ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, යල්පැන ගිය රාජ්‍ය ව්‍යුහයන් වෙනස් කිරීමේදී වෘත්තීය සමිති පෙරටුගාමී කාර්යභාරයක් ඉටුකළ යුතු බවයි.
ජනාධිපතිවරයා විසින් සිදුකළ දීර්ඝ දේශනයේ සංක්ෂිප්ත සටහනක් මතු පළවේ.
යල්පැන ගිය ආයතන වෙනුවට 'GovTech'
කලක් ශක්තිමත්ව තිබූ රජයේ වැඩ දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙනුවට අද වන විට දියුණු පෞද්ගලික ඉදිකිරීම් ක්ෂේත්‍රයක් බිහිව ඇති පසුබිමක, රජයේ ආයතනවල කාර්යභාරය යළි සලකා බැලිය යුතුය.
අවශ්‍යතාව ඉක්මවා ගිය ආයතන ඒකාබද්ධ කිරීමට හෝ වසා දැමීමට සිදුවන අතර, රාජ්‍ය සේවයේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවීමට 'GovTech' නමින් නව ආයතනයක් භාණ්ඩාගාරය යටතේ ස්ථාපිත කර තිබේ.
ඩිජිටල් ආර්ථික අධිකාරිය, ඔන්ලයින් සූදු ව්‍යාපාර පාලනයට සූදු නියාමන අධිකාරිය මෙන්ම පොදු ප්‍රවාහනය උසස් කිරීමට මෙට්‍රෝ සමාගම පිහිටුවීම මෙහි ප්‍රධාන පියවර කිහිපයකි.

ප්‍රසම්පාදනය භාණ්ඩවලින් "විසඳුම්" කරා
රජයේ මිලදී ගැනීමේ ක්‍රමවේදය මේස-පුටු වැනි භාණ්ඩ මිලදී ගැනීමට සීමා නොවී, පද්ධතිමය ප්‍රශ්න විසඳන නවීන "විසඳුම් මිලදී ගැනීමක්" (Procurement of Solutions) බවට පත්කිරීමට ප්‍රසම්පාදන කොමිසම සමග එකඟතාවකට පැමිණ ඇත.
පසුගිය වසරේදී පමණක් රජයේ වාහන නඩත්තුවට රුපියල් බිලියන 25ක් වැයවී ඇති අතර, එම නාස්තිය නතර කර නවීන වාහන සහ පරිගණක පද්ධති හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ.
රැකියා 121,000ක්: වැටුප් හා බදු සහන
ගුරුවරුන් 23,000ක්, සෞඛ්‍ය හා විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල ඇතුළුව පුරප්පාඩු 121,000ක් සඳහා නව බඳවාගැනීම් ආරම්භ කර ඇත්තේ කාර්යභාරය නිශ්චිතව තහවුරු කරගැනීමෙන් අනතුරුවය.
රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිවීමට අමතරව ඉදිරි අයවැයෙන් අත්‍යාවශ්‍ය දීමනා 100%කින් ඉහළ නැංවීමට මෙන්ම සේවක පුහුණුවට මුදල් වෙන්කිරීමට නියමිතය.
පෞද්ගලික අංශයේ මූලික වැටුප් වැඩි කළ අතර, උපයන විට ගෙවීමේ බදු (PAYE) නිදහස් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහමාර දක්වා ඉහළ නංවා ඇති අතර, එය ඉදිරියේදී තවදුරටත් ලිහිල් කිරීමට අපේක්ෂිතය.

වැවිලි ක්ෂේත්‍රය සහ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය
වතු සේවක දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ දැමීමේදී රජය රුපියල් 200ක බරක් දරාගත් අතර, සේවක අයිතිවාසිකම් තහවුරු නොකරන හාම්පුතුන්ට ඉදිරියේදී වතු පාලනය හිමි නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
දැඩි මූල්‍ය විනය හමුවේ මිල්කෝ ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව කිරි ගොවීන්ට හා සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදී තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඩීසල් වෙළඳපොළ පංගුව 80% දක්වා වර්ධනය කරගෙන ඇති අතර, ලිට්‍රෝ සමාගම පෞද්ගලික අංශයට වඩා සහනදායීව ගෑස් සැපයීම නිසා මතුව ඇති ගබඩා ධාරිතා ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇත.
ත්‍රස්ත පනත අහෝසිය සහ නව ආරක්ෂක නීති
1978 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන අතරම, නූතන ගෝලීය තර්ජන සැලකිල්ලට ගෙන රාජ්‍යය ආරක්ෂා කිරීමේ නව පනතක් කෙටුම්පත් කෙරේ.
පසුගිය දිනවල රුපියල් කෝටි 22,000ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසුබිමක, පාතාලය මර්දනයට සංවිධානාත්මක අපරාධවලින් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක් ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙම නීති කිසිසේත් මහජන මර්දනයට යොදා නොගන්නා බවත්, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුළුල් එකඟතාවකින් තොරව කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



