නිල විදේශ සංචිත ඩොලර් බිලියන 7 සීමාව පසුකරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ප්‍රාථමික සංචිත දත්තවලට අනුව, 2026 ඔක්තෝබර් අග වන විට මෙරට දළ නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.0ක සීමාව ඉක්මවා ගොස් තිබේ. පසුගිය අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල ඩොලර් බිලියන 6.9ක මට්ටමේ පැවති සංචිත මෙලෙස වර්ධනය වී ඇත.
මීට අමතරව, ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවන අනු-වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණයක් ලබාගැනීමට රජය සාකච්ඡා සාර්ථකව අවසන් කර ඇත.
දිළිඳුකම 16% දක්වා ඉහළට; පවුලක මාසික වියදම රු. 116,191ක්
පරිභෝජන කාණ්ඩ 35ක් (ආහාර 19ක් සහ ආහාර නොවන 16ක්) යටතේ නිවාස 25,000ක් ආවරණය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) සිදුකළ ගෘහ ආදායම් සහ වියදම් සමීක්ෂණයේ (HIES) මූලික සොයාගැනීම් මඟින් ජීවන වියදම් පීඩනයේ බරපතළකම හෙළිව තිබේ (සාමාන්‍ය පවුලක සාමාජික සංඛ්‍යාව 3.4කි):
දිළිඳුකමේ ප්‍රමාණය:
ජාතික දිළිඳුකමේ දර්ශකය 16.0% දක්වා ඉහළ ගොස් ඇති අතර (2019 දී එය 14.3%ක් විය), ඒ අනුව මෙරට ජනගහනයෙන් මිලියන 3.42ක් නිල දිළිඳුකමේ රේඛාවෙන් පහළට ඇද වැටී ඇත.
වියදම් ඉහළ යාම (+84.1%):
සාමාන්‍ය ගෘහස්ථ මාසික නාමික වියදම 84.1%කින් රුපියල් 116,191ක් දක්වා ඉහළ ගොස් තිබේ (2019 දී රු. 63,130). මේ අතර මධ්‍යන්‍ය මාසික ගෘහ වියදම 97.8%කින්, එනම් දෙගුණයකින් පමණ රුපියල් 94,057ක් දක්වා වැඩිවී ඇත (2019 දී රු. 47,544).
බැංකුවල රුපියල් ට්‍රිලියන 2ක දේපළ වෙළෙඳපොළ ණය අවදානම
මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ, 2026 ජූනි මස අවසන් වන විට වාණිජ බැංකු විසින් දේපළ වෙළෙඳාම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.0කට ආසන්න වී ඇති බවයි. මෙය සමස්ත බැංකු පද්ධතියේ ණය සහ අත්තිකාරම්වලින් 13.7%කි.
දේපළ වටිනාකම් ගෘහස්ථ ආදායම් මට්ටම් ඉක්මවා අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මහ බැංකුව, ඉදිරියේදී දේපළ මිල ගණන් සීඝ්‍ර පහත වැටීමකට (sharp correction) ලක්වුවහොත් එය බැංකු, දේපළ සංවර්ධකයන් සහ කොන්ත්‍රාත්කරුවන් කෙරෙහි සමස්ත මූල්‍ය පද්ධතිය පුරා පැතිරෙන බරපතළ අවදානමක් (systemic contagion risk) නිර්මාණය කළ හැකි බවට අනතුරු අඟවයි.
බිල්පත් හිඟය පියවීමට ටැප් ක්‍රමයට තවත් බිලියන 3ක්
බදාදා පැවති රුපියල් බිලියන 90ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී රැස්කර ගැනීමට හැකිවූයේ රුපියල් බිලියන 65.90ක් පමණක් වීම හේතුවෙන්, මහජන ණය කළමනාකරණ කාර්යාලය (PDMO) ඊයේ දිනයේදී මාස 12 බිල්පත් සඳහා 'ටැප්' (on tap) ක්‍රමය යටතේ 9.95%ක පොලියකට තවත් රුපියල් බිලියන 3.0ක් අලෙවි කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව මෙම සතිය තුළ රජය රැස්කරගත් මුළු මුදල රුපියල් බිලියන 68.901ක් දක්වා ඉහළ ගියද, සතිපතා ඉලක්කයෙන් තවදුරටත් රුපියල් බිලියන 21.10ක හිඟයක් පවතී.
(සටහන - සම්පත් ධීරසේකර)



