යටත් විජිත සමයේ පැවති පාලන තන්ත්‍රයට (ආණ්ඩුවලට) ද, ඉන් පසුව මෙරට බිහිවූ සියලු ම පාලන තන්ත්‍රවලට ද අනෙකෙකු අවශ්‍ය විය.



ඒ, මිතුරුකමට නොව රටේ ජනතාවගේ අර්බුදවලට විසඳුම් සොයා ගැනීමට නොහැකි වූ විට පැනනැගෙන ජනතා විරෝධ මැඩපැවැත්වීම සඳහා ය.

1915 පැන නැගුණ සිංහල මුස්ලිම් කෝලාහලය මෙහි මුලාරම්භය ලෙස සැලකිය හැකි ය. ඒ වන විට පැවති ජන පීඩක අධිරාජ්‍යවාදින්ට එරෙහිව රටපුරා මෝදු වෙමින් පැවති ස්වදේශික අරගලය මැඩපැවැත්වීම සඳහා සිංහල මුස්ලිම් අර්බුදය නිර්මාණය කළේ ය.

1956 වසරේ බලයට පත් බණ්ඩාරනායක පාලනය බිඳ දැමීම සඳහා ඔවුන්ගේ අනෙකා වන එජාපය ‘භාෂා පනත’ අනෙකා ලෙස ඉදිරියට ඇද දමමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ ය. අවසන එය නිමා වූයේ බණ්ඩාරනායක ඝාතනයෙනි.

1982 වසරේ පැවති ජනාධිපතිවරණයට එරෙහිව කටයුතු කළ රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ජේ. ආර්. ජයවර්ධන පාලනයට එරෙහි සතුරා හෙවත් අනෙකා බවට පත් කරගත් ඔහු 1983 වසරේ සිංහල යැයි කියාගන්නා ජනතාව උසිගන්වමින් ඇතිකළ ජාතිවාදි අරගලය අනෙකා ලෙස භාවිත කරමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේ ය.

එය අවසන් වූයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ තැන සිට 1989 වසරේ රෝහණ විජේවීර ඝාතනය දක්වා සිදුකළ ම්ලේච්ඡ ඝාතන රැල්ලකිනි. එම ඝාතන සිදුකිරීම සඳහා එවකට පැවති ආණ්ඩුව අවසාන වශයෙන් දියත් කළ තුරුම්පුව වූයේ ආණ්ඩුව විසින් ම හමුදා සෙබළුන්ගේ සහ පොලිස් රාජකාරියේ නියුතු අයගේ පවුල් ඝාතනය කරනු ලැබ, එම ඝාතන ජනතා විමුක්ති පෙරමුණ මත පැටවීම ය.

kjs

1983 වසරට පෙර සිට ම ඇරඹි, 83 වසරේ නව මුහුණුවරකින් කරළියට පැමිණි LTTE සංවිධානයේ ක්‍රියාකාරකම් ‘අනෙකා’ ලෙස භාවිත කරමින් 2009 දක්වා පැවති ආණ්ඩුවලට එරෙහි දේශපාලන ව්‍යාපාර, සිවිල් සංවිධාන සහ පුද්ගලයෝ: අතුරුදන් කළේ ය; ඝාතනය කළේ ය. මෙහි දී ද එවකට පැවති ආණ්ඩු විසින් විවිධ ඝාතන සහ අතුරුදන්වීම් කර ඒවා LTTE සංවිධානයට බැර කළේ ය. ජාතිවාදී සහ අන්තවාදී කල්ලි විසින් මෙහෙයවන ලද මිනිමරු කල්ලි යොදවා යුද විරෝධීන් බිය වැද්දී ය; අතුරුදන් කළේ ය; ඝාතනය කළේ ය. 

 

1915 වසරේ එවකට පැවති සුදු අධිරාජ්‍යවාදින්ගේ අනෙකා වූයේ සිංහල ජනතාව ය. අනතුරුව පසු 2009 දක්වා පැවති ආණ්ඩුවල ‘අනෙකා’ බවට පත්වූයේ දෙමළ ජනතාව ය.

 

LTTE සංවිධානය පරාජය කළා යැයි උදම් ඇනූ රාජපක්ෂ සනුහරය ප්‍රමුඛ පාලකයෝ 2015 වසර වන විට පරාජයට පත්විය. නමුත් රාජපක්ෂ සනුහරය බල ලෝභය අත් නොහැරියේ ය. එතැන් සිට යළි ඔවුන්ගේ අනෙකා වූයේ මුස්ලිම් ජනතාව ය. මුස්ලිම් ජනයා ආණ්ඩුවේ එසේත් නොවේ නම් සිංහලයාගේ, බෞද්ධයාගේ අනෙකා කරගැනීම සඳහා බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා චීවරධාරියෝ ද පෙරමුණ ගත්හ.

එය දිගින් දිගට ම පවත්වාගෙන යාම සඳහා: වඳ පෙති, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, වඳ යතුරු පැදි කවර මතු නොව වධ සැත්කම් ද කරළියට රැගෙන ආවේ ය. එතරම් දුරට එම තත්ත්වය ඇදගෙන ඒම සදහා 2019 වසරේ පාස්කු ඉරුදින ජීවිත තුන්සියයක් පමණ බිලි ගත්තේ ය; මුස්ලිම් ජනතාවගේ දේපොළ හානි කරමින් දිගින් දිගටම ජාතිවාදය පැතිරුවේ ය. 2020 වසරේ රාජපක්ෂ සනුහරේ ප්‍රමුඛ බත්බැළයෝ යළි සිය බලය තහවුරු කරගන්නේ ඉන් අනතුරුව ය.

 

‘රට හදන අපේ විරුවා’ ක්‍රම ක්‍රමයෙන් ‘රට කන විරුවා’ බවට පත්වන විට රාජපක්ෂ සනුහරයට අනෙකෙකු නිර්මාණය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබිණ. එවර ඔවුන්ගේ අනෙකා බවට පත්වූයේ අදූරදර්ශී, අකාර්යක්ෂම මෙන්ම දැඩි උද්ධච්ච ජනාධිපතිවරයෙකු පන්නා දැමීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරියට පැමිණි අරගලකාරී ජන ප්‍රජාව ය.

 image eeeef4ac8e

එහෙත් ඒ අරගලකාරී ප්‍රජාව ඔවුන්ගේ අරගලය මෙහෙය වූයේ ප්‍රචණ්ඩ ලෙස නොව ආදරණීය ලෙසිනි. සෑම මසක ම පොහොය දිනට අරලියගහ මැදුරේ ඊනියා බණ දේශනා සංවිධානය කළ ද රටේ ජනතාව කෙරෙහි ආදරය, කරුණාව, දයාව සහ මෛත්‍රිය බිඳකුදු නොදැක්වූ රාජපක්ෂ සනුහරේ ප්‍රධානියා වන මහින්ද රාජපක්ෂ ඒ ආදරණීය අරගලය වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරියේ ය.

ඉන් අනතුරුව සිදුවූ ස්වයං ප්‍රචණ්ඩකාරිත්වයේ වගකීම ද ජනතා විමුක්ති පෙරමුණ මත සහ පෙරටුගාමී සමාවාදී පක්ෂ මත පටවන්නට නින්දිත උත්සාහයක් දැරී ය. නමුත් එහි දී ආණ්ඩුව 89 තරම් ප්‍රබල නොවිණ; ආණ්ඩුව හැරෙන්නේ කුමන පැළය ගිල දමන්නදැයි රටේ බහුතරයක් වූ ජනතාව අවබෝධ කරගත්තේ ය. එබැවින් ආණ්ඩුවට අලුත් ‘අනෙකෙක්’ නිර්මාණය කිරීමට අවශ්‍ය විය.

වර්තමාන වටපිටාව අනුව ඒ අනෙකා සිංහලයාට විරුද්ධ දෙමළා බවට පත් කළ නොහැකි විය; සිංහලයාට විරුද්ධ මුසල්මානුවා බවට පත්කිරිමට නොහැකි විය. බෞද්ධයාට එරෙහි කතෝලිකයෙකු නිර්මාණය කිරීමට විවිධාකාරයේ උපාය උපක්‍රම යෙදුව ද ඒ සියල් දල ආදරණීය අරගලය අබියස පරාජයට පත්විය.

 

නමුත් ආණ්ඩුවට අනෙකෙකුගේ අවශ්‍යතාව තදින් ම දැනිණ. තමන්ගේ බලය පවත්වාගැනීම වෙනුවෙන් ඕනෑ ම: මුග්ධ, මිලේච්ඡ, අමානුෂික ක්‍රියා පිළිවෙතක් දියත් කරන්නට පසුබට නොවන මේ අසමත් පාලකයෝ දැන් ඒ අනෙකා නිර්මාණය කරමින් පවතී. ඒ ‘අනෙකා’ නම් මහජනයා සමග ආරක්ෂක අංශ සහ පොලිසිය අතර ගැටුම් ඇතිකිරීම ය.

 

යට කී ‘‘අනෙකා’ කළ එළි බැස්සේ අරගලය ආරම්භයේ දී ම ය. ඒ, මිරිහානේ පිහිටි රාජපක්ෂ සනුහරේ අසමත් ජනාධිපතිගේ නිවස සාමාන්‍ය ජනතාව විසින් වටලනු ලැබූ අවස්ථාව ය. මේ මුග්ධ ආණ්ඩුවේ බත් බැළයෙක් එදා පුද්ගලික බස් රථයකට ගිනි තබා එය සාමකාමී විරෝධතාකරුවන්ගේ ගිණුමට බැර කිරීමට කටයුතු කළේ ය.

 අනතුරුව රඹුක්කන දී ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට තැත් කළා යැයි චෝදනා කරමින් පුද්ගලයෙක් ඝාතනය කළේ ය.

එතැන් සිට මේ දක්වා විවිධාකාරයේ ගැටුම් නිර්මාණය කරමින් විවිධාකාරයේ මර්දන දියත් කිරීමට උපරිම උත්සාහ දැරී ය. ඒහෙත් ඒ කිසිවක් මුග්ධ පාලකයන්ට අවශ්‍ය පරිදි සිදු නොවිණ. මන්ද වර්තමාන ජනතාව පෙරට වඩා යම් අවබෝධයකින් පසුවන බැවිනි.

තත්ත්වය එසේ වුව ද ආණ්ඩුවට එය එසේ සිදුවන්නට ඉඩ හැර බකංනිලාගෙන සිටීමට නොහැකි ය. මන්ද එවිට ආණ්ඩුවේ අර්බුදය උඩු දුවන්නේ ය. එසේ නම් දැන් දැන් තවත් අනෙකෙක් නිර්මාණය කළ යුතු ය. ඒ අනෙකා පසුගිය දින කිහිපයේ දී කලඑළි බැස්සේ ය. එහි ආරම්භක අවස්ථාව කුරුණැගල මාස්පොත ඉන්ධන පිරවුම්හල අසල දී දැකගත හැකි විය.


288911644 138581148831612 1067564344783150707 n



එදින ඉන්ධන ලබාගැනිමට පැමිණි ජනතාව අතරට කඩා වැදුණු ම්ලේච්ඡ පොලිස් නිධරයෙක් නිරායුධ පුද්ගලයෙකුට පහර දෙන ආකාරය, ඔහු ඇතුළු තවත් කිහිප දෙනෙකු වෙත ගිනි අවි එල්ල කරමින් තර්ජනය කරන ආකාරය සහ දෙදෙනෙක් බලහත්කාරයෙන් රැගෙන යන අයුරු ලෝ වැසි සියලු දෙනාම දැකගත්හ.

ඊට පසු අතුරුගිරියේ ද එවන් සිදුවීමක් දක්නට ලැබිණ. මේ ප්‍රධාන සිදුවීම් දෙකක් පමණි. වෙනත් ස්ථාන කිහිපයක දී ම මහජනතාවගේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධරයෝ ම මහජනයා පීඩනයට ලක් කළේ ය. සරලව ම පවසන්නේ නම් ආණ්ඩුව සමස්ත රටේ ම ජනතාව තමන්ගේ අනෙකා බවට පත්කරගත්තේ ය. ඒ සඳහා අවශ්‍ය වටපිටාව ඉතා සුක්ෂම ලෙස නිර්මාණය කළේ ය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට මුක්කුවක් ගසන මොහොතේ පැවසුවේ තමා සුදානම් වන්නේ රටේ ජනතාවට තුන්වේල ම කුසට ආහාර ලබා දෙන බවයි; ඉන්ධන, ගැස් සහ කිරි පිටි පෝලිම් අහෝසි කරන බවයි; ‘ගෝඨා ගෝ ගම’වෙසෙන අරගලකාරී ප්‍රජාවට පහසුකම් සපයන බවයි. යම් පමණකට හෝ එය ඉටු කිරීමේ හැකියාව පැවතිය ද, රටේ බහුතරයක් ජනතාව ‘Go home Gotha’ සටන් පාඨය ඉවත් කරගන්නා බවක් දක්නට නොලැබිණ. එසේ නම් රනිල් ගෝඨා ප්‍රමුඛ ආණ්ඩුවට වෙනත් කුමන හෝ කළ යුතුම ය. ඒ සදහා ඔවුන් තොරා ගත්තේ ජනතාව, ජනතාව සමග මෙන් ම ජනතාව පොලිසිය සමග ගැටුම් ඇති කරගන්නා වාතාවරණයක් ගොඩනැගීම ය.

 

මෙකී ගැටුම් ස්වං සිදුවීම් නොව හිතා මතාම නිර්මාණය කරන ගැටුම් බව වඩාත් තහවුරු වන කරුණු කිහිපයක් දක්නට ඇත. ඇතැම් වෘත්තිය සමිති පවසන ආකාරයට ආණ්ඩුව ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවිය හැකිව තිබිය දී පවා එසේ නොකළ අවස්ථා පැවතිණ. ඉන්ධන බෙදාහැරීමේ දී ද වුවමනාවෙන් ම යම් යම් අක්‍රමිකතා සිදු කළේ ය.

 

පසුගිය දිනවල ඉන්ධන බෙදාහරින ටැංකි හිමියන්ගේ සංගමයේ ප්‍රධානියා කළ ඇතැම් ප්‍රකාශ සහ හෙළිදරව් තුළින් එය මැනවින් පැහැදිලි කරගත හැකි ය.

අනෙක් පසින් දිවයිනේ සැම ප්‍රෙද්ශයකට ම සමසේ (ඒ ඒ පෙදෙස්වල ඉල්ලීමට සාපේක්ෂව) ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියා පිළිවෙත අඩපණ කළේ ය.  ඉන්ධන හිඟය උග්‍ර කරන්නට කරන්නට ජනතාවගේ පීඩනය ද ඉහළ නගින්නේ ය.

එවිට අරගලය මඳකට හෝ ප්‍රමාද වන්නේ ය; සියලු වාහන හිමියන් දැඩි ආත්මාර්ථකාමින් බවට පත්වන්නේ ය; එකෙකු පරයා අනෙකා තම වාහනයට ඉන්ධන පුරවා ගැනීමට වෙහෙසෙන්නේ ය. ඔවුන්ගේ පීඩනය පුපුරා යන අවස්ථාව එළඹෙන මොහොතේ ම බලපත්‍රලාභී චණ්ඩි හෙවත් රාජපක්ෂ සනුහරය වෙත බැළ මෙහෙවර කරන පොලිසියේ බත් බැළයෝ පීඩනයට පත්ව සිටින ජනතාවට පහර දෙන්නට පෙලඹෙන්නේ ය.

එවිට සිදුවන්නේ ජනතාව සමස්ත ආණ්ඩු වෙත දක්වන විරෝධය හුදු පොලිස් විරෝධයකට ලඝු වීම ය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස ආණ්ඩුව නැවත හදිසි නිතිය පනවා ඒ බලය උපයෝගි කරමින් ඇඳිරි නිතිය ද පැනවිය හැකි ය. එසේ ඇදිරි නීතිය පනවා අවම වශයෙන් සතියක් දෙකක් හෝ රට වසා දැමුව හොත් ආණ්ඩුවේ අර්බුදයට තාවකාලික පැලැස්තරයක් ඇලවිය හැකි ය.

 

ආණ්ඩුවේ මේ මුග්ධ ක්‍රියා පිළිවෙත වළකාලිය හැක්කේ අන් කිසිවකුට නොව මෙරට ජනතාවට ම ය. ඒ, පොලිසිය සමග මෙන් ම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග ගැටුම්වලට නොගොස් තම තමන්ගේ විරෝධතාව සමස්ත ආණ්ඩුව දෙසට ම එල්ල කිරීමෙනි. එවිට ආණ්ඩුවට අනෙකෙකු නිර්මාණය කළ නොහැකි ය.

 

එබැවින් මේ මොහොතේ ආණ්ඩුව නිර්මාණය කරමින් සිටින අනෙකා වන්නේ අන් කිසිවකු නොව පීඩනයට පත්වි සිටින ජනතාවම ය. ජනතාව අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනීම ආණ්ඩුවේ ජයග්‍රහණයකි. ජනතාව කළ යුත්තේ ආණ්ඩුවට ජයග්‍රණය අත්පත් කර දීම නොව ජනතාව ජයග්‍රහණය අත්පත් කරගැනීම ය.

එබැවින් ජනතාව මේ මොහොතේ ආණ්ඩුවේ අනෙකා හෙවත් සතුරා වීමෙන් හැකි තරම් වළකින්න.

පොලිසිය සහ ආරක්ෂක අංශ සමග පමණක් නොව තමා මෙන්ම පීඩනයට පත්ව සිටින අනෙකා සමග ද ගැටුම් ඇති කර නොගන්න.

ඒ අන් කිසිවක් නිසා නොව එබඳු ගැටුම් ඇති කර ගැනීමෙන් එහි වාසිය අත්පත් කරගන්නේ ආණ්ඩුව ම වන බැවිනි.

ඉදින් ජනතාවනි  ප්‍රවේසෙමන්... ආණ්ඩුව නිර්මාණය කරන අනෙකා හඳුනාගන්න. ඒ අන් කිසිවකු නොව ඔබ ම ය. ඔබ ඔබ ම මිස ආණ්ඩුවේ අනෙකා බවට පත් නොවන්න. අරගලයට ජය!!!


ආලින්දයෙන් ඔබ්බට 10 : 'නිරාවරණ' - ජයසිරි අලවත්ත(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/06/19  


 
 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්