නොවැම්බර් 5 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති මහජන අදහස් විමසීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) සෘජුවම අවධාරණය කළේ, විදුලි උත්පාදන වියදම් යටතේ ඉදිරිපත් කර ඇති 'ධාරිතා ගාස්තු' (Capacity Charges) හි බර පාරිභෝගිකයා පිට නොපැටවිය යුතු බවයි.
මොකක්ද මේ ‘ධාරිතා ගාස්තුව’?
සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකු ගෙවිය යුත්තේ තමන් පරිභෝජනය කරන සැබෑ විදුලි ඒකක ප්‍රමාණයට පමණක් යැයි සිතුවද, යථාර්ථය ඊට වඩා වෙනස්ය.
විදුලි බලාගාරයක් සක්‍රීය මට්ටමේ තබාගෙන, පද්ධතියට අවශ්‍ය ඕනෑම මොහොතක විදුලිය සැපයීමට සූදානම් කර තැබීම වෙනුවෙන් බලාගාර සමාගම් වෙත ගෙවනු ලබන ස්ථාවර මුදල ‘ධාරිතා ගාස්තුව’ (Capacity Charges) ලෙස හැඳින්වේ. ගිවිසුම්ගත එකඟතා අනුව, අදාළ බලාගාරවලින් සැබවින්ම විදුලිය උත්පාදනය කළ ද නොකළ ද මෙම මුදල අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවෙයි.
බිලෙන් 15%කට වගකියන රුපියල් බිලියන 20
2026 වසරේ අවසන් කාර්තුව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති වියදම් ඇස්තමේන්තුවලට අනුව, සැබෑ විදුලි උත්පාදන පිරිවැය රුපියල් බිලියන 101.34කි. එහෙත් ඊට අමතරව ධාරිතා ගාස්තු ලෙස පමණක් රුපියල් බිලියන 19.94ක් ඇතුළත් කර තිබේ. එය සමස්ත වියදම් ලේඛනයෙන් සියයට 15.4ක ප්‍රතිශතයකි.
ඊට අමතරව ඉදිරිපත් කර ඇති අනෙකුත් වියදම් මෙසේය:
* සම්ප්‍රේෂණ වියදම්: රුපියල් බිලියන 5.14
* මූල්‍ය පිරිවැය: රුපියල් බිලියන 2.27
* බැටරි බලශක්ති ගබඩා පද්ධති ගාස්තු: රුපියල් මිලියන 703
* තොග සැපයුම් මෙහෙයුම් වියදම්: රුපියල් මිලියන 529
කොමිසමේ විරෝධය සහ නව ගිවිසුම්වල සීමා
මෙම අධික පිරිවැය තවදුරටත් සාමාන්‍ය ජනතාවගේ මාසික බිලට පැටවීම අසාධාරණ බව නියාමන කොමිසමේ ස්ථාවරයයි.
අතීතයේ අත්සන් තබන ලද දීර්ඝකාලීන විදුලි මිලදී ගැනීමේ ගිවිසුම්වල (PPAs) නීතිමය බැඳීම් අවසන් වනතුරු එම මුදල් ගෙවීමට සිදුවිය හැකි වුවද, ඉදිරියේදී එළඹෙන කිසිදු නව ගිවිසුමකට එවැනි අමතර ධාරිතා ගාස්තු ඇතුළත් කිරීමට ඉඩ නොදිය යුතු බව කොමිසම තරයේ කියාසිටී.
විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිත ජල විදුලි උත්පාදනය ඉහළ මට්ටමක පවතින සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ක්‍රමයෙන් වර්ධනය වන පසුබිමක, මෙවැනි අධික පිරිවැයක් සහිත ගිවිසුම් පවත්වාගෙන යාම බලශක්ති විශේෂඥයන්ගේද දැඩි විවේචනයට ලක්ව ඇත.
ඉදිරි තීන්දුව නියාමකයා අතේ
ජලාශවල ජල මට්ටම යහපත් මට්ටමක පැවතීම හේතුවෙන් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) මූලිකව තක්සේරු කර තිබිණි. කෙසේ වෙතත්, රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් පෙන්වා දෙමින් යෝජනා වූ සියයට 2.88ක ගාස්තු ඉහළ දැමීම, මහජන උපයෝගිතා කොමිසමේ පිරිවැය ප්‍රතිශෝධනයත් සමඟ සියයට 1.46ක් දක්වා පහත වැටී තිබේ.
විදුලි බිල පිළිබඳ අවසන් තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි ගනුදෙනු හා පිරිවැය ගණනය කිරීම් පිළිබඳව පාරිභෝගික ජනතාවට පුළුල් විනිවිදභාවයක් තිබිය යුතු බව මෙම ක්‍රියාවලියෙන් යළි තහවුරු වේ.
මූලාශ්‍ර සබැඳිය:



