‘‘පීඩිතයින්ගේ ශ්‍රේෂ්ඨ මානවවාදි සහ ඓතිහාසික කාර්යභාරය මෙයයි: තමන්ගේ විමුක්තිය ලබන අතරම පීඩකයන්ට ද විමුක්තිය ලබා දීමයි. පීඩකයන්,

පීඩාවෙහිද, දූෂණයෙහිද, සූරා කැමෙහිද යෙදෙන්නේ තමන් සතු බලයෙනි. නමුත් පීඩිතයන්ට හෝ තමන්ට විමුක්තිය ලබා දෙන්නට මෙම බලය ශක්තිමත් නොවේ. දෙගොල්ලගේම විමුක්තිය ලබා දීමට අවශ්‍ය ශක්තිය ඇත්තේ පීඩිතයන්ගේ දුර්වලභාවයෙන් උපදනා වු ශක්තියට ය. පීඩිතයන්ගේ දුර්වල භාවය සැලකිල්ලට ගෙන පීඩකයන්ගේ බලය ‘‘දයාවෙන් මොලොක්’’ කිරීමට ගන්නා උත්සාහයන් හැමවිටම සාවද්‍ය පරිත්‍යාගශීලී ස්වරුපයක් ගනී. එම උත්සාහයේ ප්‍රතිඵලය මින් එහාට නොයයි. තම දයා කරුණාව ප්‍රකට කිරීම සඳහා අවස්ථාව ලබාගැනීමට නම් පීඩකයන්ට තම අසාධාරණත්වය ද දිගින් දිගටම පවත්වාගෙන යා යුතු ය. එහෙයින් මෙම මානව දයා කරුණා පරිත්‍යාගශීලිත්වයේ උල්පත, අසාධාරණ සමාජ ක්‍රමය ම වෙයි. එම ක්‍රමය පෝෂණය වන්නේ දුගීබව, අපේක්ෂා භංගත්වය හා මරණවලිනි. එම නිසා මෙම ව්‍යාජ දයා කරුණා පරිත්‍යාගශීලිත්වයේ (ව්‍යාජ මානව ප්‍රේමයේ) උල්පත වන්නා වූ, අසාධාරණ සමාජ ක්‍රමයට තර්ජනයක් එල්ල වූ විගස පීඩකයෝ මහත් සේ චකිතයට පත්වෙති’’


- PAULO FREIRE: PEDAGOGY OF THE OPPRESSED: සංවාදය සංවිධානය සහ විප්ලවය: පරිවර්තනය: සයිමන් නවගත්තේගම; පිටු 02,03: සංවර්ධන අධ්‍යන ප්‍රකාශන සමාගම: 1997 දෙසැම්බර්


හරියට ම අදට සතියකට කලින්... ඒ කියන්නෙ පහු ගිය 23වෙනිද ‘‘ගොඩයමු’’ යන මැයෙන් ක්‍රියාත්මක දේශපාලන හෝ සමාජ සංවිධානයක් විසින් ඔවුන්ගේ තේමා ගීතය එළිදක්වනු ලැබීමත් සමග අදාළ සංවිධානයේ මුඛ්‍ය අරමුණු පිළිබඳව මෙම වෙබ් අඩවියේ ම පළ වෙලා තිබුණු පුවතක් සම්බන්ධයෙන් කිසියම් අදහසක් ලියන්න හිතුණ. ඇත්තට ම ඒක මගේ අදහසක් ලියන එකක්මත් නෙවෙයි. අදාළ සංවිධානයේ අරමුණු පිළිබඳව මට හැඟෙන අදහස් එහෙමත් නැතිනම් ප්‍රශ්න කිහිපයක් ඔවුන්ගෙන් විමසන්න.


ඊට කලින් මම කැමතියි ඉතා කෙටි ඉතිහාසයක් සිහිපත් කරන්න. ඒක මෙහෙමයි. 2022/අගොස්තු/ 25වෙනිද ‘‘මට සිහිනයක් ඇත’’ යන තේමාව යටතෙ කොළඹ මහවැලි කේන්ද්‍රෙය් රැස්විමක්... එහෙමත් නැතිනම් සම්මන්ත්‍රණයක් තිබුණ. ඒ ගැන අමතක අයට පහත ලින්ක් එකෙන් ඒක ආයෙත් සිහිපත් කරගන්න පුළුවන්. ඒ වගේ ම එදා එහි පැමිණි අය වෙත අත් පත්‍රිකාවක් ද බෙදාහැරියා අවශ්‍ය කෙනෙකුට. මෙහි දැක්වෙන ඡායාරූපයෙන් එය ද යළි කියවන්න පුළුවන්.

I M 00

I M 01


දැන් මේ ලිපිය කියවන්න හදන අය හිතනව ඇති ‘‘ගොඩයමු’’ සංවිධානය ගැන ලියන ලිපියකට ‘‘මට සිහිනයක් ඇත’’ සංවිධානය ඈඳාගන්නෙ ඇයි කියල. ඔවු... එහෙම ඈඳාගන්නෙ ම ප්‍රශ්නයක් තියෙන නිසා. පළමු ප්‍රශ්නය තමයි දැන් ඒ ‘‘මට සිහිනයක් ඇත’’ සංවිධානය කෝ... ඒකට මොකද වුණේ...?

මෙහෙම අහන්නෙ: ඒ සංවිධානය මෙහෙයවන්නෙ කවුද, ඒ සංවිධානයෙ අරමුණ මොකක් ද, ඒ සංවිධානයට වියදම් කරන්නෙ කවුද, ඒක රනිල්ගෙ ව්‍යාපෘතියක් ද වගේ පටු තැනක ඉඳගෙන නෙවෙයි. මම ඒක අහන්නෙ ජනතා විමුක්ති පෙරමුණ, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය සහ ජාතික ජනබලවේගය කියන සංවිධාන පිළිබඳ ප්‍රශ්න කරන තරම් ම ගැඹුරෙන්. 2011 වසරට කලින් නම් මේකට ම ‘‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය’’ කියන නමත් ඈඳාගන්න තිබුණ. නමුත් දැන් එහෙම ඈඳා ගන්න එකේ තේරුමක් නැහැ. මොකද දැන් ‘‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය’’ කියන්නෙ කවුද කියන එක මුළු රට ම විතරක් නෙවෙයි මුළු ලෝකෙම දන්න නිසා.


මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත' ! - සම්මන්‍ත්‍රණය අගෝ. 25දැන් ආයෙත් එන්නම් ලිපියේ මුඛ්‍ය අරමුණට. යට කියපු, පසු ගිය අගෝස්තු 25වෙනිද මහවැලි කේන්ද්‍රෙය තිබුණ රැස්වීම හෝ සම්මන්ත්‍රණයට අසීරුවෙන් වුනත් මමත් සහභාගි වුණා. ඒ අදාළ සංවිධානයෙ පැටිකිරිය හරි ජාතකය හරි හොයන්න තියෙන වුවමනාවකට නෙවෙයි. ඇත්තට ම මේ රට වෙනස් කරන්න ඕන කියන අදහස කාලයක් තිස්සෙම හිතේ කැකෑරෙන නිසා; ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් ද කියන අදහසෙන්. නමුත් ඒ රැස්වීම හෝ සම්මන්ත්‍රණය ඇතුළෙ එහෙම ලොකු වෙනසක් සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ නැහැ. එහිදි මගේ අවධානය ටිකක් හරි යොමු වුණේ චින්තා (චින්තන ධර්මදාස) ඉදිරිපත් කරපු සමහර අදහස්වලට විතරයි. ඒ අදහස් අතරෙනුත් චින්ත ඉදිරිපත් කරපු ‘පාපැදි’ හෙවත් ‘foot cycle’ සංකල්පය ගැන වැඩේ ඉවර වෙලා හුඟ දෙනෙක් කතා කරා. හැබැයි මගේ අදහස නම් ඒ අදහස අපිව ආපස්සට ඇදගෙන යන සංකල්පයක් කියල. අනෙක චින්ත කියන විදියට ඒ සංකල්පය ලෝකෙ දියුණු රටවල ක්‍රියාත්මක වුණාට ලංකාවට ගැළපෙන්නෙ නැහැ. මොකද ඒ වැඩේට වුවමනා යටිතල පහසුකම් ලංකාවෙ නැහැ. එහෙම ක්‍රියාත්මක කරනවා නම් පළමුවෙන් කරන් ඕනෙ ඒ ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සපයන එක. නමුත් ලංකාවෙ ආර්ථිකය මේ වෙලාවෙ හොම්බෙන් යද්දි පාපැදි සංකල්පය යථාර්ථයක් කරන්න පුළුවන් විදියෙ යටිතල පහසුකම් සපයන්න විදියක් නෑ. මේ රටේ බුතරයක් දෙනා පාපැදියෙන් රස්සාවට යන්න ගියොත් රටේ ජනගහනය අඩුවෙන එක නම් සිද්ධවේවි. ඒ කොහොමද කියන ගොන් ප්‍රශ්නය නම් අහන්න එපා.

 

එදා චින්ත කියපු විදියට අපි දැන් හරිම සරල වෙන්න ඕන. මං අහන්නෙ ධනවාදි යැයි කියන ආර්ථික රටාවක් පවතින රටක මිනිස්සු ඇයි සරල වෙන්න ඕන...? අනෙක මේ ආර්ථික ක්‍රමය මේ රටේ මිනිස්සු ඉල්ලපු එකක් නෙවෙයි. ජේ. ආර්. ජයවර්ධන විසින් බලහත්කාරයෙන් අපේ රටට ඇතුළත් කරපු එකක්. ඒක හරියට ම අශෝක අධිරාජ්‍යයා මිහිඳු හාමුදුරුවො හරහා ලංකාවට බුද්ධාගම ඇතුළත් කරා හා සමානයි. දැන් ලංකාවෙ සිද්ධ වෙන බොහෝ ව්‍යසනවලට ඔය කියන විවාත ආරථිකය වගේ ම බුද්ධාගමත් අනෙක් හැම ආගමක් ම බලපානවා.

 

ඉතිං ජේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය අපි මත බලෙන් පැටෙව්වට ඒක කළමනාකරණය කරගෙන යන වැඩපිළිවෙළක් හඳුන්වල දුන්නෙ නෑ; ක්‍රියාත්මක කරේ නෑ. සිද්ධ වුණේ මහාපරිමාණ ව්‍යාපාරිකයො ටිකක් එකතු වෙලා එයාලගෙ ව්‍යාපාර දියුණු කරගන්න සහයෝගය දක්වන සහ දක්වපු දේශපාළුවො ටිකකට රටේ පාලන බලය අරන් දීපු එක විතරයි. එතනදි මිනිස්සුත් බල්ලො මරල හරි විතරක් නෙවෙයි අම්ම, අක්ක, නංගි වගේ ම දුව වුනත් විකුණල පරිභෝජනවාදය බදල වැලඳගන්න පුරුදු වුණා. එහෙව් එකේ දැන් අපිට ආයෙත් සරල, චාම්, අල්පේච්ඡ ජිවිතයකට හුරුවෙන්න බෑ. හැබැයි නැති බැරි පංතියට ඒකෙ අවුලක් නෑ. මොකද ඒ පුද්ගලයො එදා ජීවත් වුනෙත් සරලව, අද ජීවත්වෙන්නෙත් සරලව. එහෙමයි කියල අවුරුදු ගණනාවක් තමන්ගෙ කියල පුද්ගලික වාහනයක ගමන් බිමන් ගිය මිනිහට එකපාරට ම පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්න බෑ. ඒක මහපොළොවෙ යථාර්ථයක්. චින්ත කියන්නෙ දැන් එයා කාර්යාලයට යන්නෙ ෆුට් සයිකලේ කියල. හැබැයි හැම කාර්යාල සේවකයෙකුට ම සේවිකාවකට ම ඒක කරන්න බෑ. විශේෂයෙන් ම කාන්තා පාර්ශ්වය.  


දැන් චින්තගෙ සංකල්ප ගැන ලියන්න ගිහින් මුඛ්‍ය කාරණය යට යන්න එනව වගේ නේද...? නෑ... එහෙම වෙන්නෙ නෑ. මං චින්තගෙ කතාව ගෙනාවෙ පොඩි උදාහරණයකට. මොකද අපි යමක් ආරම්භ කරද්දි අවම වශයෙන් ටිකක් හරි ඊට සම්බන්ධ අතීත සිදුවීමක් දෙකක් සිහිපත් කරන්න ඕන. නැතිනම් හරියට ට්‍රැක් එකට වැටෙන්නෙ නෑ.

 

ගොඩයන කට්ටිය වැඩ පටන් අරගෙන !


හරි... දැන් අපි ආයෙ එමු ‘‘ගොඩයමු’’ වෙතට. මං මුලදි ම කිව්වනෙ අර ‘‘මට සිහිනයක් ඇත’’ සංවිධානයේ පැටිකිරිය අදාළ නැහැ කියල. හැබැයි ටික දවසක් යද්දි ඒක එහෙම නොකර ඉන්න බැරි වෙනව. මොකද පස්සෙ පස්සෙ ඒ සංවිධානයට සම්බන්ධ වෙන පුද්ගල චරිත දිහා බලපුවම අර ආරම්භයෙදි දැකපු පිරිසට වඩා හාත්පසින් ම වෙනස් අදහස් දරන පිරිසක් සම්බන්ධ වෙනව. ඒක හරියට ම විග්‍රහ කරගන්න නම් එයාල නිදහස් චත්‍රරශ්‍රෙව පවත්වපු රැස්වීම ගැන ආයෙ ටිකක් හිතල බලන්න. මම නම් වශයෙන් ලියන්නෙ නෑ. හැබැයි එතන හිටපු බොහෝ දෙනෙක් පසුගිය කාලෙ ගෝඨාභය රාජපක්ෂට වැඩ කරපු අය. කවුරු හරි කියන්න පුළුවන් ‘‘ඔවු එයාල කලින් වැඩ කරේ ගෝඨාභයට තමයි හැබැයි දැන් එහෙම නෑ’’ කියල. ඒ වුනාට මගේ දේශපාලන අත්දැකීම් එක්ක නම් ඒක එහෙම වෙන්න බැහැ.

 

මොකද මේ රටේ දේශපාලනය කියන්නෙ හරියට දහඅට පාලිය වගේ එකක්. මොකද දහඅට පාලිය නටල ඉවර වුණාම තමයි අපිට හරියට ම තේරෙන්නෙ මේ හැම මූණක් ම දාගෙන නටල තියෙන්නෙ එකෙක් දෙන්නෙක් කියල. ඉතිං එක එක කාලෙට එක එක වෙස් මුහුණු දාගෙන ඇවිත් නටන හැම කෙනෙක් ම අවසානෙදි සේවය කරල තියෙන්නෙ එක ම පාර්ශ්වයකට. හැබැයි ඒක තේරෙද්දි පෙරහැර ගිහින් ඉවරයි.

 

දැන් මේ වෙද්දි ‘‘ගොඩයමු’’ යනුවෙන් කරළියට ඇවිත් තියෙන්නෙත් අර මම කලින් සඳහන් කරපු ‘‘මට සිහිනයක් ඇත’’ කියපු අය ම නේද කියලයි මට නම් හිතෙන්නෙ. බලන්න... දැන් ‘‘මට සිහිනයක් ඇත’’ නැහැ නේද... මම දන්න තරමට නම් නෑ. ඒ අය ම තමයි එකපාරට ම ‘‘ගොඩයමු’’ කියාගෙන කරළියට ආවෙ. එදා ‘‘මට සිහිනයක් ඇත’’ කියාගෙන ආපු අය එදත් මේ ‘‘ගොඩයමු’’ කතාව කිව්ව. පුළුවන්නම් ආයෙත් ගිහින් ඒ රැස්වීම ගැන දාපු ප්‍රවෘත්තිය බලන්න. එතකොට ඒ සමානකම හොඳට තේරුම් ගන්න පුළුවන්.

 

මේ මතු දැක්වෙන්නෙ එදා ‘‘මට සිහිනයක් ඇත’’ කියපු දැන් ‘‘ගොඩයමු’’ කියන සංවිධානයේ මූලික ආර්ථික ප්‍රතිසංස්කරණ. පළමුවෙන් ම ඒ ටික කියවන්න.  


# සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම.

# රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම.

# පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම.

# ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ  බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය.

# ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.




හරි... දැන් ඔයාල ඒ යෝජනා ටික කියවන්න ඇති නෙ... මම කියන්නෙ නැ ඒ හැම යෝජනාවක් ම ඍණාත්මකයි කියල. හැබැයි ධනාත්මකයි කියන්නත් බැහැ. අපි එකින් එක විග්‍රහ කරගමු.



# සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම


ඔවු... ඇත්ත. හැම දෙයක් ම රජයෙන් ලබා දෙන්න ඕන කියන සුබසාධන මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕන තමයි. ඒ අදහසට මමත් පුද්ගලිකව එකඟයි. හැබැයි රටේ ජනගහනයෙන් 100%ටම මේ අදහසෙන් එක විටම ගැලවෙන්න පුළුවන් ද...? මගේ අදහස නම් බෑ. මොකද එහෙම ආර්ථික සංවර්ධනයක් මේ රටේ නැහැ. එහෙම නම් මිනිස්සු ඒ සංකල්පය අතහරින්න ඕන තරමට ආර්ථික සංවර්ධනයක් රටේ ඇති කරන්න ඕන. ඊට පස්සෙ පුළුවන් ජනතාවට යෝජනා කරන්න ‘‘ඔයාල හැම දෙයක් ම අපෙන් බලාපොරොත්තු වෙන්න එපා’’ කියල. ඒ නිසා ඔය කියන මානසිකත්වයෙන් මිදෙන්න කියල මිනිස්සුන්ට කියන්න කලින් ඊට අදාළ පසුබිම සකස් කරන්න කියල රජයට බල කරන්න ඕන. එහෙම නැතුව තුන් වේලක් කන්න ඕන නෑ දෙවේලට බස්සපන් කියල මිනිස්සුන්ට කිව්වට වැඩක් නෑ. හැබැයි දැන් සිද්ධ වෙන්නෙ ම ඒකනෙ. මේ අදහස ජනතාව අතරට ගෙනියන්න කලින් රට කරන එවුන්ට කියන්න ඕන අඩුම ගාන වසර පහක් දහයක් ඇතුළතවත් ක්‍රමානුකුලව රටේ ආර්ථිකය නංවන විදියෙ ප්‍රතිපත්ති මාලාවක් හදන්න කියල; ඒ ප්‍රතිපත්ති මාලාව මොකක්ද කියල ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නෙත් මේ වගේ සංවිධානවලට. ආරම්භ කරන්න වුමනා එතනින්.
 

# රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම.
 

දැන් බලන්න මේ අදහස... රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කරන්න කියල කියන අතර ම කියනව රාජ්‍ය අංශ කාර්යක්ෂම කරන්නලු. ඇත්තට ම රාජ්‍ය අංශයේ බඳවාගැනිම් ‘‘වහා නතර කරන්න’’ පුළුවන් ද... එතකොට වසරක් පාසා විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගෙ පුරප්පාඩු පිරෙන්නෙ කොහොම ද... අපි හිතම ඉදිරි වසරක ජනවාරි පළමුවන දින ඉඳල රාජ්‍ය සේවකයන් බඳවා ගැනීම වහා ම නතර කරා කියල. ඒ වසරෙම ජනවාරි පළමුවන දින රජයේ වෛද්‍යවරු තුන්සියක් විතර විශ්‍රාම යනව කියල හිතමුකො. එතකොට මොකද වෙන්නෙ...? එහෙම තත්ත්වයක් තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුළුවන් ද...?
 
 
නිකං අදහසක් ආව පළියට ඒක සමාජ ගතකරන්නෙ නැතුව අදාළ අදහසේ ප්‍රායොගිකත්වය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. මේ යෝජනාව ‘‘රාජ්‍ය සේවයේ අනිසි බඳවාගැනිම් වහා නතර කරනු’’ විදියට වෙනස් වෙලා ‘‘දැනට සේවයේ යෙදි සිටින සේවක පිරිසි නිසි කළමනාකරණයකට ලක් කරනු’’ වගේ යෝජනාවක් ගෙනාව නම් ඒක ප්‍රායෝගිකයි. එහෙම නැතුව උග්‍ර වාමාංශික අදහස් වගේ අදහස් යෝජනා කරල වැඩක් නෑ. එහෙම යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක රට ඇත්තෙත් නෑ.
 
 
# පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම.


බැලු බැල්මට නම් මෙම යෝජනාව ‘මරු’ කියල කාට හරි හිතෙන්න පුළුවන්. හැබැයි මේ රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම කියන්නෙ මොකක් ද... ඒ කියන්නෙ දැනට පවතින රාජ්‍ය ආයතන ජනතාවගෙ නෙවෙයි ද... අපි දන්නව 56 බලයට පත්වුණ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ප්‍රවාහන සේවය, වරාය බඳු ආයතන ‘ජනසතු’ කරා. දැන් මේ ‘ජනතාකරණය’ කියන්නෙ ‘ජනසතු’ කරනව කියන එක ද එහෙමත් නැතිනම් ජනතාව සතුව පවතින ආයතනයක් පුද්ගලීකරණය කරනව කියන එක ද...? මොකද වචනවලට මුවා වෙලා සාහිත්‍ය සෙල්ලම් දැම්මට දේශපාලන සෙල්ලම් දාන්න බැහැ. පළමුවෙන් ම අපි මේ ‘ජනතාකරණය’ කියන වචනයේ අරුත හොයාගන්න වෙනව. ‘ජනතා කරණය’ කියන්නෙ ‘ජනසතු’ කරනව කියන එක නම් මෙතෙක් ඒ ආයතන පැවතියේ ‘ජනතාව සතුව’නොවෙයිද කියන ප්‍රශ්නය එනව. හරි... අපි කියමුකො ඔය ‘ජනතාකරණය’කියන්නෙ ‘පුද්ගලිකරණය කරනව’කියන එකට වෙන නමක් කියල නේද...? එහෙම නම් අපි බලන්න ඕන ඇයි මේ ආයතන ‘ජනතාකරණය’ කරන්නෙ කියල. ඒකට හේතු හොයල ඒ වෙනුවෙන් කරන්න වුවමනා පිළියම් කරන් ඕන. එහෙම නැතිව ගහෙන් ගෙඩියක් වැටෙනව වගේ ‘ජනතාකරණය’ කරන්න ගියොත් පාඩු නොලබන ආයතනත් පාඩු ලබන ආයතන බවට පත්කරන්න මේ රටේ දේශපාළුවොන්ටයි නිලධාරින්ටයි මහ ලොකු කාලයක් යන්නෙ නෑ. ඔය දෙගොල්ලොම ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙයි කියනව වගේ එහෙම අවස්තා එනතුරු කල් මරමින් ඉන්න බව රට විතරක් නෙවෙයි ලෝකෙම දන්නව. ඒ නිසා මම යෝජනා කරනව මේ යෝජනාව ‘‘රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වය පත් කළ එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු’’ කියල වෙනස් කරනව නම් හොදයි කියල. මොකද ඕනෑම ආයතනයක් (විශේෂයෙන් ම රාජ්‍ය ආයතන) ලාබ ලැබීමේ අරමුණෙන් ම පවත්වාගෙන යන ආයතන නෙවෙයි. ඒව සේවා ආයතන. උදාහරණයක් විදියට ගත්තම: අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන යනාදි ආයතන. ඒ ආයතන ලාබ ලැබිය හැකි ආයතන නෙවෙයි. නමුත් ඒ ආයතන නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් රටේ දියුණුවට ඒක විශාල පිටුවහලක් වෙනව. ඒ මොනවද කියල වුවමනා නම් පස්සෙ කතා කරමු. දැනට කියන්න තියෙන්නෙ මේ ඊනියා ‘ජනතාකරණය’ වෙනුවට ‘ජනතාකරණය’ කරන්න වුණේ ඇයි කියල හොයල හේතුව නැති කරන්න කියල.
 

# ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ  බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය
 
 
මේ කාරණයෙත් දෙපැත්තක් තියෙනව. මොකද අපේ රටේ වැඩ සිද්ධ කරන්නේ මේ එක පාර්ශ්වයක් ගැන හිතල විතරයි. ඒකට හොඳම උදාහරණය අධිවේගි මාර්ග. අපි හිතමු අධිවේගී මාර්ග වුවමනාමයි කියල. එහෙම නම් කරන්න තියෙන්නෙ ඊට සුදුසු ම ක්‍රියාපටිපාටිය අනුගමනය කරන එකනෙ. නමුත් දැන් සිද්ධ වෙලා තියෙන්නෙ ඒක ද...? නැහැ. දැන් සිද්ධ වෙලා තියෙන්නෙ රටේ ජනතාවගෙ සියලු අවශ්‍යතා යටපත් කරමින් කරපු සහ කරන අධිවේගි ඉදිකිරීම් නෙ. ඒ ව්‍යෘපාතිවලදි මිනිස්සුන්ගෙ ඉඩ-කඩම්, ගෙවල්- දොරවල් විතරක් නෙමෙයි මනුෂ්‍යත්වය පවා අහිමි කරා. මහා ලොකුවට 2500ක සංස්කෘතියක් ගැන කතාකරන දේශපාළුවොයි චිවරධාරියොයි අධිවේගි මාර්ග පද්ධතිය නිසා අහිමි වුණ සංස්කෘතික යැයි ඒ අය ම පාරම්බාන උරුම ගැන මීක් කිව්වෙ නෑ. මාර්ගයක් සංවර්ධනය කරන්න ඕන වෙච්ච අවස්ථාවක කපුටු බෝ ගහක් කපන්න නොදුන්න චිවරධාරියො ගමේ පන්සල් ඉඩම මැදින් අධිවේගි පාර කපද්දි ගොළුවො වගේ හිටිය. ඉඳල ඒකට දිපු වන්දි මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කරා. එතනදි දැන් ඔය ගුරුවරියන්ගෙ සාරිය ගැන මැරෙන්න හදන එවුන් මොනවද කරේ...? හාමුදුරුවරුන්ගෙ සිවුර අස්සට වෙලා සද්ද නැතුව හිටිය. ඒ නිසා මේ යෝජනාව නරක නෑ. හැබැයි ඒ හැම එකක් අතරෙම හැම වෙලාවෙම මනුෂ්‍යත්වයට නිගා නොදෙන ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්න ඕන. ඒක සිංහල ද, දෙමළ ද, මුසල්මානු ද, බෞද්ධ ද, ක්‍රිස්තියානි ද, කතෝලික ද, හින්දු ද, ඉස්ලාම් ද කියන දේ අදාළ නෑ.
 
 
පරිසර විනාශය ගැන කිව්වත් එහෙමයි. රටක් දියුණු කරන්න නම් සමහර ප්‍රදේශවල කෑ කපන්න සිද්ධ වෙනව. හැබැයි අපේ රටේ ඒ වෙනුවෙන් තෝරාගන්නෙ ඊට සුදුසුම ප්‍රදේශ නෙවෙයි. ඒ වෙනුවෙන් තෝරගන්නෙ: නිධාන තියෙනවා කියල විශ්වාස කරන, විශාල මුදලකට අලෙවි කරන්න පුළුවන් වර්ගයේ ඉපැරණි ශාක තිබෙන, මැණික් පතල් කපන්න පුළුවන් වගේ ප්‍රදේශ තමයි තෝරගන්නෙ. මොකද එතකොට ඔය කියපු ජාවාරම් ස්වයංක්‍රියව ම කරගන්න පුළුවන් නිසා. රටක වන ගහනයක් පැවතිය යුත්තේ කෙසේද කුමන ප්‍රදේශවලද කියල ජාත්‍යන්තර නිර්නායකයක් පවතිනව. රටක් සංවර්ධනය කරද්දි අන්න ඒ නිර්නායක පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. එහෙම නැතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය වගේ සිය ගුණයක අයුතු ලාබයක් ලබන ආකාරයට පරිසර විනාශ කරන ක්‍රියාවලිය යි නතර කරන්න ඕනෙ. මේ යෝජනාව ක්‍රියාත්මක වෙන්න ඕනෙ අන්න ඒ පදනමෙන් මිසක ඊනියා වන විනාශ්‍ය, පරසර විනාශය, සංස්කෘතික විනාශය වගේ නිසරු කාරණාවලින් නෙවෙයි.
 

ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.
 

ඇත්තට ම මේ යෝජනාවෙ තියෙන්නෙත් යට සඳහන් යෝජනාවල ම දිගුවක්. ඒ යෝජනා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කෙරෙනවා නම් මේ යෝජනාව කියල වෙනම එකක් වුවමනා වෙන්නෙ නැහැ. හැබැයි මේ ‘‘සමාජ ආරක්ෂණ ජාලය’’ යනුවෙන් හඳුන්වන්නෙ ඔය නිතරම කතා කරණ ‘‘ජාතික ආරක්ෂාව’’ කියන ඊනියා යෝජනාව නම් ඒක මේ රටේ කවදාවත් ම සිද්ධ වෙන්නෙ නැති එකක්. මොකද ලෝකෙ හුඟක් රටවල ආරක්ෂණ විධික්‍රම ක්‍රියාත්මක වෙන්නෙ ඇත්තට ම ඒ රටේ අවශ්‍යතාවට අනුව නෙවෙයි. ඒක සිද්ධ වෙන්නෙ ලෝක දේශපාලකයන්ගෙ වුමනා එපාකම්වලට අනුව. එහෙම නොවෙන්න නම් ඉතිං අපි ගෝලීයකරණය ප්‍රතික්ෂේප කරල හුදෙකලා රටක් විදියට කටයුතු කරන්න වෙනව. උදාහරණයක් විදියට කියනව නම් උතුරු කොරියාව වගේ. ඒ රටේ පාලන ක්‍රමය හොදයි කියල මේකෙන් අදහස් කෙරෙන්නෙ නෑ. නමුත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘‘ජාතික ආරක්ෂාව’’ ස්ථාපිත කරන්න නම් එහෙම තත්ත්වයකට යන්න වෙනව.

දැන් මම මේ යෝජනා කරේ මට හැඟෙන දැනෙන දේවල්. ඉතිං ‘‘මට සිහිනයක් ඇත’’ සිට ‘‘ගොඩයමු’’ දක්වා පොළා පැනපු  (මං ඒකට හේතු අහන්නෙ නෑ) සංවිධානයට පුළුවන් මේකට උත්තර බඳින්න. අවසන් වශයෙන් ලියන්න තියෙන්නෙ ඔය කවුරු වෙස් මුහුණු බැඳගෙන ආවත් අපි යකා හොඳට අඳුරනව කියන එක තමයි.


'මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත' !

ගොඩයමු තේමා ගීතය සහ ජාතික පණිවිඩය එළි දකී



සුමිත් රත්නායකට විවෘත අභියෝග කිහිපයක් - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්