ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය ස්ථාවරත්ව ඉලක්ක සපුරාලීමට බැඳී සිටින පසුබිමක, මෙම ආදායම් පරතරය කළමනාකරණය කරගැනීම රජය හමුවේ ඇති සංකීර්ණ අභියෝගයක්.
පැරණි බදු අහෝසි කිරීමේ සූදානම
ලෝක බැංකු සහයෝගය ඇතිව 2026 සිට 2029 දක්වා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් යටතේ මෙරට ආනයන භාණ්ඩ වර්ග 2,634ක පවතින බදු ක්‍රමය මුළුමනින්ම සරල කිරීමට සැලසුම් කර තිබෙනවා.
දැනට පවතින වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ද (PAL) සහ සෙස් (CESS) වැනි අතිරේක ආනයන බදු (Para-tariffs) ක්‍රමිකව ඉවත් කිරීම මෙහි මූලික පියවරක්.
දැනට ක්‍රියාත්මක වන පැටලැවිලි සහගත බදු වෙනුවට 0%, 10%, 20% සහ 30% ලෙස සරල කාණ්ඩ හතරක ආනයන තීරුබදු ව්‍යුහයක් හඳුන්වා දීමට නියමිතයි.
දත්ත පෙන්වන වාසිය සහ ආදායම් අවදානම
ලෝක බැංකු ගණනය කිරීම්වලට අනුව මෙරට පවතින 19%ක සාමාන්‍ය ආනයන බදු බරින් සියයට 11ක්ම සමන්විත වන්නේ මෙකී අතිරේක බදුවලින්.
මෙම බදු ඉවත් වීමත් සමඟ සාමාන්‍ය බදු අනුපාතය සියයට 9කින් පමණ පහත වැටෙන බැවින්, නිෂ්පාදන අමුද්‍රව්‍ය අඩු මිලට ලැබී දේශීය කර්මාන්ත හා අපනයනකරුවන්ගේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩුවීමේ හැකියාවක් පවතිනවා.
අනෙක් අතට, රජයේ භාණ්ඩාගාරයට පහසුවෙන් හා ස්ථාවරව රැස්වන ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස මෙම බදු මෙතෙක් කල් ක්‍රියාත්මක වුණා. විකල්ප ආදායම් මාර්ග තහවුරු කර නොගෙන මෙම බදු ඉවත් කිරීම භාණ්ඩාගාරයට ක්ෂණික මූල්‍ය පීඩනයක් එල්ල කළ හැකියි.
පාර්ලිමේන්තුවේදී මතු වූ හිඩැස
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) මේ පිළිබඳව අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, බදු අහෝසි කිරීම නිසා සිදුවන ආදායම් පාඩුව භාණ්ඩාගාරය විසින් ගණනය කර ඇති බවයි.
එහෙත් එම හිඟය පියවා ගැනීමට නිශ්චිතව සැලසුම් කළ ආදේශක ක්‍රමවේදයක් මෙතෙක් අවසන් කර නොමැති බව ඔහු එහිදී පිළිගත්තා.
අපනයන ආදායම් ඉහළ නැංවීම සහ වෙනත් බදු මාර්ග පුළුල් කිරීම හරහා මෙම පාඩුව පියවා ගැනීමට රජය අවධානය යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
කාලය සහ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය
ආනයන බදු ඉවත් කළ මොහොතේ සිටම රජයට ලැබෙන ආදායම නැවතුණද, අපනයන වර්ධනයෙන් බදු ආදායම් උපයා ගැනීමට වසර ගණනාවක කාලයක් ගතවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
අපනයන ක්ෂේත්‍රය පුළුල් වීමට නම් විදුලිබල පිරිවැය කළමනාකරණය, නව ආයෝජන, වෙළෙඳපොළ පහසුකම් සහ ඉහළ ඵලදායිතාවක් අවශ්‍ය වන අතර, ඒවා ක්ෂණිකව සිදුවන වෙනස්කම් නොවේ.
එබැවින් බදු බර ජනතාව පිට හෝ ව්‍යාපාර පිට අසීමිතව නොපටවා, අහිමි වන ආදායම පියවා ගන්නා ආකාරය දැක්වෙන විනිවිදභාවයෙන් යුත් මධ්‍යකාලීන මූල්‍ය සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීම රටේ මූල්‍ය ස්ථාවරත්වයට අතිශය තීරණාත්මක සාධකයක්.
මූලාශ්‍ර සබැඳිය:



