ප්‍රසිද්ධිය සහ පවුලේ සෙවණැල්ල
"තාත්තා ක්ෂේත්‍රයේ ඉන්න නිසා අපිට දේවල් හරිම ලේසි වෙන්න ඇති කියලා මිනිස්සු හිතනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි කාගේ හරි උදව්වෙන් ක්ෂේත්‍රයට ආවත්, රැඳිලා ඉන්න පුළුවන් වෙන්නේ තමන් කරන දේවල් සහ තමන්ගේ විනය මත විතරයි."
ප්‍රවීණ සාහිත්‍යවේදිනී මනෝහාරී හේවාවසම් මෙහෙයවන 'මිරර් ආර්ට්' (Mirror Arts) නාලිකාව සමඟ එක්වෙමින් ශේෂාද්‍රි ප්‍රියසාද් සිය කලා ගමන සිහිපත් කළේ එලෙසිනි.
පාසල් වියේදීම ‘චැලෙන්ජර්ස්’ සිනමාපටයෙන් රිදී තිරයට ආ ඇය, වේලාවට වැඩ කිරීම, කණ්ඩායම් හැඟීම සහ මිනිසුන්ට ගරු කිරීම වෘත්තීය රංගන ශිල්පියෙකුගේ මූලිකම ගුණාංගය විය යුතු බව පෙන්වා දෙයි.
කඩාවැටීම්, නිහැඬියාව සහ ආධ්‍යාත්මික සුවය
"මගේ කලා ජීවිතේ උපරිම තලයක ඉන්නකොටම තමයි අවුරුදු පහකට ආසන්න කාලයක් කිසිම දෙයක් නොකර නිහඬ වෙන්න මට සිද්ධ වුණේ. 'ඇයි මට මෙහෙම වුණේ' කියලා මම නිතරම ඇහුවා. මගේ ජීවිතේ මම හොයාගත්තේ ඒ කාලේදී."
කොවිඩ් වසංගතය හමුවේ සිනමාව කඩා වැටුණු පසුබිමක හුදෙකලා වූ ඇය, පසුතැවීම් සහ පෞද්ගලික වේදනාවන් ජයගත්තේ දැඩි ආධ්‍යාත්මික විශ්වාසයකිනි.
"අපිට වැරදි කරපු අයට සමාව දෙන එක ලේසි නෑ. හැබැයි මම මට රිදවපු මිනිස්සුන්ට සමාව දීලා මගේ මනසින් එයාලව අයින් කළා. වෛර කර කර හිටියා නම් අන්තිමට පාඩුව මටමයි" යනුවෙන් ඇය කියා සිටියේ සන්සුන් ස්වරයෙනි.
මව්පදවිය සහ දරුවන් හදන කලාව
"දරුවෙක්ගේ මුල් අවුරුදු දෙක අම්මා ළඟම ඉන්න ඕන කියන එක මොන්ටිසෝරි න්‍යාය ඇතුළේ අපි ඉගෙන ගන්නවා. හැබැයි අද තියෙන ආර්ථික රටාව එක්ක හැම අම්මා කෙනෙකුටම රස්සාව දාලා ගෙදර ඉන්න බෑ. දෙමාපියන් ඒ ගැන කලකිරෙන්න හොඳ නෑ."
පෙර ළමාවිය සංවර්ධනය සහ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක වන ශේෂාද්‍රි, න්‍යායට වඩා නිවසේ ඇති ආදරණීය පරිසරය දරුවාගේ මනසට බලපාන බව පෙන්වා දෙයි.
සමාජ මාධ්‍ය හරහා දරුවන් විකුණා මුදල් ඉපැයීමේ ප්‍රවණතාව ගැන අදහස් දක්වමින්, "දරුවන්ට තාක්ෂණය එක්ක නිදහස දෙන්න ඕන, හැබැයි සීමාවක් ඇතුව. මගේ පේජ් එකේ මම බබා එක්ක කරන දේවල් දැම්මට කිසිම දවසක දරුවා පාවිච්චි කරලා සල්ලි හම්බකරන්න මම පෙළඹෙන්නේ නෑ" යැයි ඇය දැඩි ස්ථාවරයක පසුවෙයි.
අභියෝග මධ්‍යයේ ඇරඹෙන දෙවැනි ගමන
"සෝෂල් මීඩියා එකේ මගේ පවුලට 'සාපයක්' කියලා මැසේජ් කරපු අයට පවා මම හරිම සංයමයෙන් උත්තර දීලා තියෙනවා. කෙනෙක් අපේ රංගනය විවේචනය කරනවා නම් අපි ඒක භාරගන්න ඕන. හැබැයි නිකරුණේ අපහාස කරන සෝෂල් මීඩියා අදහස් ගණන් නොගෙන ඉන්න එක තමයි හොඳම දේ."
හුදෙකලාව බිඳ දමා නැවත ක්ෂේත්‍රයට එන්නට සැමියා ක්‍රිශාන් පෙරේරාගෙන් ලැබුණු දිරිගැන්වීම ඇය අගය කරයි. තමාගේම වූ සීමා මායිම් සහ ගෞරවනීය රාමුවක් තුළ තෝරාගත් නිර්මාණ පමණක් භාරගන්නා බව ඇය අවධාරණය කරයි.
දිවංගත ටෙනිසන් කුරේගේ අවසන් සිනමා රංගනය සටහන් වන ‘රහයි ජීවිතේ’, ‘කොළඹ 14’ මෙන්ම ‘හනිමූන් ටුමෝරෝ’ හරහා ඇය සිය කලා චාරිකාවේ පරිණත දෙවැනි ඉනිම සටහන් කිරීමට මේ වන විට සූදානම්ව සිටියි.
මූලාශ්‍ර සබැඳිය:



