නොවැම්බර් දෙවෙනිදා පැවති ආණ්ඩුවේ මර්දනයට එරෙහි ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරය වැදගත් දේශපාලන සංඥාවන් කිහිපයක් එකවිට රැගෙන

එන්නට සමත් විය.

 

එක් අතකින්, වත්මන් පාලනාධිකාරය තම මර්දනීය පිළිවෙත වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොදක්වන බව යළිත් වරක් සනාථ කළේය. අනෙක් අතින්, වෙනස් දේශපාලන ස්ථාවරයන් දරන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් මර්දනයට එරෙහි ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සංකේතවත් විය. ඒ අතුරින්, වඩාත් කැපී පෙනෙන වර්ධනයක් වූයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු රැඩිකල් වාමාංශය පොදු ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය ඇතුළු දක්ෂිණාංශික කණ්ඩායම් සමග වැඩ කරන්නට කැමැත්ත පළ කිරීමයි.

 

Sajith Premadasa 2022.11.02 1 768x401

 

රැඩිකල් වමේ පැත්තෙන් ගත් විට මෙය බොහෝ දෙනෙකු මවිතයට පත් කරමින් කළ අනපේක්ෂිත සහ අසම්ප්‍රදායික හැසිරවීමකි. බොහෝ විට මෙවන් දේශපාලන හැසිරවීමක් අපේක්ෂා කෙරෙනුයේ මධ්‍ය-වාමාංශයේ පැත්තෙන් වුවද, ජවිපෙ/ජාජබ නායකත්වය සෙසු විපක්ෂයේ කොටස් සමග ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළැඹීම ප්‍රතික්ෂේප කළ තත්ත්වයක් යටතේ පෙරටුගාමීන්ට තීක්ෂණ ලෙස ක්‍රියාකාරී වෙමින් දේශපාලන ප්‍රධාන ධාරාව තුළ එවන් අසම්ප්‍රදායික හැසිරවීමක් කළ හැකි විය.


දෙවෙනිදා විරෝධතාව තුළ විවිධ මතබේදකාරී සිදුවීම් සිදු වුවද, අනාගත දේශපාලනයේ ගමන් මග කෙරෙහි බලපාන වැදගත් නව පෙළ ගැසීමක් එයින් සලකුණු වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. න්‍යායික බසින් කිව හොත්, රැඩිකල් වම හෙජමොනික දේශපාලනය තුළ තම පෙනී සිටීම සලකුණු කර ගන්නා අතර, මධ්‍ය-වම සාපේක්ෂ හුදෙකලාවකට ලක් විය. මේ වනාහී දකුණේ පැත්තෙන් මෑතකාලීනව රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරන ලද ආකාරයේ 'පොතේ නැති' ඇදීමක් වමේ පාර්ශවයෙන් සිදු කිරීමකි.


මේ සමග මෙතෙක් කලක් පාර්ලිමේන්තුවාදී මධ්‍ය-වමට සහයෝගය ලබා දුන් ඇතැම් සිවිල් සමාජ කොටස් අතර කිසියම් ව්‍යාකූලභාවයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනේ. රූපිකව කිව හොත්, 2015 දී දේශපාලනයේ ජනප්‍රිය ධාරාව තුළ නොසිටි පෙරටුගාමී වම අද වන විට නිසැකවම සිටින්නේ ජාතික දේශපාලනයේ වැදගත් හැසිරවීම් සිදු කළ හැකි තත්ත්වයකය. නමුත්, එය ජාතික දේශපාලනයේ අද්දර සිට මධ්‍යයට ප්‍රවේශ වෙමින් සිටින්නේ තම වාමාංශික දැක්ම සහ ස්ථාවරයන් සම්මුතිගත කරමින් නොවේ. හරියටම නොවැම්බර් දෙවෙනිදා විරෝධතාවට දිනකට පෙර කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලද මහජන කවුන්සිල ගොඩ නැගීමේ ව්‍යාපාරයේ සම්මේලනය මගින් සංකේතවත් කරන ලද්දේ එයයි.

 

මහජන කවුන්සිල ව්‍යාපාරය ඔස්සේ වාමාංශික ජනතාවාදී විසඳුමක් - (සුමිත් චාමින්ද)

 

මෙසේ දක්ෂිණාංශිකව රූපාන්තරණය නොවී නව ආකාරයක වාම ප්‍රති-හෙජමොනික දේශපාලනයක යෙදීමට පෙරටුගාමී වමට හැකිව තිබෙන්නේ එක් අතකින් අරගලය විසින් විවෘත කරන ලද නව දේශපාලන අවකාශය තුළ ක්‍රියාකාරී වීමෙනි; අනෙක් අතින් මහජන කවුන්සිල ව්‍යාපාරය මගින් සංඥා කෙරෙන පරිදි, ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් පිළිබඳ නව උපායමාර්ගික හැරවුමක් ගැනීමෙනි. මෙම නව හැරවුම විසින් මෙතෙක් තමන් දෙස නොබැලූ තම කාඩරයෙන් සහ පාක්ෂික ජාලයෙන් පිටත සමාජය ආමන්ත්‍රණය කිරීමේ ශක්‍යතාව පෙරටුගාමී වම විසින් අත්පත් කර ගනිමින් තිබේ.   



විශ්වීයත්වය සහ සංකේතීය හිණිමග


දකුණ බවට රූපාන්තරණය නොවී හෙජමොනික දේශපාලනයේ යෙදෙන්නේ කෙසේද යන්න වත්මන් යුගයේ වමේ දේශපාලනය හමුවේ ඇති මූලධාර්මික ගැටළුවකි. මෑතකදී ජීවන්ත පියතුමා විසින් මහජන කවුන්සිල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමග සංවිධානය කරන ලද සාකච්ජාවකදී මගෙන් මේ ප්‍රශ්නය විමසනු ලැබිණ.


මගේ අවධාරණය වන්නේ පවත්නා යථාර්ථ ලෝකයේ රාමුවෙන් පිටත පවත්නා වඩා පරමාදර්ශී නොහොත් විශ්වීය අරමුණක් පිළිබඳ අදහස වමේ දේශපාලනය තුළ සෑම කලෙකම පැවති (සහ පවතින) බවයි. දේශපාලනයේදී එවන් යථාර්ථයට වඩා වූ දෙයක් පැවතීම ඉතාම වැදගත්ය. මන්ද යත්, මිනිසුන් අනුරාගිකව බැඳෙන්නේ තමන්ට පහසුවෙන් අත්පත් කර ගත හැකි දේ සමග නොව අත්පත් කර ගැනීමේ සිතිජයෙන් පිටත පවත්නා 'වඩා වූ දෙය' සමගය. එය අත්පත් කරගත හැකි යැයි අප සිතූවද කිසිදාක එය සම්පූර්ණයෙන්ම අර්ථවත් කර ගන්නට අපට නොහැකිය. හරියට පෙමින් බැඳෙනවා වැනිය.


එය පවතින්නේ අපගේ තාර්කික බුද්ධියට එපිටින්ය. අප කවුරුත් දන්නා පරිදි, විශේෂයෙන්ම 1989 දී බර්ලින් තාප්පය බිඳ වැටීමට පෙර පැවති ලෝක ක්‍රමය තුළ මෙම යථාර්ථයට 'වඩා දෙය' අත්පත් කරගැනීම පිළිබඳ දේශපාලන ලාළසාව වමේ විවිධ ප්‍රවණතා තුළ පැවතිණ. නමුත්, ඊනියා සැබවින්ම පැවති සමාජවාදය බිඳ වැටුණු පසුව වාමාංශිකයින් බහුතරයකගේ විශ්වීය ප්‍රාර්ථනාව නොහොත් කොමියුනිස්ට් සමාජය පිළිබඳ අදහසද ප්‍රශ්න කිරීමට ලක් විය.


එසේ වූයේ මන්ද? මෙම ඓතිහාසික අත්දැකීම මගින් අපට උගන්වනු ලබන වැදගත්ම න්‍යායික පාඩම වන්නේ විශ්වීයත්වය පිළිබඳ අදහසක් පැවතීම පමණක් දේශපාලනයට ප්‍රමාණවත් නොවන බවයි. එම විශ්වීයත්වයත් අපගේ දෛනික ජීවිතයේ ආසන්න යථාර්ථයත් සම්බන්ධ කරන්නා වූ කිසියම් මධ්‍ය ලක්ෂ්‍යයක්ද වුවමනා බවයි. වෙනත් වචනවලින් කිව හොත්, පවත්නා සංකේතීය යථාර්තයේ රාමුවට පිටතින් පවත්නා දෙය වෙතට දිශානත වූ කිසියම් සංකේතීය හිණිමගක්ද වුවමනාය. (අර්නෙස්ටෝ ලැක්ලාවූ 'හෙජමොනික බැම්ම' ලෙස හඳුන්වන්නේ එයයි). විශ්වීය පරමාදර්ශය පිළිබඳ පොරොන්දුව සැබෑ කරගත හැකි යැයි මිනිසුන්ට ඒත්තු යන්නේ එවිටය.

 

jesus sermon mount

 

විශ්වීයත්වය සමග දෛනික ජීවිතයේ යථාර්ථය සම්බන්ධ කරන ක්‍රිස්තියානි සංකේතය වන ජේසුස් වහන්සේ මේ සඳහා නිදසුනකි. ඔහු මෙලොව ජීවිතය තුළ දිව්‍යත්වය නියෝජනය කළද, අප වැනිම මනුෂ්‍යයෙකුද වේ. ජීවන්ත පියතුමා කදිමට පැහැදිලි කළ පරිදි, ජේසුස්ගේ පණිවිඩය එකල ඊශ්‍රායලය තුළ ප්‍රචලිත වූයේ එය පැවති පීඩාකාරී දේශපාලන ක්‍රමයෙන් ගැලවීමේ පොරොන්දුවක් වූ බැවිනි. සාමූහික විමුක්තිය පිළිබඳ සමාජයීය බලාපොරොත්තුව එයින් සංකේතවත් කෙරිණ.  


මේ සාකච්ජාවට මා එකතු කරන්නට කැමති කාරණය වන්නේ විශේෂයෙන්ම දේශපාලනයේදී එම පොරොන්දුව මිනිසුන්ට ඒත්තු යන සුළු එකක්ද විය යුතු බවයි. පෙරෙයිට්‍රොයිකාවට පෙර යුගයේ බොහොමයක් වාමාංශිකයින් හට විප්ලවීය පක්ෂයේ නායකත්වයෙන් කෙරෙන සමාජ විප්ලවය නමැති පොරොන්දුව නොහොත් සංකේතීය හිණිමග එසේ ඒත්තු යන සුළු එකක් විය. නමුත්, සමාජ විප්ලවය පිළිබඳ සංකේතීය හිණිමග බිඳ වැටුණු පසුව වමේ බොහෝ කොටස් කළේ විශ්වීයත්වය පිළිබඳ අරමුණ මුළුමනින්ම අතහැර දමා පවත්නා යථාර්ථ රාමුව තුළම යම් යම් වෙනස්කම් කිරීමේ දේශපාලනයකට සීමා වීමයි.


එක්සත් ජනපදයේ ටෝනි බ්ලෙයාර්ගේ තුන්වැනි මාවතේ සිට ලංකාවේ ජවිපෙ/ජාජබ දූෂණවලින් තොර යහපාලනයක් ගොඩ නැගීමේ දේශපාලනය දක්වා නිදසුන් ගණනාවක් ඒ සඳහා සැපයිය හැකිය. නොඑසේනම්, බහුතර ජන්දයෙන් බලය දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් පවත්නා අධිපති ජනවාර්ගික, ආගමික, පන්තිමය, සමාජ-ලිංගික යනාදී සබඳතා සමග ක්‍රම ක්‍රමයෙන් අනුගත වීමේ දේශපාලනයක් ලෙසද එය හැඳින්විය හැකිය. මා මින් පෙරද පෙන්වා දී ඇති පරිදි, ඒ ආකාරයෙන් බලය දිනාගත හැකි වුවත්, එසේ බලය කරා යන ගමනේ කෙළවරදී වමේ නායකත්වය දක්ෂිණාංශික පාලකයෙකු බවට රූපාන්තරණය වී සිටිනු ඇත.                                  


වමේ හෙජමොනික උපායමාර්ග දෙකක්


01fcd8d5 f51f 4211 b2fe e9535b820299ස්ලේවෝයී ශිෂෙක්ස්ලේවෝයී ශිෂෙක් පෙන්වා දෙන පරිදි වාමාංශය විසින් දේශපාලනයේ විශ්වීයත්වය පිළිබඳ මානය අත් හළ විට එම ස්ථානය අත්පත් කර ගනු ලැබුවේ අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදීන් විසිනි. "එක්සත් ජනපදය යළිත් ශ්‍රේෂ්ටත්වයට පත් කිරීම", "ඉන්දියාව රාම රාජ්‍යයක් කිරීම", "ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම" යනාදියෙන් සංකේතවත් වූයේ එයයි. එපමණක් නොව, දේශපාලනය තුළ අත් හැර දමන ලද පවත්නා යථාර්ථයට වඩා දෙයක් පිළිබඳ වූ අපේක්ෂාව වෙළඳ දැන්වීම් ලෝකය විසින්ද සාර්ථකව අත්පත් කරගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි. ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිව හොත්, පාරිභෝජනවාදය අපගේ දෛනික ජීවිතයේ ආගමක් බවට පත් වූයේ කෙසේදැයි වටහාගැනීමේදී ඒ කාරණයද අදාළය.


දේශපාලනය හුදෙක් "දූෂණ හා වංචා පිටුදැකීම", "ධනවාදය කළමනාකරණය කිරීම", "යහපාලනය ඇති කිරීම" යනාදී තේමාවලට සීමා කිරීමේ ගැටළුව වන්නේ දේශපාලනයේ වඩා රැඩිකල් මානය වන 'විය නොහැකියාව' සඳහා අරගල කිරීම එයින් මග හැරී යාමයි. එවන් දේශපාලනයක් වඩ වඩාත් සබුද්ධිකවාදී වීම වැළැක්විය නොහැකිය. මන්දයත්, එය ගණුදෙණු කරන්නේ මිනිසුන්ගේ තර්ක බුද්ධිය සමග මිස හැඟීම් සමග නොවන බැවිනි. එවිට වඩා බලවත් හා ආකර්ශනීය හැඟීම්වල දේශපාලනය අන්ත-දක්ෂිණාංශයේ ඒකාධිකාරයට ලක් වීම අපේක්ෂා කළ යුතුය. ආරම්භයේ සිට මේ දක්වාම ජාජබ දේශපාලනයේ ප්‍රධාන ගැටළුවක් වූයේ මෙසේ දේශපාලනය වඩ වඩාත් සබුද්ධිකකරණයට ලක් කිරීමයි. එය නාගරික හා අර්ධ නාගරික උගත් වැදගතුන්ගේ සහ වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම මේ අනුව පුදුමයට කරුණක් නොවේ.


මීට වෙනස්ව, පෙරටුගාමී වාමාංශය ප්‍රයත්න දරමින් සිටින්නේ විශ්වීයත්වය පිළිබඳ තම ප්‍රාරම්භක අදහස පවත්වා ගන්නා අතරම ප්‍රති-හෙජමොනික දේශපාලනයේ නිරත වීමටය. නමුත්, එම අදහස සමග මිනිසුන්ගේ දෛනික ජීවිතයේ යථාර්ථය සම්බන්ධ කරන්නා වූ මධ්‍ය-ලක්ෂ්‍යයක්, හෙජමොනික බැම්මක් නොහොත් සංකේතීය හිණිමගක් මෑතක් වනතුරුම ඔවුන් සතුව තිබුණේ නැත. එබැවින්, පිටත සමාජයට ඔවුන්ව දිස් වූයේ බොහෝ විට යථාර්ථවාදී නොවන සිහින දකින්නන් පිරිසක් ලෙසිනි. විශේෂයෙන්ම අරගලයේ පළමු අදියරෙන් පසුව පෙරටුගාමී වම ජයගනිමින් සිටින්නේ මෙම න්‍යායික සහ ප්‍රායෝගික බාධාවයි. 


මහජන කවුන්සිල පිළිබඳ අදහස දැන් වමේ සාම්ප්‍රදායික කවයෙන් පිටත කිසියම් පිරිසකට ඒත්තු යන සුළු යෝජනාවක් වීමෙන් පෙනී යන්නේ එයයි. මෙම සංකේතීය හිණිමග සහ කොමියුනිස්ට් පරමාදර්ශය එකිනෙකට සම්බන්ධ කෙරෙන කතාන්දරය තවමත් පැහැදිලිව ගොඩ නගා නොමැති බවද ඒ අතරම කිව යුතුව තිබේ.
 
 
එසේම, තවමත් රාජ්‍ය බලය පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීමේදී මහජන කවුන්සිලය පිළිබඳ අදහසෙහි කිසියම් සීමාවක් ප්‍රදර්ශනය වේ. මේ සීමාව ජයගැනීම සඳහා මා යෝජනා කරන්නේ ද්විත්ව ක්‍රියාමාර්ගයකි. පළමුව, මහජන කවුන්සිලය ප්‍රාදේශීය තලයෙහි සංවර්ධන සැලසුම් සකස් කරන සහ ක්‍රියාවට නගන ප්‍රතිජනනාත්මක දේශපාලන ආයතනයක් බවට පත් කළ යුතුය. දෙවනුව, ප්‍රාදේශීය මහජන කවුන්සිල මගින් මැතිවරණ සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමේ අවකාශය (ඔවුන්ව නැවත කැඳවීමේ බලය සහිතව) විවෘතව තබා ගත යුතුය.
 
 
අවසන් වශයෙන් කිව යුත්තක් නම්, ජවිපෙ/ජාජබ සහ පෙරටුගාමීන් අතර මේ දිනවල පවතින විවාදය වනාහී සැබෑ නොහොත් සුපිරිසිදු වම බවට පත්වීමට ඔවුන් අතර පවතින තරඟයක් ලෙස හඳුනාගැනීම සහමුළින්ම වැරදි බවයි. සැබවින්ම සිදුවෙමින් පවතින්නේ එහි අනෙක් පැත්තයි. එනම්, දෙපිරිසම දැන් හෙජමොනික දේශපාලනයට පිවිස තිබෙන අතර එකිනෙකට වෙනස් හෙජමොනික උපායමාර්ග දෙකක් ඉදිරිපත් කර තිබේ. තරඟය පවතින්නේ ඒ අතරය. එම තරඟයේදී දෙපිළම අනෙකාට එරෙහිව වාම සුපිරිසිදුභාවය පිළිබඳ ඉපැරණි චෝදනාව මාරුවෙන් මාරුවට දමා ගසනවා පමණි. වචනවලින් කුමක් කීවද, නොවැම්බර් දෙවැනිදා ඒකාබද්ධ විරෝධයෙන් සංකේතවත් වන්නේ පෙරටුගාමී වාමාංශය හෙජමොනික දේශපාලනය තුළ තම පෙනී සිටීම කැපී පෙනෙන ලෙස සටහන් කිරීමක් මිස අන් යමක් නොවේ.                                        


පක්ෂය, මහජන ව්‍යාපාරය සහ පොදු ජනාවබෝධය - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්