ධම්මික සමරවික්‍රම
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන සියයක මුදල වඩාත් විධිමත් සහ සුදුසුකම් සැපරූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ සංවර්ධනයට නිවැරැදිව ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක කමිටුවේ (විද්‍යුත් සහ විදුලි උපාංග) සභාපති සහ කාර්මීකරණ කොමිෂන් සභාවේ සාමාජික ධම්මික සමරවික්‍රම ප්‍රකාශ කරයි.
පරාටේ නීතිය ක්‍රියාත්මක මාස දහයකට අත්හිටුවීමට ගත් තීන්දුව ඉතා අගය කළ යුත්තක් බව පවසන ධම්මික සමරවික්‍රම, එහි ප්‍රථිලාභ සැබෑ ලෙසම කර්මාන්ත හා ව්‍යවසාය බිඳ වැටී පීඩාවට පත්වූවන්ට ලැබිය යුතු බව අවධාරණය කරයි.
බැංකු ණය හිතා මතාම නොගෙවන බැංකුවලට පොලු තැබූ වංචනික පිරිසට අත්හිටවූ පරාටේ නීතිය ක්‍රියාත්ම කිරීම තුළින් සහන නොලැබෙන ලෙස එය විධිමත්ව මෙහෙයවාලීමට බැංකු හා මූල්‍ය අංශ බලධාරීන්ගේ වගකීම බව ඔහු අවධාරණය කරයි.
රටේ වර්ථමානයේ ඇතිවී ඇති ආර්ථික අසීරුතා සහ ඉන් මිදීමට සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්ත කරුවන් ව්‍යවසායකයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? ඊට රජයෙන් සහ බලධාරීන්ගෙන් ලැබිය යුතු සහන මොනවාද? සහ දියුණු ආර්ථික තත්ත්වයක් ලගා කර ගැනීමට අප සියලු දෙනා අනුගමනය කළ යුතු ඉදිරිගාමී වැඩපිළිවෙල කුමක්ද පැහැදිලි කරමින් ධම්මික සමරවික්‍රම දැක්වූ අදහස් සමුදායයි මේ.
ප්‍රශ්නය -
රජය විසින් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වසරේ දෙසැම්බර් 15 තෙක් අත්හිටවූවා. එය ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර -
ඇත්ත වශයෙන්ම කියනවානම් රජය ගනු ලැබූ ඉතා ධනාත්මක, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාවගේ, කර්මාන්තකරණයේ යෙදෙන පිරිසගේ නිබඳ ගෞරවයට පාත්‍රවන පියවරක් තමයි එය. ඒසඳහා කටයුතු කළ සියලු දෙනාට අපගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා. නමුත් රජය ගනු ලැබූ එම තීන්දුව බිම් මට්ටමට ගලා ඒමේදී අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබී යන තත්ත්වයක් මතුවී තිබෙනවා. එය කණගාටුවට කරුණක්.
ඇපයට තැබූ සුරැකුම් ලෙස තැබූ ඔවුන් සතු එකම වස්තුව සමහරවිට එකම දේපොළ පරාටේ නීතිය අනුව ක්‍රියාත්මක වුවහොත් ඔවුනට නැතිවී යාමට පුළුවන්
ප්‍රශ්නය -
රජය ගනු ලැබූ තීන්දුව ඇයි ක්‍රියාත්මක නොවන්නේ?
පිළිතුර -
රජය ගනු ලැබූ තීන්දුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රබල පාර්ශවයක් තමයි බැංකු හා මූල්‍ය අංශය. මෙම ප්‍රබල පාර්ශවය නියෝජනය කරන බලධාරීන් රජය ලබා දුන් මෙම සහනය තමන්ට කරදයක් යැයි සිතන්නට පෙළඹී තිබෙන බවක් දක්නට ලැබෙනවා. බිඳවැටුණු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්, ව්‍යවසායකයන් තමන් ලබා ගත් බැංකු ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය සහ ණය වාරික ගෙවා ගැනීමට අසීරුව පීඩා විඳිනවා. මෙවැනි පිරිස් ඇපයට තැබූ සුරැකුම් ලෙස තැබූ ඔවුන් සතු එකම වස්තුව සමහරවිට එකම දේපොළ පරාටේ නීතිය අනුව ක්‍රියාත්මක වුවහොත් ඔවුනට නැතිවී යාමට පුළුවන්. මේ නිසා ඔවුන් කර කියා ගත නොහැකිව දුකෙන් සිටින්නේ. එවන් පිරිස් සඳහා යම් සහනයක් ලැබීම, ලබාදීම බලධාරීන්ගේ වගකීමයි. මේ පිළිබඳව එතරම් අවබෝධයක් නොදක්වා හිතා මතාම බැංකු ණය නොගෙවූ පිරිස් ලෙස මේ විපතට පත්වූවන් දෙස බලා කටයුතු කිරීම නොකළ යුත්තක්. මේ අවස්ථාවේ බැංකු පද්ධතියටද එහි බලධාරීන්ටද යම් යම් අභියෝග තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් ඒවාටත් වඩා විපතට පත්වූවන් යළි නගා සිටුවීම කළ යුතු බව කවුරුත් හිතට ගත යුතුයි.
ව්‍යවසායකයෙකුට කර්මාන්ත කරුවෙකුට ණය පහසුකමක් ලබා ගත්තායින් පසු විශාල වගකීමක් විශාල අවධානයක් දැරිය යුතු වෙනවා
ප්‍රශ්නය -
බැංකු හා මූල්‍ය ආයතන ණය පහසුකම් ලෙස ව්‍යවසායකයින්ට මුදල් ලබාදී තිබෙන්නේ තැන්පත් කරුවන්ගෙන් ලබා ගත් මුදල්. මේ මුදල් තැන්පත් කරුවන් එකවර ඉල්ලා සිටියහොත් බැංකු වලට එය ලබාදීමට නොහැකිවී විශාල ගැටළුවක් ඇතිවීමට ඉඩ තිබෙනවා. සමහරවිට බැංකු පද්ධතියම බිඳවැටීමට ඉඩ තිබෙනවා නේද?
පිළිතුර -
ඔබ නගන තර්කය ඉතාම නිවැරැදි එකක්. ඒ වගේම අපි අනිත් පස පිළිබඳවත් කල්පනා කර බැලිය යුතුයි. ව්‍යවසායකයෙකුට කර්මාන්ත කරුවෙකුට ණය පහසුකමක් ලබා ගත්තායින් පසු විශාල වගකීමක් විශාල අවධානයක් දැරිය යුතු වෙනවා. තමා ලබාගත් ණය පහසුකමින් ඉලක්ක කළ පරිදිම ව්‍යාපාරය, ව්‍යවසායය සහ කර්මාන්තය දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමට හැකිනම් ණය ආපසු ගෙවීම නියමිත පරිදි කළ හැකියි. නමුත් සියයට සියයක්ම ඒ ආකාරයට සාර්ථකව සිදු වේ යැයි කිසිවෙකුටත් කිව නොහැකියි. මේ නිසා විශාල අවධානමක් බැංකු ණය ලබා ගත් අය දරණවා. ඔවුන්ට නිසි ලෙස ලබා ගත් ණය පහසුකම් ගෙවීමට නොහැකි වන්නේ ඔවුන්ගේ වරදකින් නම් සමාවක් දිය නොහැකියි. නමුත් බොහෝ විට ව්‍යවසායකයින්ට පමණක් කර්මාන්ත කරුවන්ට තනිව විසඳා ගත නොහැකි ගැටළු නිසා ආර්ථික අභියෝග මතුවී තිබෙනවා, නම් ඊට අන් අංශත් යම් සාධනීය වගවීමක්, වගවීමක් දැක්විය යුතුයි නේද. මේ අවස්ථාවේ පරාටේ නීතියේ සහනය ලැබිය යුතු පිරිස සිටින්නේත් මා මේ කියන තත්ත්වයේ බවයි සැබෑ යථාර්තය. ඒ නිසා අප යථාර්තයට මුහුණ දී ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුයි. එහිදී බැංකු කරුවන් කියන දේ පිළිබඳවම ඒක පර්ශවිකව අවධානය යොමු කොට කටයුතු කිරීමට රජයකට බැහැ.
අපි එසේ කියා පරාටේ නීතිය අත්හිටුවීමට හෝ සදාකාලිකව ඉවත් කිරීමට යෝජනා කරන්නේ නැහැ
ප්‍රශ්නය -
එසේනම් රජය ගනු ලැබූ තීන්දුව සාධාරණ බවද ඔබ කියන්නේ ?
පිළිතුර -
අනිවාර්යයෙන්ම ඔව්. නමුත් අපි එසේ කියා පරාටේ නීතිය අත්හිටුවීමට හෝ සදාකාලිකව ඉවත් කිරීමට යෝජනා කරන්නේ නැහැ. අප මේ අවස්ථාවේ හඩ නගන්නේ වැටී ඇති ආගාධයෙන් ගොඩ ඒමට දිරි දීමක් ලෙස සිතා විපතට පත්වූවන්ට සහනයක් සැලසීමට මේ ලබාදුන් පරාටේ නීතිය අත්හිටුවීමේ ක්‍රියාමාර්ග වල සැබෑ ප්‍රතිඵල ඔවුන්ට ලබා දෙන ලෙසයි.
ප්‍රශ්නය -
බැංකු හා මූල්‍ය අංශ බලධාරීන් එසේ ක්‍රියා නොකරන්නේ ඇයි?
පිළිතුර -
බැංකු හා මූල්‍ය අංශ එසේ නොකරනවා යැයි කෙලින්ම කීමට අපට පුළුවන් කමක් නැහැ. නමුත් යම් යම් තැන්වල ප්‍රශ්න ගැටළු මතුවී තිබෙනවා. ඒවා විසඳීමට කළ හැකි එක දෙයක් තිබෙනවා. ඒ දෙය බැංකු විසින් ඉටු කළ යුතුයි. එවිට මේ ගැටළු මතුවන්නේ නැහැ.
පළමුව ඔවුන් කැඳවා සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව අවබෝධ කර ගත යුතුයි
ප්‍රශ්නය -
බැංකු හා මූල්‍ය අංශ බලධාරීන් කළ යුතු දේ කුමක්ද?
පිළිතුර -
මේ මොහොතේ ඔවුන් කළ යුත්තේ විපතට පත් ව්‍යවසායක ප්‍රජාවට, කර්මාන්තකරුවන්ට යම් අවස්ථාවක් ලබා දීමයි. පළමුව ඔවුන් කැඳවා සාකච්ඡා මාර්ගයෙන් ගැටළුව අවබෝධ කර ගත යුතුයි. එක් එක් ව්‍යවසායකයා, කර්මාන්ත කරුවා කැඳවා සාකච්ඡා කළ හොත් දැක්නට ලැබෙනුයේ එකිනෙකාගේ ප්‍රශ්න එකිනෙකාගෙන් වෙනස් බවයි. මෙවැනි විවිධත්වයෙන් යුතු ප්‍රශ්න වලට එක විසඳමක් නැහැ. මේ නිසා එක් එක් ප්‍රශ්නය, එක් එක් සිද්ධීන් ලෙස සලකා බලා එක් එක් විසඳුම් ලබා දීම තමයි ප්‍රායෝගිකව කළ යුතු හොඳම දේ. එය සිදු නොකිරීම තමයි මූල්‍ය හා බැංකු ප්‍රධානීන්ගේ අප දකින අඩුපාඩුව. එය දුරු කිරීමට බැංකු කරුවන් නම්‍ය ශීලී විය යුතුයි. ඒ වගේම ව්‍යවසායක, කර්මාන්තකරුවන්ද තමන්ගේ අමාරුකම් නිවැරැදිව බැංකු කරුවන් වෙත පවසා අවංකව ගැටළුවෙන් නිදහස් වීමට කටයුතු කළ යුතුයි. මෙය දෙපිරිසගේම තිබෙන අවංක කම, කැපවීම, විනය ගරුක බව සහ විශ්වාසය මත සිදුවන්නක්.
තම ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයක් ව්‍යවසායකත්වය නියෝජනය කිරීම
ප්‍රශ්නය -
මේ වන විට අපේ රටේ ව්‍යවසායක ප්‍රජාවගේ දක්නට ලැබෙන තැන කුමක්ද?
පිළිතුර -
ලෝකයේ ඕනෑම දියුණු රටක, දියුණු වෙමින් පවතින රටක දක්නට ලැබෙන එක් ප්‍රධාන කරුණක් තිබෙනවා. එය තමයි තම ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයක් ව්‍යවසායකත්වය නියෝජනය කිරීම. එය වැඩි රටවල දියුණුව වැඩියි. අඩු රටවල දියුණුව අඩුයි. අපේ රටේ මේ වන විට දක්නට ලැබෙන්නේ ජනගහණයෙන් 2.8% ව්‍යවසායකත්ව ප්‍රතිශතයක්. මේ තත්ත්වය අප වහා ඉහළට නංවා ගත යුතුයි.
වත්මන් රජය වසර දහයකින් ව්‍යවසායකත්ව ප්‍රතිශතය 10% දක්වා ඉහළ නැංවීමට උපදෙස් ලබාදී තිබෙනවා.
ප්‍රශ්නය -
ඒ පිළිබඳව රජය හෝ ව්‍යවසායකත්වය ගොඩ නැගීමට උපකාරීවන ආයතන ජාලය යම් අවබෝධයක සිටිනවාද?
පිළිතුර -
අවංකවම ප්‍රකාශ කළහොත් මේ පිළිබඳව අපේ රටේ තිබෙන අවධානය ප්‍රමාණවත් නැහැ. නමුත් රජයක් ලෙස වත්මන් රජය වසර දහයකින් ව්‍යවසායකත්ව ප්‍රතිශතය 10% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කොට තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා උපදෙස් ලබාදී තිබෙනවා. විශේෂයෙන් අප කර්මාන්ත කරණය ගැන කතා කළහොත් කර්මාන්ත විෂය භාර ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැඩි උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරනවා. ලේකම්තුමිය ප්‍රමුඛ අමාත්‍යංශ නිලධාරීනුත් එසේමයි. කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු පිරිසද සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කරනවා. නමුත් මේ අමාත්‍යංශයෙන් සිදුවෙන කාර්ය භාරය තවත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ආයතන ගණනාවක් සමග බද්ධ විය යුතුයි. මනා සම්බන්ධීකරණයක් සහිතව ජාතික ඉලක්කයක් ඇතිව ජාත්‍යන්තරය ජයගත හැකි කාර්මීකරණයකට රට යොමු විය යුතුයි. ඒ දෙය දැන් බොහෝ කල් සිට ප්‍රකාශ කරනවා. නමුත් තවමත් ප්‍රමාණවත් වේගකයකින් එය සිදුවන්නේ නැහැ. එය දුරු කිරීමට වහා පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක්.
ණය පහසුකම් ලබාදීමේදී මූල්‍ය ආයතන කටයුතු කළ යුත්තේත් අලුත් විදියට සිතායි.
ප්‍රශ්නය -
ව්‍යවසායකත්වයක් ගොඩ නැගීමට ප්‍රධාන බාධාව වී තිබෙන්නේ ආයෝජනය කළ හැකි අරමුදල් නොමැති කමයි. ඒවා ලබා ගැනීමට යාමේදී තැන්පත් කළ යුතු සුරැකුම් නොමැති කමයි. මෙයට යම් විසඳුමක් ලබාදීම කළ යුතුයි නේද?
පිළිතුර -
අනිවාර්යයෙන්ම ඔව්. ඒ සඳහා තමයි රජය, මුදල් අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතන අනිකුත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ගොඩනගාගෙන යම් විධිමත් යාන්ත්‍රණයක් සකස් කර ගත යුත්තේ. නව ව්‍යවසායකයින්ට අවශ්‍ය ඇප සුරැකුම් ලබාදීමට හැකි සුරැකුම් ආයතනයක් ගොඩ නගා ගත යුතුයි. ඒ වගේම ණය පහසුකම් ලබාදීමේදී මූල්‍ය ආයතන කටයුතු කළ යුත්තේත් අලුත් විදියට සිතායි.
ව්‍යවසායකයින් ලබා ගන්නා ණය පහසුකම් වලට ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තාව දැඩිව සැලකිල්ලට ගෙන එය පදනම් කරගෙන මූල්‍ය පහසුකම් ලබා දිය යුතුයි
ප්‍රශ්නය -
බැංකු හා මූල්‍ය ආයතන නව විදියට සිතා කටයුතු කළ යුත්තේ කෙසේද?
පිළිතුර -
ව්‍යවසායකයින් ලබා ගන්නා ණය පහසුකම් වෙනුවෙන් සුරැකුම් ලෙස රජය විධිමත් යාන්ත්‍රණයක් සකස් කොට ඇප සුරැකුම් ආයතනයක් බිහි කළ යුතුයි. ඒ වගේම ව්‍යවසායකයින් ලබා ගන්නා ණය පහසුකම් වලට ඔවුන්ගේ ව්‍යාපෘති වාර්තාව දැඩිව සැලකිල්ලට ගෙන එය පදනම් කරගෙන මූල්‍ය පහසුකම් ලබා දිය යුතුයි. තවත් දෙයක් කළ යුතුයි, ව්‍යාවසාය දියුණු කරන්නට නම්.
එය තමයි ව්‍යවසාය, කර්මාන්ත දියුණුව සඳහා මූල්‍ය පහසුකම් ලබාදිමට වෙනමම සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම කළ යුතුයි
ප්‍රශ්නය -
ව්‍යවසාය දියුණු කරන්නට කළ යුතු ඔබ කියන විශේෂ යෝජනාව කුමක්ද?
පිළිතුර -
එය විශේෂ යෝජනාවකුත් නොවෙයි. අප ගොඩක් කල් සිට කියා සිටින දෙයක්, එය තමයි ව්‍යවසාය, කර්මාන්ත දියුණුව සඳහා මූල්‍ය පහසුකම් ලබාදිමට වෙනමම සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම කළ යුතුයි කියන යෝජනාව. මෙය දිගු කලක් තිස්සේ අප කියන දෙයක්.
ප්‍රශ්නය -
දැනට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් ලබාදීමක් සිදුවන්නේ නැද්ද?
පිළිතුර -
එසේ නොවෙනවා නොවෙයි. නමුත් ව්‍යවසායක දියුණුවට සංවර්ධන බැංකුවක් තිබෙනවානම් එය හැමෝටම පහසුක්. දැන් තිබෙන බැංකු වලට මූල්‍ය ආයතන වලට තවත් සැපයිය යුතු සේවා ගොඩක් තිබෙනවා. එම සේවා ඉටු කරමින් තමයි ව්‍යවසායකත්වය දියුණු කිරීමටත් උදව් කරන්නේ. එසේ නොමැතිව තනිවම ව්‍යවසායකත්වය දියුණු කිරීමට සංවර්ධන බැංකුවක් තිබෙනවා නම් එය මීට වඩා වැදගත් බවයි අපගේ අදහස.
විශාල ආයෝජන කිරීම තුළ කර්මාන්තයක් ලෙස ලොකු කුඩා සැමට ප්‍රතිළාභ හිමිවන රටට විදේශ විනිමය ලැබෙන විශාල සේවයක් අපෙන් සිදු වෙනවා
ප්‍රශ්නය -
ඔබ නියෝජනය කරන්නේ මේ රටේ විද්‍යුත් හා විදුලි උපාංග අංශයයි. එහි නවතම ආයෝජන තත්ත්වයන් කෙසේද?
පිළිතුර -
අපේ රටේ විද්‍යුත් හා විදුලි උපාංග නිෂ්පාදන අංශය, කර්මාන්ත අංශය දියුණු කිරීම සඳහා විශාල වැඩකොටසක් කළ යුතුව තිබෙනවා. දැනටමත් අප විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. අපේ රටේ මේ අංශයේ ආයතන 70ක් තිබෙනවා. ඒවා දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන තුනකට වඩා විශාල අයෝජනයක් කර තිබෙනවා. මෙවැනි විශාල ආයෝජන කිරීම තුළ කර්මාන්තයක් ලෙස ලොකු කුඩා සැමට ප්‍රතිළාභ හිමිවන රටට විදේශ විනිමය ලැබෙන විශාල සේවයක් අපෙන් සිදු වෙනවා.
ලෝකය පුරා සෑම රටකම තානාපති සබඳකම් අපේ රට පවත්වනවා
ප්‍රශ්නය -
විදේශ වෙළෙඳ පොළ පුළුල් කිරීමට ඔබ කරන යෝජනා මොනවාද?
පිළිතුර -
ලෝකය පුරා සෑම රටකම තානාපති සබඳකම් අපේ රට පවත්වනවා. මේ තානාපති කාර්යාලවල සහ මහා කොමසාරිස් කාර්යාලවල සිටින නිලධාරින් අතරට ජාත්‍යන්තර වෙළෙඳාම දියුණු කිරිම සඳහා වැඩි අවධානයක් යොමු කොට නිලධාරීන් පත් කළ යුතුයි. ඔවුන් විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලුමට සරිලන දේශීය අපනයන ලබා ගැනීමට උනන්දු කළ යුතුයි. ඒ වගේම විදේශ වෙළෙඳ පොළ අවස්ථා අපට ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. මහා පරිමාණ කර්මාන්ත කරුවන්ගේ පමණක් නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයාගේ නිපැයුම් පවා විදේශ වෙළෙඳ පොළට යොමු කර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීමට එය ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික මැදිහත් කරුවන් ලෙස ඉදිරිපත් විය යුතුයි. එය රට වෙනුවෙන් ඔබ අප සහ පිටරට සිටින ඔවුන් පවා සිදුකළ යුතු කාර්යයක්, වගකීමක්.
(dinamina.lk -ජයසිරි මුණසිංහ)