයබදු මනාව රැස් කරන නිර්මාණශිලි ආර්ථීක විද්‍යා දේශපාලන ශාස්ත්‍රවන්ත භාවය වන බැව්, උන්වහන්සේ කියා දෙයි. ස්වභාවික සම්පත් මනා කොට පාලනය කරමින්‍ අසම්බාධිත ආදායම් මාර්ග ඇති කිරීම රාජ්‍ය නායකයන්ගේ වගකීම මෙන්ම හැකියාවද විය යුතු බව මෙසේ බුදුන් වහන්සේ කියා දෙයි.

 

ගෞතම දේශපාලන ආර්ථික ඔවදන අතර ඇති නූතන රාජ්‍ය පාලනයට වැදගත් වදනක් මෙහිදී හමුවේ. එනම් “ අසම්බාධිත ආර්ථිකය” ගැන උන්වහන්සේ කරන කතිකාවතය. සම්බාධිත ආර්ථීකය නමින් ආර්ථිකය හකුලවා මානව ජීවිත කුඩා අල්පයක සිර කරන දේශපාලනය සේම ආර්ථික විද්‍යාව උන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි. ධනය උපදවාලීම එම රටේ ජීව පැවැත්මයි. පෙර කී ලෙස ලෞකික  සහ ලොව්තුරු සැපතට හේතුවන හේතු නිමිත්තය‍. ආර්ථීකය සම්බාධිත කිරීමෙන් රාජ්‍යයක සශ්‍රීක ධන උත්පාදනයන් අවහිර වන බව උන්වහන්සේ මනා කොට පෙන්වා දේ. ඒ වගේම ගෞතමයන් වහන්සේ ඉතා වටිනා වදනක් මේ සමඟ කියා සිටී. එනම් පාලකයා විය යුත්තේ මෙසේ සිතන්නාය. මෙසේ ප්‍රීති විය හැකි පුද්ගලයාය.  

 

“ මා හට ප්‍රීතිය. මාගේ රාජ්‍යයටත් ප්‍රජාවටත් පරිහරණය සඳහා අයබදු මඟින් රැස් කර ගත් මහ ධනස්කන්ධයක් ඇති ප්‍රීතියෙන් මම නිබඳ තුටු සතුටෙන් පසුවෙමි” .

 

මෙලෙස සිතිය හැකි නායකයෙක් සොයා ගන්නට අපට බැරි විය. උදේ හවස බණ අසන මල් පූජා කරන උපාසකයෙක් රාජ්‍ය පාලනයට බුදුන් වහන්සේ යෝජනා කර නැත. උන්වහන්සේ මෙසේ යෝජනා කර ඇත්තේ ධනයෙන් උතුරන අයබදු වලින් රැස්කර ගත් මහා භාණ්ඩාගාරයෙන් පිරී ගිය රටක් තනා සතුටෙන් උදම් අනන පාලකයෙක් වන ලෙසය. එවන් පාලකයෙක් වන්නට පතන්නා බෞද්ධ රාජ්‍ය නායකයා වන්නේය. එවන් නායකයා අපේ නායකයා ලෙස දැකීම බෞද්ධ ජන ප්‍රජාවක තේරුම් ගත්  බෞද්ධ කම වන්නේය. සූත්‍ර, සජ්ඡායනා, ගාථා, පූජා පාඩම් කරන රටක් බුදුන්ගේ දහම වටහා ගන්නේ කවදාද? ඒ වටහා ගැනීම ලබා දෙන්නට නම් ලෞකිකවාදය ජනතාවට රැගෙන යා හැකි ධන සශ්‍රීක දේශපාලන නායකයා නිර්භයවම රාජ්‍ය නායකයා ලෙස පිළිගත යුතුය.

 

Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්