1200 x 80 DMirror

 
 

"රනිල්ගේ ඉරණම" යන තේමාව යටතේ මා විසින් ලියා පළකරන ලිපිය විශාල පාඨක පිරිසක් අතට පත්ව තිබුනා සේම ඒ ගැන විවිධාකාර විවේචනයන්ද

පළවී තිබුණි.

රනිල් වික්‍රමසිංහ පිලිබද විෂයේදී පමණක් නොව රටේ අර්බුදය පිළිබඳ විෂයේදී ද ලංකාවේ බොහෝ දෙනෙකු තර්කානුකූලව කල්පනා කිරීමට තිබෙන හැකියාව අහිමිකර ගෙන තිබෙන බව පෙනේ.

ලංකාවේ පාලකයින් වෙනස් කරන තෙක් රටට විදේශ මුදල් එවීමෙන් වැළකී සිටින ලෙස විදේශගත ප්‍රජාවගෙන් වාමාංශික පක්ෂ නායකයකු ඉල්ලා සිටින වීඩියෝවක් දැකීමෙන් මම විශ්මයට පත්වීමි. එම ප්‍රකාශය මා වටහා ගත්තේ අප බලයට එනතෙක් රට විනාශ වුවද කමක් නැතැයි කියන අදහස ය.

එම ප්‍රකාශකයා අයත් වන්නේ මහජන පිළිගැනීම වර්ධනය කරගනිමින් සිටින පක්ෂයකට ය.

එවැනි විනාශකාරි ප්‍රවේශයක්  එවැනි පක්ෂයක යහපතට හේතු විය හැක්කේ කෙසේද?

රටේ දේශපාලන බලය සඳහා කෙරෙන අරගලය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේද මේ මොහොතේ රටේ අර්බුදය තිබෙන සුවිශේෂී ස්වභාවය මුළුමනින් නොසළකා ක්‍රියා කරන තත්වයකිනි. ගෙයක් ගිනි ගන්නා අවස්ථාවක වහාම සිදු විය යුත්තේ එම ගින්න නිවීම පිණිස ක්‍රියා කිරීම මිස ඊට පෙර ගින්නට වග කිවයුතු අය සෙවීම නොවේ.

එහෙත් ලංකාවේ සිදුවෙමින් පැවතුනේ රට ගිනි ගත් පසු ගින්නට පැතිරෙන්නට ඉඩ හැර එම ගින්නට වගකිව යුතු අය සොයන තැනකට යොමු වීමය.

 

රනිල් ගැන කල්පනා කරන විදිය ද අවුල් සහගතය. මා රනිල්ගේ දේශපාලන අනුගාමිකයෙකු නොවෙමි. මා ඔහු දැඩි ලෙස විවේචනය කල අවස්ථා තිබෙනවා සේම ප්‍රශංසා කල අවස්ථා ද තිබෙන්නේය. සීමාසහිතකම් තිබියදීත් ඔහු අප රටේ පරණ දේශපාලන පරපුරේ ඉතිරි වී සිටින වර්ණවත්ව නායකයාය. ඔහු සමග මට දැන් තිබෙන දෘෂ්ඨිමය බැඳීම කුමක්ද කියා මා පැහැදිලි කල යුතුය.

 

ඒ කෙරෙහි බලපෑවේ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කරගැනීම පිණිස ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සදහා අප අතර තිබෙන එකඟතාවයයි. අප අතර ඇතිවූ  එම සංවාදයට දිවංගත මංගල සමරවීර ද සහභාගි විය. ඔහු අද ජීවතුන් අතර සිටියේ නම් ඔහු මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටින පතාක යෝධයෙක් වෙන්නට ඉඩ තිබුණි.

rw ms 1000px 

මංගල අද ජීවතුන් අතර සිටියේ නම් ඔහු මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් පෙනී සිටින පතාක යෝධයෙක් වෙන්නට ඉඩ තිබුණි.

 

මා ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටියේ අභ්‍යන්තර යුද්ධය අවසන් කෙරුණු කාලයේ සිටමය. එවැනි ප්‍රතිසංස්කරණ වැඩසටහනකට රට යොමු නොකළහොත් රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයේ ඇති වී තිබෙන ගරා හැලීම වර්ධනය වී විශාල අර්බුදයකට තල්ලු වී ගොස් රට බංකොලොත් හා අරාජික තත්වයකට තල්ලු වී යනු ඇති බව මා පළකල මතය විය.

මාගේ එම අදහස රාජ්‍යය පාලකයෙකුගේ (ජනාධිපති ගෝඨාගේ) පිළිගැනීමට හේතුවන්නට අවුරුදු 12 ක් තරම් දීර්ඝ කාලයක් ගත වූ අතර ඒ වන විට මගේ අනාවැකිය සැබෑ කරමින් රට බංකොලොත් තත්වයකට ද විශාල ප්‍රමාණයේ අරාජික තත්වයකට ද ඇද වැටී තිබුණි.

 

දැන් ගෝඨාභයගේ තැන ගෙන සිටින්නේ රනිල්‍ ය. ඔහු අපගේ ප්‍රතිසංස්කරණ කතිකාවේ වැදගත් කොටස් කරුවෙකි. රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන ඔහුට තිබෙන අවබෝධය තියුණුය. මේ මොහොතේ රටට වඩා වැදගත් වනුයේ ආණ්ඩු වෙනසක් නොව ක්‍රමයේ වෙනසකි. ඔහු ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කරන්නේ නම් අප කළ යුත්තේ ඊට බාධා කිරීම ද? නැතිනම් උදව් කිරීම ද?

 

ඊළඟ මැතිවරණය කළු සල්ලි නැතිව ගරු කටයුතු මිනිසුන්ට තරඟ කොට ජය ගත හැකි තත්වයක් සහතික කළ හැකි වනු ඇත්තේ ප්‍රතිසංස්කරණ වැඩසටහනකට මිස ප්‍රතිසංස්කරණ නැතිව පැවැත්වෙන ඉක්මන් මැතිවරණයකට නොවේ.


ජනාධිපති කම ලැබිය යුතුව තිබුනේ කාටද?


පාර්ලිමේන්තු ඡන්දයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට තෝරා පත් කරගත්තේ ලංකාව සිය අර්බුදයේ ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ තිබුන අවස්ථාවකදී ය. රට තිබුණේ බංකොලොත් හා අසමත් භාවයට පත්වූ තත්වයකය.

ඒ අශ්‍රයෙන් ඇතිව තිබුන ඉසිලිය නොහැකි ජීවන බර, භාණ්ඩ හිඟය හා පෝලින් ක්‍රමය නිසා සමාජය  බලවත් ලෙස නොසන්සුන් ලෙස ක්‍රියා කරන තත්වයකටත්  ඊට සමාන්තරව රට අරාජික තත්වයකටත් තල්ලු වී යමින් තිබුණි.

පීඩාකාරි ආර්ථික වටාපිටාව තුළ දෙවැනි වරට වඩා බලවත් ආකාරකින් සිදුවූ මහජන නැගිටීම නිසා ජනාධිපති ධූරයේ සිටි ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් එම ධූරයෙන් ඉවත් වෙන්නට සිදුවී තිබුණි.

ඒ වෙනුවට ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන්  බහුතර බලයකින් එම ධූරයට තේරී පත්වීමට රනිල් වික්‍රමසිංහ සමත් විය.

 ඒ මොහොතේ රනිල්ට පොහොට්ටුව පක්ෂයේ ලොකු පිරිසකගේ සහය ලැබුනා පමණක් නොව විරුද්ධ පක්ෂයේ සැළකිය යුතු තරම් පිරිසකගේ ද සහාය ලැබුන බව පෙනේ.

 

ඔහු ගේ එම තේරී පත්වීම ගැන විවිධ විවේචනයන් පවතී. එක් විවේචනයක් වනුයේ ඔහු එම ධූරයට පත්වූ ආකාරය ව්‍යවස්ථානුකූල ලෙස සැළකිය හැකි වුවත් සුජාත භාවයේ ලොකු ප්‍රශ්නයක් තිබෙන බවය. එම තේරී පත්වීමට මහජන අනුමැතියක් තිබේද යන්න තීරණය කල හැක්කේ මැතිවරණයකින් පමණය.

 

එහෙත් ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූර කාලය සම්පූර්ණ කිරීමකින් තොරව ධූරය අත්හැර යන හෝ ඔහුට එම ධූරය අහිමි වන අවස්ථාවකදී ධූරකාලයේ ඉතිරි කොටස සදහා ජනාධිපතිවරයෙකු තෝරාගන්නේ මහජන මැතිවරණයකින් නොව ඒ සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මැතිවරණයකිනි.

 ඒ විශේෂ මොහොතේ දී රටට අවශ්‍ය වී තිබුණේ රට ඇද වැටී තිබුන අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අවශ්‍ය දැක්මක් හා ප්‍රායෝගික හැකියාවක් තිබෙන නායකයෙකි. ඒ අර්ථයෙන් තෝරා ගැනීමට සිටි හොඳම නායකයා ඔහුය. එම කාර්‍යය සඳහා තෝරාගත හැකි ඔහුට වඩා හොඳ විකල්ප නායකයෙකු එම තරඟ බිමේ නොසිටියේය.


රනිල්ට එල්ල වන විවේචන

 125994768 27057527 7434 4eb7 99c5 ee1d5fae273b

තෝරා ගැනීමට සිටි හොඳම නායකයා ඔහුය. එම කාර්‍යය සඳහා තෝරාගත හැකි ඔහුට වඩා හොඳ විකල්ප නායකයෙකු එම තරඟ බිමේ නොසිටියේය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්වතෝභද්‍ර නායකයෙකු නොවෙතත් ඔහු වෙත එල්ල වෙමින් තිබෙන සමහර සැර පරුෂ විවේචනයන් සාධාරණ නොවේ යන්න මගේ මතයයි.

බටලන්ද රජයේ නිවාස සංකීර්ණයේ සැකකරුවන් රඳවා තබා ගැනීම හා ඔවුන්ට වධහිංසා කිරීම සදහා වධකාගාරයක් පවත්වාගෙන ගියේද එහි නීති විරෝධී දේවල් සිදුවී ඇත්නම් ඒවාට වග කිව යුත්තේ කවුද යන්න සොයා බැලීම සදහා ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග, 1996 දී ජනාධිපති කොමිසමක් පත් කළේය.

රනිල් වික්‍රමසිංහ එම කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි දුන්නේය. හරස් ප්‍රශ්න වලට ද මුහුණ දුන්නේය. ඉන්පසු ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු නොවීය.

බටලන්ද කොමිසම ඒ කාලයේදී සැලකුණේ චන්ද්‍රිකාගේ ආණ්ඩූව විරුද්ධ පක්ෂ නායකයාගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමේ අරමුණින් පත් කරන ලද කොමිසන් සභාවක් ලෙසය.

ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේ දී චන්ද්‍රිකා හා ඇය අයත් පක්ෂයේ නායකයින් ද ඔවුන්ට කැරලිකරුවන්ගෙන් එල්ලවී තිබුන ජීවිත තර්ජන ඉදිරියේ ආණ්ඩුවෙන්  ලබා ගත් ආයුධ වලින් සන්නද්ධ වී සිටියේය.

එම නිෂ්චිත කාලයේදී ආණ්ඩුවේ භූමිකාව පමණක් නොව කැරලිකරුවන්ගේ භූමිකාව ද අලුගෝසු ස්වරූපයක් ගෙන තිබුණි. දෙපක්ෂයම තරඟකාරි ලෙස තමන්ගේ දේශපාලන සතුරන් පමණක් නොව සතුරන් විය හැකි බව පෙනෙන අය පවා මරා දමන කුරිරු ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

 

බටලන්ද කථාව රනිල්ට එරෙහිව පාවිච්චි කල හැකි බලවත් තුරුම්පුවක් වේ නම් එය ඔහුට එරෙහිව පාවිච්චි කළ යුතුව තිබුනේ අද නොව 1999 වසර අවසානයේ පැවති ජනාධිපතිවරණයේදී හා 2005 පැවති ජනාධිපතිවරණයේදීය. එදා පාවිච්චි නොකරන ලද තුරුම්පුවක් ඉන් බොහෝ කලකට පසුව අදට වලංගු විය හැක්කේ කෙසේද?

 

රනිල් අගමැතිවරයෙකු වශයෙන් රට පාලනය කල ප්‍රධාන අවදි දෙකේදිම (2001-2004 හා 2015-2019) මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙකුගේ භූමිකාව රඟපා නැත.

ඔහු ගේ එම පාලන කාල දෙක 1978 ජනාධිපති ක්‍රමයක් ඇති කිරීමෙන් පසු අතුරුදහන් කිරීම් සිදු නොවූ හා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනා එල්ල නොවූ පාලන කාල දෙක ලෙස සැළකිය හැකිය.

ඔහුගේ පරණ පාලනයන්ට අදාල ඓතිහාසික යථාර්තය එය නම් ඔහු බිහිසුණු පාලකයෙකු ලෙස හුවා දැක්වීම සාධාරණ විය හැක්කේ කෙසේද?

2001 ජූලි 24 වනදා අන්තර් ජාතික ගුවන් තොටුපලට එල්ල වූ එල්ටීටීඊ පහර දීමෙන් පසු රටේ ආර්ථික වර්ධනය සෘණ තත්වයට පත්වූ අතර එම තත්වය ජයගැනීම සදහා ක්‍රියා කලේ ද 2001 මැතිවරණය ජය ගැනීමෙන් පසු අගමැති ධූරයට පත් රනිල් වික්‍රමසිංහ ය.

එය ඔහු විසින් කඩා බිඳ වැටුන ආර්ථිකයක් ජය ගැනීමට ඔහුට තිබුන හැකියාව පෙන්නුම් කල විශේෂ අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.


නායකයින් නැතිකමේ ප්‍රශ්නය


පුරෝගාමී කාර්‍ය්භාරයක් කළ හැකි නායකයින් නැතිකමේ ප්‍රශ්නය ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය. මෙය දේශපාලන තලයට පමණක් සීමා වූ දෙයක් නොව රාජ්‍ය නිලධර තන්ත්‍රය ද ඇතුළුව අන් හැම තැනකම දක්නට තිබෙන ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය.

 එම තත්වය කෙරෙහි රටේ අධ්‍යාපන ක්‍රමයට ආවේණික සීමාවන් ද බලපාන්නට ඇතත් ඒ කෙරෙහි වැඩියෙන්ම බලපා තිබෙන බව පෙනෙන්නේ රටේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම්ය. සිංහල, දෙමළ කැරලිකරුවන් විසින් හා එම කැරලි මර්ධනය කල ආරක්ෂක හමුදා විසින් මරා දමල ලද මිනිසුන් අතර ප්‍රමුඛ ගණයෙහිලා සැළකිය හැකි සිංහල, දෙමළ නායකයින් විශාල ගණනක් සිටියා සේම, ඔවුන් අතර අනාගත නායකයින් වීමේ ශක්තියක් තිබු තරුණයින් කිසියම් පිරිසක්ද සිටියේය.

ලංකාව දේශපාලන නායකයින් නැති කාන්තාර රටක් බවට පත්වූයේ ඒ නිසාය.

 

දියුණු දේශපාලන නායකයින් ගණයෙහිලා සැළකිය හැකි නායකයින් අතුරින් අපට දැන්  ඉතිරි වී සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණය. නායකයින් නැති තත්වයක් ඉදිරියේ, ඉතිරිවී සිටින එම නායකයාගෙන් නිසි ප්‍රයෝජන ගැනීම රටේ වගකීමකි.

 

ජනාධිපතිට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝගයන්ගේ තරම විශාලය. එසේම ඉතා සංකීර්ණය. ඔහුට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ දූෂිත ක්‍රමයක් තුළය.

අනෙක් වැදගත්ම කාරණය වනුයේ ජනාධිපතිට වැඩ කරන්නට සිදුවී තිබෙන්නේ තමන්ගේ මන්ත්‍රී කණ්ඩායමක් නැතිව මුළුමනින්ම වෙනත් පක්ෂ වල මන්ත්‍රී වරුන් මත පදනම් වෙමිනි.

එවැනි ගමනක් අතුරේ යන ගමනකටත් වඩා දුෂ්කර සේම අවදානම් සහගතය. ඔහු ඇද වැටුනොත් ඇද වැටෙන්නේ තනිව නොව රටත් සමගය. ඔහුට හිනැහෙන අය ඒ බවද අමතක නොකළ යුතුය.

 

දූෂණය මහජනයාගේ බලවත් කෝපයට හේතුවී තිබෙන ප්‍රවණතාවයකි. විශේෂයෙන් පුද්ගලයින් තනතුරුවලට පත් කිරීමේදී සුදුසු හා අදූෂිත පුදගලයන් පත් කිරීමට අසමත් වෙතොත් එය ජනාධිපතිගේ ප්‍රතිරූපය දුර්වල කොට රටේ අර්බුදය ජයගැනීමට තිබෙන හැකියාවද දුර්වල කිරීමට හේතු වනු ඇත.

 

මා වඩා වැදගත් කොට සලකනුයේ ක්‍රමයේ යහපත් හා ගැඹුරු වෙනසක් ඇතිකිරීමට අවශ්‍ය කරන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ වැඩසටහනකට දොරටු විවෘත කරන්නේ ද යන කාරණයයි. රටේ සැබෑ පරිවර්තනයක් ඇති කල  හැක්කේ ඒ මඟින් පමණය.

ප්‍රවර්තක බලයක් සමග රට නැගී සිටින තැනකට ගත හැකි වනු ඇත්තේ එවිටය.

වැඩ වසම් කුල ක්‍රමට තිබෙන පිළිගැනීම නැති කොට සියළු වාර්ගික, ආගමික, ලිංගික හා සංස්කෘතික සමාජ කණ්ඩායම් වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් සහතික කෙරෙන ආකාරයට ලාංකේය ජාතිය ගොඩ නැගීමෙන් පමණක් ලංකාවට අත්පත් කරගත හැකි ප්‍රගතියේ තරම අති විශාලය◼️


CHGDFG(වික්ටර් අයිවන් )
ප්‍රවීන දේශපාලන විශ්ලේෂක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(වික්ටර් අයිවන් ගේ ෆේස්බුක් පිටුවෙන්..)



සබැඳි ලිපිය:
රනිල්ගේ ඉරණම ! - (Victor Ivan)
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා