ජන ආරගලයේ විසි දෙවන දිනය උදා වුණේ මැයි දිනය සමගය.
සිය මැයි දින රැළිය ඇමතූ සජිත් ප්‍රේමදාස කියන්නේ අන්තර් කාලීන සූදුවකට අප නෑ කියාය. දිනේෂ් කියන්නේ අපි ආණ්ඩු හැදුවේ ගෙදර යන්න නොවෙයි කියාය. මෛත්‍රිපාල කියන්නේ අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බවය. අනුරලා ඉල්ලන්නේ හොරු අල්ලන්න බලයකි.
පාර්ලිමේන්තුවේ තනි මන්ත්රිවරයෙකුට සීමාවූ එජාප නායකයා ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගෙන ආර්ථික ගැටලුව විසදිය යුතු යාන්ත්‍රණයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටියි. ඉතා අවශ්‍ය එය වුවද, ඒ මතය ඉලිප්පෙන්නේ නැත.
ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය ඇතුලු වෘත්තිකයන් අන්තර් වාර පාලනයක් සමග පවත්නා ක්‍රමය වෙනස් කිරිමට යෝජනා කරති.
ගිනියම්වූ රටේ ප්රශ්නය හමුවේ අවිනීතව හැසිරෙන මහින්ද රාජපක්ෂ අන්තර් පාලන ආණ්ඩුවේ අගමැති තමන් බව කියමින් ප්රශ්නය මග හරිමින් සිටියි.
අලියා සහ අන්ධයා කතාව සිහිපත් කරමින්, යථාර්ථයට පිටුපා, තම අපේක්ෂාවන් වෙනුවෙන් දේශපාලකයන් පෙනී සිටීම රටේ අවාසනාවට වඩා වෙන යමක් නොවේ.
බලකාමය සහ රටේ සුභ සිද්ධිය ලංකාවේ පක්ෂ දේශපාලන අරමුණු සමග කිසි විටෙක එකට බද්ධව ගමන් කරන්නේ නැත. හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සහ කැබිනට් ලේකම් අමරසේකර හැම පියවරක් පාසාම පුද්ගල වාසිය සහ උන්නතිකාමය මුල්ව පොදු යහපත යටපත් කරයි.
පරිකල්පන රටාවෙන් දකින්නෙකු රටේ පවත්නා දැවෙන අර්බුදයන්ට එකම පිළියම ක්ෂණික මැතිවරණයක්ද? අසා සිටියි. ඊට අවශ්‍ය උත්තර මැයි දිනයේ ප්‍රකාශ විය. ඒ හරහා වහා ලැබෙන ක්ෂණීක පුතිලාභය අලුත් පාර්ලිමේන්තුවකි.
මහ මැතිවරණයක් යනු තවත් (සමහර විට) නවක 225කට වරප්‍රසාද සහිත තනතුරු හිමිවීම පමණකි. ඒ හරහා ජනතාවට එක් රැයකින් තබා එක් මසකින් හෝ තෙල්, පොහොර, ඉන්ධන, විනිමය වහා සැපයනේනේ නැත. අලුත් පාර්ලිමේන්තුව මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමට අකමැති වුණොත්.....රුපියල ස්ථාවර වීමට තවත් කලක් ගතවනු ඇත.
රටේ අද පවත්නේද ජනතාව පත් කළ නීත්‍යානුකූල පාර්ලිමේන්තුවකට වග කියන ආණ්ඩුවකි. නව වැඩ සටහනට එකගව සාමුහිකව ජනතාව වෙනුවෙන් ක්‍රියා කිරීමට වර්තමාන පාර්ලිමේන්තුව හොදටම ප්රමාණවත්ය. ඊට අවශ්‍ය සාමුහික එකගතාවන් පමණකි.
පක්ෂ ගණනාවක සහායෙන් ආණ්ඩුවක් පිහිටුවයි නම් කැබිනට් මණ්ඩලයේ සංයුතිය පාලනය කළ නොහැකිය. එවිට රටේ ජනමතය පාර්ලිමේන්තුවේ කිහිප දෙනෙකුගේ හෙට්ටු කිරිමට හසුවේ.
ඊළග ආණ්ඩුවක් පත් කර අපේක්ෂා කරන්නේත් අවංකව ප්‍රශ්නයට විසදුම් නම්..... උත්තරය සභාගයකි. සභායක් යනු ඩීල් එකක් බව සමහරු කියනු ඇසේ.
ජනතාව වෙනුවෙන් යම් කාලයකට ඩීල් දැමීමට බිය විය යුතු නැත.

රටේ බිද වැටීමට පාදකවූ මේ තීන්දු ගත්තේ පාර්ලිමේන්තුව පමණක් නොව කැබිනට් මණ්ඩලයද නොතකා හරිමිනි.
කළ යුත්තේ සාධනීය වෙනස්කම් සදහා එකගවීම පමණකි. මේ තත්වය උඩු යටිකුරු කිරීමට වර්තමාන පාර්ලිමේන්තුව ගත යුත්තේ ව්‍යුහාත්මක ප්‍රතිපත්ති තීරණ මිස දේශපාලන තීරණ නොවේ.
එසේ නම් ඒ සදහා විපක්ෂය මැලිවන්නේ ඇයි? රටේ ප්‍රශ්න විසදුණ පසුව දිනා ගැනීමට යමක් රටේ ඉතිරි නොවන බැවිනි.
මෙය තේරුම් ගත් කිසිවෙකු කඩිනම් මැතිවරණයක් ඉල්ලන්නේ නැත. තවත් මැතිවරණයක් යනු කෝටි ගණනක් මුදල් වැය කිරිමකි. නාස්තිය රටේ පිරිහීමට හේතුව බව රහසක් නොවේ. එසේ නම් කෝටි ගණනක් වැය කර තෝරා ගත් මේ පාර්ලිමේන්තුව කල් තබා විසුරුවා හැරීමත් නාස්තියකි. අර්බුදය තිව්ර කිරීමකි.
පවත්නා ගැටලුව මැතිවරණයකින් විසදා ගත හැකි නම් ජනතාව පක්ෂ පසුපස යමින් අපේ එකා ළග එනවා පොහොර ඩොලර් ගෙන එනවා යයි කියනවා මිස වැසි අව් මැද වීදි බැස කට්ට කන්නේ නැත. මරාගෙන මැරෙන දැඩි අධිෂ්ඨානයක්, රඹුක්කන සිද්ධියෙන් තහවුරු වී හමාරය.

මයිනා ගෝගම ඉදිරිපිට පොලිසිය සමග නීති කතා කරන්නේ වර්තමාන පරපුර තවදුරටත් පවත්නා දේශපාලනය කෙරෙහි විශ්වාසය නොතබති. දෙසිය විසි පහම එපා කී ජොලිය ආවේගශීලි ජන බරපතල හෙට්ටු කිරීමක් වී හමාරය.
ජනතාවගේ උවමනාව වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ පෙනී නොසීටීම තුළ කෝකාත් එක බව තීන්දු කොට හමාරය.
සජබය තුළ ජනාධිපතිකම අපේක්ෂාවෙන් පවත්නේ ත්‍රිකෝන අරගලයකි. මැයි රැළියේදී පොන්සේකා යුද හමුදා මොඩලයෙන් එය යස රගට එළි දැක්වීය. මේ ඇවිදින්නේ 2010දී රට හිනැස්සූ අර කළවැද්දාමය. සහෝදර මන්ත්‍රීවරයෙකුට ගරුත්වයෙන් කතා කිරිමට හික්මීමක් නැත්තෙක් රටේ දේශපාලනයට සුදුසු නොවේ. ඔහු ආරක්ෂක අමාත්‍ය වුණොත්.....? පළමු පෙට්ටිය සජිත්ගේ මිම්මට හැදෙන්නට බැරි නැත. සජබය යනු පරස්පර ශබ්ද නගන ඔලු තුණේ බූරුවෙකු මිස විනය ගරුක පක්ෂයක්ද?
මැයි පළවෙනි දින සැමරෑ ලංකාවේ එකද දේශපාලන පක්ෂයකට ගෝඨා ගෝ ගමට හෝ මයිනා ගෝ ගමට කිට්ටුවෙන්නවත් ඉඩ දුන්නේ නැත. හේතුව අරගල භූමියෙන් නිදහස් ලංකාව බෙදා අවුල් කළ බලලෝභී පක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කර ඇති නිසාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කණ්ඩායම් රැස්වීමේදි කිසිදු මන්ත්‍රීවරයෙක් රටේ පවත්නා දැවෙන ප්‍රශ්න සදහා ගත යුතු පියවර ගැන කිසිවක් කතා කර නැත. සකල සාකච්ඡාව තිස්ස කුට්ටිආරච්චි වැනි කේප්පයන්ගේ හැසිරීමෙන් දුර්වර්ණ වී ඇත.
කාබනික පොහොර පිළිබද මෙන්ම ආර්ථික කරුණු ගැන තමන් ගත් තීරණ වැරදි බව පාලකයන් ප්‍රසිද්ධියේ පිළිගෙන හමාරය. එහෙත් රාජපක්ෂලා රැකීම හැර වෙන වෙන අරමුණක් පාර්ලිමේන්තුවේ පාලක බහුතරයට නැති බව එහිදී බව තහවුරු විය.

තමන් ප්‍රමාණයෙන් මිටි වුවද එවරස්ට් කන්ද මෙන් සවිමත් බවට ඒ රැස්විමේදී ඩලස් අලහප්පෙරුම කළ ප්‍රකාශයේ දෝංකාරය ගාලු මුවදොර පිටියට රාශිභූතවූ ජන ගෝෂාවේ ශ්රැතියට සමපාත බවට සැක නැත. රට පවත්නේ ඩලස්ලාගේ යාර අඩි අගල් හරහා තිස්සකුට්ට්ආරච්චිලාට විසදුම් සෙවිය හැකි තැනකට නොවේ.
රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක එහිදී තමන් පාර්ලිමේන්තු ආවේ මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් නිසා රාජපක්ෂලා ආරක්ෂා කළ යුතු බවක් කියා තිබේ.
ක්‍රමය වෙනස් කළ යුතු බවට තවත් තර්ක අවශ්‍ය නොවේ. දේශපාලනයට උගතුන් අවශ්‍ය බව කෙනෙකු සිතයි නම් විමලවිර දිසානායක ජපුර උපාධිධාරියෙකු බව සිහිකර ගත යුතුවේ.
අද මහ බැංකුව කඩිනමින් ඩොලර් සොච්චමක් එවන්නයි අයදින විදේශගත ලාංකිකයන් රැකියා නොමැතිව රට හැර ගියේ විමරවීර දිසානායකලා රට භාරගත් නිසාය.
ගිය ඉරිදා ලංකාදීප වාර්තාව අනුව, අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව රැස් දින කිහිපයේ වියදම කෝටි හතකි. ලංකා පාර්ලිමේන්තුව රාජ සභාවක් මිස නියෝජිත මණ්ඩලයක් නොවන බව අම්පාර නම් රාජපක්ෂලාගේ නින්දගමිනි පැමිණි විමලවීර සහතික කර හමාරය.
පාර්ලිමේන්තු බහුරතය තවමත් තමන්ට බව මහින්ද රාජපක්ෂ තවමත් විශ්වාස කරයි. 25 හැවිරිදිව පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ ඇමතූ රංග ශිල්පී බුද්ධදාස විතානාච්චි නිදහස් ලංකා ඉතිහාසයේ කිසිදු පාලකයෙක් නාකි මයිනා යනුවෙන් අපහාස විද නැති බව සිය විවෘත ලිපියෙහි සදහන් කරයි.
ආර්.ප්‍රෙමදාසගේ මරණය අසා කිරිබත් පිස කෑ අපේක්ෂා භංගත්වයට පත් රටේ ජනතාගේ තුන්වෙනි පරම්පරාව රට විනාස කළ රාජපක්ෂලා ජීවග්රහයෙන් කොටු කර හමාර බව මැල්බන් නුවර සිටින බුද්ධදාස විතානාච්චි නොදන්නවා විය නොහැකිය.
මේ විගඩම මෙසේ වන අතර, වර්තමාන විපක්ෂ නායකයා, මරණයෙන්ද ලංකාව සතුටට පත් කළ ආර්. ප්‍රෙමදාසගේ පුත්රයාවීම දෛවයේ සරදමකි.
විදුලිය නැති, කණ්ඩ නැති ඉන්ධන නැති පාසල් වැසෙමින් පවත්නා ලංකාවේ වික්ෂය මහ සෙනගත් ගෙන කොළඹට එන්නේ තමන් යටතේ ආණ්ඩුවක් පිහිටුවන බවට පාරම්බාමිනි. මේ පවත්නේත් ආණ්ඩුවකි. එය සෙලලම් ආණ්ඩුවක් නොවේ. තුනෙන් දෙකක බලයක් ජනතාව පිරිනැමූ ආණ්ඩුවකි.
මේ මළඉලව් පක්ෂ දේශපාලනය කෙළින් කර හොරු අල්ලන මොහොතක් නොවේ. සජිත් ප්රෙමදාසද පෙනී සිටි යහ පාලනය වැටුණේද හොරු නොඇල්ලීම නිසාය. සජිත් ඒ ආණ්ඩු කාලයේ එක දවසක් කට ඇර හොරු අල්ලනු කියා හඩ නගා නැත.
රටට අන්තර් පාලනයක් අවශ්‍ය පවත්නා ආණ්ඩුව මෙහෙයවා ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසදීමට මිස, හොරු ඇල්ලීමට නොවේ. අන්තර් පාලනයකට එකගවීම යනු හොරුන්ට අභය දානය දීමක්ද නොවේ. මේ ආකාරයට බොරදියේ මාලු බාමින් ජනතා විමුක්ති පෙරමුණත් හොරුන් ඇල්ලීමට පාරම් බාති. හොරුන් ඇල්ලීම යනු හොල්මන් දකින විට ඉතිපිසෝ ගාථාව මුමුණන්නාසේ ඡන්ද කාලෙට දේශපාලනඥයන්ට ඇතිවන පෙරේත දෝෂයකි.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව චීනය කළ ප්‍රකාශය හමුවේ ලංකාව වෙනුවෙන් පෙනී සිටි ඉන්දීය අමාත්‍ය නිර්මලා සීතාරාමන්ට තමිල්නාඩු මහ ඇමති ස්ටාර්ලින්ට, පූල් පාණ්ඩියන් නම් දිළිදු සහන සේවකයාට ලංකවේ මිනිසුන් ගැන ඇති ලෙන්ගතුකම ලංකාවේ විපක්ෂයේ බල ලෝභි ගොබ්බයන්ට නැතිබව රහසක් නොවේ.

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )