විමල්, හිරුණිකා සහ ප්‍රියංකරගේ නඩු විභාග
01- කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කර උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 07 වන දින යළි කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉකුත් (2) නියෝග කළා.
02- පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීථි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 15 දෙනාට එරෙහිව විභාග වන නඩුවට අදාළව නීතිපති උපදෙස් ලබාගෙන ජනවාරි 25 වන දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා කුරුඳුවත්ත පොලිසියට ඉකුත් (2) නියෝග කළා.
03- සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 13 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (2) දින නියම කළා.
බැඳුම්කර නඩුව, ශෂීන්ද්‍ර සහ අමාත්‍යාංශ ලේකම් ඇප මත
04- මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි මස 28 වනදා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
05- ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ ඉකුත් අරගල සමයේ විනාශයට පත්වීමෙන් අනතුරුව, හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 8,850,000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 9 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් 2දා නියෝග කළා.
06- දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණි කිත්සිරි ඩයස් අමරවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (2) නියෝග කළා. සැකකරු ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කළා.
කෙහෙළිය, නාමල් සහ සේදවත්ත මරණය
07- පසුගිය පාලන කාලය තුළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු එම පවුලේ සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 7 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (2) දින නියම කළා.
08 -හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහි නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට ඉකුත් (02) නියෝග කළා. ඒ, මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුව අවසන් කරමින්. මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති අතර එම නඩුව ලබන 16 වැනිදා එහි කැඳවනු ලබන බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.
09 - පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී තරුණයන් පිරිසක් විසින් මත්පැන් පානය කරමින් සිටියදී හටගත් ආරවුලකදී එක් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය ඉකුත් (2) නියෝග කළා. සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
බාල බෙහෙත් නඩුවේදී කෙහෙළියගෙන් සාක්ෂියක්
10 - ප්‍රශ්නගත හදිසි ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එවකට මුදල් අමාත්‍යවරයා හා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බව බාල බෙහෙත් නඩුවේ 8 වැනි විත්තිකරු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විත්ති කූඩුවේ සිට දීර්ඝ ප්‍රකාශයක් කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.
2022 මැයි 30 වැනිදා කොවිඩ් හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවදුරටත් දීර්ඝ කිරීමට තමන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කළද ඊට අනුමැතිය හිමි නොවූ බවද ඔහු පැවසීය. ඒ වෙනුවට එවකට මුදල් අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ප්‍රකාශ කළේය. එම තීරණයේ සාමූහික වගකීමට තමන් බැඳී සිටින නමුත්, ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නඩුවේදී විශාල වශයෙන් සාකච්ඡා වුවද එයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, එම පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු අග්‍රාමාත්‍යවරයා බවත් ඔහු කියා සිටියේය. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් මාලක වීරසූරිය සහ පී.එම්. බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සාක්ෂිය ලබාදුන්නේය.
සම්පත් මන්පේරිය, රවී සහ ඩේසි ෆොරස්ට්
11- සම්පත් මන්පේරිය ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහි නඩුකරයේ තීන්දුව ලබන 13 වැනිදා ප්‍රකාශයට පත් කරන බව මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළා.
12- ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 23 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන ඉකුත් (3) නියෝග කළා. සිද්ධියට අදාළව අද (3) පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ පෙනී නොසිටීම නිසා මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට නොතීසි නිකුත් කළා.
13- මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ. විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත. මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
චාමර සම්පත් සහ නාමල්ට ක්‍රිෂ් නඩුවේ ඇප
14- දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් පෙබරවාරි 9 වන දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (3) දින නියම කළා. එදිනට බන්ධනාගාරයේ සිටීනම් සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
15 - ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (03) නියෝග කළා. ඒ ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් සහ ලක්ෂයක මුදල් ඇපයක් මතයි. සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණයෙන් නිකුත් කෙරුණා. සැකකරුට ඇප ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රයට අදාළ ඇප නියෝගය අධිකරණයේදී කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.
සිද්ධියට අදාළව සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රි ක්‍රිෂ් නඩුවට අදාළව ඇප ඉල්ලා ගොනු කර තිබූ මෝසම ඉකුත් (28) වන දින යළි කැඳවූ අවස්ථාවේදී අද දින නියෝගය ප්‍රකාශයට පත් කරන බව පෙර නඩුවේදී දන්වා සිටියා. නියෝගය කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස ප්‍රකාශ කළා: "ඉදිරිපත් වූ කරුණු සලකා බලා දූෂණ විරෝධී පනතේ 149/1 වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් වූ කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා බලා සැකකරු ඇප මත මුදා හරිනවා." තවද සිද්ධියට අදාළ නඩුව කැඳවීමට නියමිත ලබන 6 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළා.
ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු අධිචෝදනා 24ක් ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ තබාගෙන ලබන 19 දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉකුත් (28) බන්ධනාගාරයට නියෝග කර තිබෙනවා.
පරිසර බද්ද, ජොන්ස්ටන්, විමල් සහ ඩයනා
16- එක්වරක් භාවිත කරන පොලිතින් බෑග් සඳහා නියාමනය කළ පරිසර සංරක්ෂණ බද්දක් පැනවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 05 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි. මෙම පෙත්සම ඊයේ (03) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
17- වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 13 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (3) නියෝග කළා. ඒ අනුව අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.
18- අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 25 වැනිදා යළි කැඳවීමට ඉකුත් (3) කොළඹ මහාධිකරණය නියෝග කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ අද නඩුව කැඳවනු ලැබුවා.
19 - ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ගොනු කර ඇති චෝදනා හතෙන් චෝදනා දෙකකට අදාළ නඩු විභාගයේ සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
වාහන අවභාවිතය සහ චම්පිකගේ අනතුරු නඩුව
20- රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිටපු ඇමැති විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා අප්‍රේල් මස 28 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉකුත් (4) නියෝග කළා. හිටපු ඇමැති විමල් වීරවංශ, ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ ඇතුළු තිදෙනාට එරෙහිව ගොනු කර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් විවෘත අධිකරණයේ පෙනී සිටියා.
21- 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති අපරාධ නඩුව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. එහිදී මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා නියෝග කළේ ලබන 10 වැනිදා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පවත්වන බවයි.
කපිල චන්ද්‍රසේන මරණය සහ ඥානසාර හිමි විරෝධතාව
22- අබිරහස් ලෙස මියගිය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාවක් තවමත් කොළඹ අපරාධ කොට්ඨාසයට ලබා දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රස පරීක්ෂකට ඉකුත් (4) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා. තවද සම්පූර්ණ මරණ පරීක්ෂණ වාර්තාව ලබා දීමට අධිකරණ වෛද්‍යවරයාට මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා. කපිල චන්ද්‍රසේන මහතා මියගිය ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඖෂධ වර්ග හතර සම්බන්ධයෙන් ලැබිය යුතු රස පරීක්ෂක වාර්තාව මේ වන තෙක් ලැබී නොමැති බවත්, අනෙක් වාර්තාවන් ලැබී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයකට සංරක්ෂණය කරන බවට ඇපල් සමාගම ඊමේල් හරහා දැනුම් දී ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියා. අධිකරණ නියෝග ප්‍රකාරව සිදු කළ ඉල්ලීමට අදාළව පිළිතුරු ලැබී ඇති බව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පොලිසිය දන්වා සිටියා. ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීමට සිංගප්පූරුවේ සමාගමක් ඇතුළු ආයතන දෙකකින් ඉල්ලීම් කර ඇති බව කී පොලිසිය, ඊ-සිම්පත සාමාන්‍ය සිම්පතක් ලෙස මුදා හැරීමට ඩයලොග් සමාගමට නියෝග නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලැබුණා. වැඩිදුර වාර්තා සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 02 තෙක් කල් තැබුවා.
23- සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතාව අතරතුර කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇති බවයි.
පෙරපාසල් බෑග්, හැව්ලොක් සිටි රන් තුවක්කුව සහ ගෝඨාභය
24- ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එම පළාතේ පිහිටි පෙරපාසල්වලට බෑග් ලබා දීමට අයථා ලෙස ලක්ෂ 10ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 10 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (4) දින නියම කළා. ඒ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
25- මෑතකදී හැව්ලොක් සිටි නිවාස සංකීර්ණය තුළදී රන් ආලේපිත ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නොවැම්බර් මස 23 වනදා කැඳවන ලෙසත්, එදිනට නඩුවේ විභාගයට දින නියම කරන බවත් කොළඹ මහාධිකරණය නියම කරයි. මෙම නඩුව ඉකුත් (04) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
26- පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 25 ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (4) නියෝග කළා. සිද්ධියට අදාළ හිටපු ජනාධිපතිවරයා සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් ඇප මත හෝ බැඳුම්කරයක් මත මුදා හැරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටියා. සිද්ධියට අදාළව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීම පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අගතිදායක තත්ත්වයක් ඇති විය හැකි බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන බවයි.
ගාලුමුවදොර පහරදීම සහ 'බටුවත්තේ චමර'
27- ගාලුමුවදොර පිටියේ 2022 වසරේදී සාමකාමී උද්ඝෝෂණයක් සිදු කළ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 37 දෙනාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා පෙබරවාරි 3 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉකුත් (4) නියෝග කළා. සිද්ධියට අදාළව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ නීතිපති උපදෙස් තවමත් ලැබී නොමැති බවයි. සිද්ධියට අදාළ සැකකරුවන්ට අධිචෝදනා පත්‍ර ගොනු කිරීමටද කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය බව නීතිපතිවරයාට දන්වා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
28- 'ගණේමුල්ල සංජීව' ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් 'බටුවත්තේ චමර' ඉකුත් (4) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. එහිදී ඔහු නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10 වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන ආ අතර, එතැන් සිට මේ දක්වා රැඳවුම් නියෝග මත පසුවිය.
තරුණ සේවා සභාව, ඉමියුනොග්ලොබියුලින් සහ සංවිධානාත්මක අපරාධ පනත
29- දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුමකුට්ටි මනුල චමාල් පෙරේරා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (4) නියෝග කළා. සැකකරුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළා. ඉදිරි නඩු දින දක්වා ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා. අම්පාර සාමපුර ඉඩමක් හා ගොඩනැගිල්ලක් වෙනුවෙන් අයුතු සහගත ලෙස රුපියල් ලක්ෂ 38ක් ගෙවීම සහ අලුත්වැඩියාව සඳහා ලක්ෂ 13ක් වැය කරමින් රජයට රුපියල් 5,100,000ක පාඩුවක් සිදුකිරීම මොහුට එරෙහි චෝදනාවයි.
30- ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ඉකුත් (04) ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසන් කළා.
31- සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ඉකුත් (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී, එම පනත් කෙටුම්පත සකස් කිරීමේදී කිසියම් පාර්ශ්වයක් විසින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු අචල වෙංගප්පුලි සහ විනිසුරු සම්පත් අභයකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනුණි. ජාත්‍යන්තර සම්මුතියේ නැති කරුණු ඇතුළත් කර ඇති බවත්, වැරදි වර්ගීකරණය සම්මුතියට පටහැනි බවත් ඔහු තර්ක කළේය.
GI බට, වනාතවිල්ලුව සහ ප්‍රසන්නගේ දඩය
32- ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් 990,000කට GI බට 600ක් මිලදී ගැනීමෙන් දූෂණය සිදු කළේ යැයි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළා.
33- පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර, 2018 ඔක්තෝබර් සිට 2019 ජනවාරි දක්වා වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සහ පුපුරන ද්‍රව්‍ය රැස්කිරීම ඇතුළු අධිචෝදනාවලට තමන් වරදකරු නොවන බව හයවන විත්තිකරු වන මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාජිත් හෙවත් සාජිත් මවුලවී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
34- මීතොටමුල්ලේ ඉඩමක් ගොඩ කිරීමට රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වැරදිකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම කළ රුපියල් මිලියන 25ක දඩයෙන් රුපියල් ලක්ෂ 90ක මුදලක් ගෙවීමට අද නියමිතව තිබුණද, ඒ සඳහා තවත් කාලය ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියෝග කළේ ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා ඉතිරි මුදල ගෙවීම සඳහා යළි නඩුව කැඳවන බවයි.
රඛිත රාජපක්ෂගේ ගිණුම්, ළමා රෝහලේ මරණය සහ සුරාබදු නිලධාරීන්
35- හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝගයක් නිකුත් කළේය. අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කෙරිණි.
36- රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු සැත්කමකින් පසු මියගිය තෙහැවිරිදි හම්දි ෆස්ලිම් දරුවාගේ සිද්ධියට අදාළව, සැත්කම කළ බව කියන දැනට විදේශගතව සිටින වෛද්‍ය නවීන් විජේකෝන් ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනාට මාර්තු 29 අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන සිතාසි නිකුත් කළා.
37- සමාගම් ගිණුම් මඟින් නිකුත් කළ මුදල් චෙක්පත් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (5) නියෝග කළා.
ජානකී සිරිවර්ධන, චාමර සම්පත් සහ වරුණි බෝගහවත්ත
38- ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන ලබන 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (6) නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එදිනට බන්ධනාගාරයේ සිටීනම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරුණා. ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණද එයාර්බස් ගනුදෙනුවේ රුපියල් මිලියන 100ක අල්ලස් නඩුව හේතුවෙන් නාමල් රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
39- පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ හිටපු ලේකම්වරයා ලබන 10 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. 2022-2024 කාලයේ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී නිසි ක්‍රමවේදයකින් තොරව බලපත්‍ර ලබාදීමට අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත.
40- වාහනයක් මිලදී ගැනීම හා කල්බදු වාරික ගෙවීම සම්බන්ධයෙන් මුදල් ලැබුණු ආකාරය සනාථ කිරීමට නොහැකිවීම ඇතුළු චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක නියෝග කළා.
41- මහාධිකරණයෙන් ඇප ලැබුණද ඇප කොන්දේසි සම්පූර්ණ කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝහිත බෝගොල්ලාගම යළි රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
එක්නැලිගොඩ නඩුවේ විත්තිවාචකය කැඳවයි
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුකරය අද යළිත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනුණා. ඒ නයනා සෙනෙවිරත්න (සභාපති), නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේයි.
නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂි විභාගය නොවැම්බර් 05 වනදා අවසන් කෙරුණා. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් පදනමක් නොමැති බව පෙන්වා දෙමින්, විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් ඉල්ලීම් කර සිටියා.
සාක්ෂිවල පරස්පරතා ගැන ජනාධිපති නීතිඥ අනිල් සිල්වාගෙන් තර්ක
1, 2 සහ 6 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවා:
"ස්වාමීනි, මෙම විත්තිකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම, ගිරිතලේ කඳවුරේ රඳවා තබා ගැනීම සහ මිනීමැරීම ඇතුළු චෝදනා 17ක් ගොනු කරලා තියෙනවා. පැමිණිල්ලෙන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ, රාජගිරිය ඊ-නිව්ස් ආයතනයේ අය සහ රංබණ්ඩා, මුරලි, ප්‍රේමතිලක යන අයගේ සාක්ෂි කැඳෙව්වා. ඒ කිසිම සාක්ෂියක මොහු මියගියා කියලා ඔප්පු කරලා නැහැ. අපි උපකල්පනය කරනවා මියගියා කියලා. ඔහු මැරිලා ඉන්නවා කියලාවත්, ඔහුව මැරුවේ මේ විත්තිකරුවෝ කියලාවත් කොහෙවත් ඔප්පු කරලා නැහැ.
ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නේ ජේ.වී.පී. සාමාජිකයෙක් ලෙස කටයුතු කර පසුව ඉන් ඉවත් වූ කෙනෙක්. පසුව යූ.එන්.පී. සාමාජිකයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඔහුගේ බිරිඳගේ සාක්ෂියෙන් ඒ බව සඳහන් වෙනවා. ඔහු ආණ්ඩුව විවේචනය කර ලියූ කෙනෙක්. එක්නැලිගොඩට වෙච්ච දෙයක් ගැන සාක්ෂි නැහැ. මෘත දේහයක් නැහැ. මිනීමැරීමේ චෝදනාව ඔප්පු කරන්න කිසිදු සාක්ෂියක් නැහැ.
මුරලි කියන සාක්ෂිකරු කියනවා හබරණවත්තේදී හමුවුණාට පස්සේ ආයේ එක්නැලිගොඩව හමුවුණේ නැහැ කියලා. ගිරිතලේදී දැකලා නැහැ. රංබණ්ඩාගේ සාක්ෂිය පිළිගන්න එපා කියලා පැමිණිල්ලම කියනවා. දුරකථන වාර්තාවලත් සාක්ෂි නැහැ. 2010 ජනවාරි 26 ජනාධිපතිවරණය තිබුණා. 25 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් තියලා එක්නැලිගොඩ අතුරුදන් බව කියනවා. ඒක ඡන්දය අරමුණු කරගෙන කරපු වැඩක්. එක්නැලිගොඩ සරත් ෆොන්සේකාට වැඩ කළ කෙනෙක්. පැහැරගත්තා කියන්න ස්ථිර සාක්ෂි නැහැ, සැකයක් විතරයි තියෙන්නේ. ඒ නිසා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්න."
අනෙකුත් විත්තිකරුවන්ගේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම්
3 සහ 5 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රනිල් සමරසූරිය මහතා පෙන්වා දුන්නේ, "පැමිණිල්ල පිළිගන්නවා ඇසින් දුටු සාක්ෂි නැහැ කියලා. මුරලි කියන්නේ තමන්ගේ වාසියට පාවාදීම් කරපු කෙනෙක්. සන්ධ්‍යා එක්නැලිගොඩ හඳුනාගත් ඡායාරූපය මුරලිට පෙන්වූ විට ඔහු කියා තිබුණේ එම පුද්ගලයාව හඳුනන්නේ නැති බවයි. ඉදිරිපත් කළ කිසිදු දුරකථන වාර්තාවක එක්නැලිගොඩගේ නමට ලියාපදිංචි අංකයක් නැහැ. එමනිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතුයි."
4, 7 සහ 8 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ මුරලි නමැති සාක්ෂිකරුගේ ප්‍රකාශ විශ්වාස කළ නොහැකි බවත්, සාක්ෂි නොමැති බැවින් විත්තිකරුවන් නිදහස් කරන ලෙසත්ය.
9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින්, "සාක්ෂිකරුවන් 45කගේ සාක්ෂි මෙහෙයවුවද 9 වන විත්තිකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් නැහැ. ප්‍රධාන සාක්ෂිකරු වූ මුරලි පවා මොහුව හඳුනාගෙන නැහැ. දුරකථන විශ්ලේෂණ වාර්තාවලින්ද චෝදනා තහවුරු වන්නේ නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ මොහු නිදහස් කළ යුතුයි," යනුවෙන් පැවසීය.
අධිකරණ නියෝගය: විත්තිවාචකය කැඳවයි
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විනාඩි 45ක කාලයකට නඩුව කල් තැබූ අතර, පස්වරු 3ට යළි රැස්වෙමින් නියෝගය ප්‍රකාශයට පත් කළේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළේ තමන්ට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට කිසිවක් නොමැති බවයි.
අනතුරුව සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් විත්තිකාර පාර්ශ්වයේ විත්තිවාචකය කැඳවීමට නියෝග කළාය. විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට, සාක්ෂි කූඩුවට පැමිණ සාක්ෂි දීමට, සාක්ෂිකරුවන් කැඳවීමට හෝ නිශ්ශබ්දව සිටීමට විත්තිකරුවන්ට ඇති අයිතිය එහිදී පෙන්වා දුන් විනිසුරු මඬුල්ල, විත්තියේ නඩුව විභාගය ලබන 12 සහ 13 යන දිනවල කැඳවීමට නියම කළේය.
(සටහන - විනු කරුණාරත්න)



