ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහි නඩුවේ විභාගය අවසන් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා දින නියම කළේය.
ඒ අනුව අදාළ ලිඛිත දේශන නොවැම්බර් මස 25 වැනිදා ගොනු කරන ලෙසත්, වාචික දේශන නොවැම්බර් මස 30 වනදා සිදු කරන ලෙසත් පාර්ශ්වයන්ට නියම විය.
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරිණි.
විත්ති කූඩුවේ ප්‍රකාශ සහ සාක්ෂිකරුවන් පස්දෙනා
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම පසුගියදා අවසන් කෙරිණි. විත්තියෙන් සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස මීට පෙර කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව විත්තිකරුවන්ගේ විත්තිවාචක කැඳවීමට තීරණය වූ අතර, විදේශගතව සිටින විත්තිකාර වෛද්‍ය ජයනාත් බුත්පිටිය හැර සෙසු විත්තිකරුවන් එකොළොස් දෙනා විත්ති කූඩුවේ සිට සිදු කළ ප්‍රකාශ අවසන් විය. අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් පස් දෙනෙකු අධිකරණය හමුවට කැඳවමින් සිතාසි නිකුත් කර තිබිණි.
සිතාසි මත පෙනී සිටි වෛද්‍ය සැපයුම් අංශයේ තොරතුරු හා තාක්ෂණ අංශයේ හිටපු අධ්යක්ෂ අබේවංශ සඳරප්පෙරුම මහතාගෙන් දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂි විමසීය.
"2024 අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ ඔබ වැඩ කරේ මොන අංශයේද?" යනුවෙන් නීතිඥවරයා විමසූ විට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ (තොරතුරු තාක්ෂණ) ලෙස වෛද්‍ය ජී. විජේසූරිය මහතා යටතේ සේවය කළ බව සාක්ෂිකරු පැවසීය.
පරිගණක පද්ධතිය සහ MSMIS කේතය
පරිගණක තොරතුරු පද්ධතිය නඩත්තු කිරීමේ කටයුතු තමන්ට පැවරී තිබූ බවත්, ඒ සඳහා නිරන්තරයෙන් ඉල්ලීම් ලැබුණු විට නිල මුද්‍රාව තබා අත්සන් කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. ඒ සඳහා සහාය වීමට සඳුනී ඇතුළු නිලධාරීන් පිරිසක් සිටි බවද ඔහු සඳහන් කළේය. "MSMIS" යනු වෛද්‍ය සැපයුම් අංශයේ කළමනාකරණය සඳහා යොදාගත් කේතයක් බවද ඔහු පැහැදිලි කළේය.
අධිකරණය හමුවේ ලකුණු කර ඇති "දෙක වී තිස් හය" (A සහ B) ලේඛන පිළිබඳව විමසූ විට සාක්ෂිකරු මෙසේ පැවසීය:

"ඔව්, ඒ මා සහතික කළ ලේඛනයක්. එහිදී මම සහතික කිරීමේ නිලධාරියා ලෙස අත්සන් කරනවා. රිපෝට් එක සිස්ටම් එකෙන් ජෙනරේට් කළේ සඳුනි ද අල්විස්. ඇය එම රාජකාරිය කළා කියන එක තමයි මම අත්සන් කරලා අනුමත කරන්නේ."
පද්ධතියෙන් තොරතුරු ලබා ගැනීමේ ප්‍රවේශය (access) සඳුනී ඇතුළු සේවකයින්ට තිබූ බවත්, ඇය ලබාගත් තොරතුරු මත ලේඛනය සැකසූ බවට තමන් සහතික කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ හරස් ප්‍රශ්න
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂි විමසීමක් නොකළ හෙයින් පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළාය. තම සේවා කාලයේ Pronto දත්ත පද්ධතිය පැවති බවත්, බැකප් තොරතුරු ලබා ගැනීමට තම නිලධාරියෙකු වූ හිජාබ්ගේ සහාය ගත් බවත් සාක්ෂිකරු පැවසීය.
මාලිගාකන්ද අධිකරණ නියෝගයක් මත පැමිණි රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සැලසූ බවත්, තම අධීක්ෂණය යටතේ හිජාබ් මහතා වාර්තා දෙකක් සකස් කළ බවත් සාක්ෂිකරු පිළිගත්තේය.
සඳුනී සකස් කළ ලේඛනයේ Order List අංකය ඉල්ලීමක් මත ඇතුළත් කළ එකක් බව පැවසූ සාක්ෂිකරු, එහි සඳහන් ඇණවුම් හතරට අමතරව වෙනත් ඇණවුම් තිබුණේද නැද්ද යන්න හෝ 2023/10/23 වන විට පැවති සමස්ත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඇණවුම් මොනවාද යන්න මෙම වාර්තාවෙන් කිව නොහැකි බව ප්‍රකාශ කළේය. මෙහි ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූ තොරතුරු පමණක් බවද ඔහු අවධාරණය කළේය.
අධිකරණ ලිපිකාරිනියගේ සාක්ෂිය සහ අතිරේක ලේකම් පත්වීම
අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වෙනුවෙන් අධිකරණ ලිපිකාරිනී රවීනා රසාදරී මහත්මිය සාක්ෂි ලබා දුන්නාය. නඩුවට අදාළ නඩු භාණ්ඩ හා ලිපිගොනු රැසක් ඇති බවත්, වෛද්‍ය සැපයුම් ඒකකයේ චානක ඉදිරිපත් කළ ගොනුවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන හා නිල මුද්‍රාව සහිත ලිපියක් ඇති බවත් ඇය තහවුරු කළාය. ඇයගෙන් හරස් ප්‍රශ්න නොඇසූ බැවින් දෙවන විත්තිකරුගේ නඩු කටයුත්ත අවසන් විය.
ඉන්පසු 10 වන විත්තිකරු වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහකාර ලේකම් රචිනි නිලේකා රඹුක්කනගේ සාක්ෂි ලබා දුන්නාය. ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයට පත් කිරීමට අදාළව 2022/08/18 දිනැති ලිපියක් ඇති බව ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා හමුවේ ඇය ප්‍රකාශ කළාය.
ඔහුට පෞද්ගලික වන සේ එම පත්වීම ලබා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලේඛන කිහිපයක් ඉල්ලා තිබූ බවත්, එකල අතිරේක ලේකම් පුරප්පාඩුවක් නොතිබූ බැවින් කැබිනට් තීරණයක් මත එලෙස පෞද්ගලික පත්වීමක් කර තිබූ බවත් හරස් ප්‍රශ්න හමුවේ අනාවරණය විය.
වැටුප් කේතයේ ගැටලුව සහ අධිචෝදනා 13
රාජ්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඉරේෂා භද්රමනී ගමගේ මහත්මිය සාක්ෂි දෙමින්, ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා පත් කරන විට ඔහු විශේෂ ශ්‍රේණියේ SL4 වැටුප් කේතයේ සිටි නමුත් අදාළ කැබිනට් තීරණයෙහි එය SL3 ලෙස සඳහන්ව තිබූ බව පැහැදිලි කළාය.
11 වන විත්තිකරු වෙනුවෙන් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගණකාධිකාරිවරයා ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසු විත්තියේ සියලු සාක්ෂි විමසීම් අවසන් කෙරිණි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් (Rituximab) නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සපයා රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස හා සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
විත්තිකරුවන් 12 සහ සාක්ෂිකරුවන් 350ක්
අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, සහකාර අධ්යක්ෂ පීස් ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මෙහි විත්තිකරුවෝ වෙති.
මීට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශගතව සිටින), අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, අධ්යක්ෂ වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර සෙසු විත්තිකරුවෝ වෙති.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු සාක්ෂිකරුවන් 350 දෙනෙකුගේ ලැයිස්තුවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න ප්‍රමාණයක් නඩුවට ඇතුළත් වේ.
(සටහන | නෙල්කා මැදගෙදර)
ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න



