කවි ලියන පුද්ගලයා ‘‘කවියක්’’ තුළින් කිසියම් අදහසක් ඍජුව හෝ වක්‍රෝක්තියෙන් ඉදිරිපත් කරන විට එය වටහා ගැනීමට කවි කියවන පාඨක ප්‍රජාව ද ‘‘කවිය’’ පිළිබඳ දැනුවත් විය යුතු ය.

ඒ, ‘‘සඳැස්’’ ද, ‘‘නිසඳැස්’’ ද යන බෙදීම් රේඛාව පිළිබඳව නොව ‘‘කවිය’’ පිළිබඳව ය. එවිට කවි ලියන පුද්ගලයා තම අදහස කුමනාකාරයෙන් ඉදිරිපත් කළ ද පාඨක ප්‍රජාවට එය විඳගත හැකි ය. එහි දී වඩාත් නිදහස් විඳුමක් ලැබිය හැකි වන්නේ ‘‘නිසඳැස්’’ හෙවත් ‘‘නිදහස්’’ කවිය තුළින් බව මගේ පුද්ගලික අදහස ය. ඒ අන් කිසිවක් නිසා නොව ‘‘සඳැස්’’ කවිය තුළ අන්තර්ගත විය යුතු යැයි සැලකෙන බොහෝ ලක්ෂණ කවිය ලියන්නාට මෙන් ම විඳින පාඨක ප්‍රජාවට ද ඇතැම් අවස්ථාවල දී ලිවීමට මෙන් ම විඳීමට ද බාධා පමුණුවන බැවිනි; සඳැස තුළ රාමුගත බවක් පවතින බැවිනි. එහෙත් කවි ලිවීමේ දක්ෂ පුද්ගලයෙකුට සඳැස් හෝ නිසඳැස් යන ආර ද්වයෙන් ම පාඨක ප්‍රජාවගේ වින්දනය පරිපූර්ණ කළ හැකි ය. එබඳු කවි ලියන අය දුලබ ය; එබඳු කවි ද දුලබ ය. එවන් වටපිටාවක් තුළ ‘‘නිසඳැස්’’ හෙවත් ‘‘නිදහස්’’ කවිය ද, ‘‘සඳැස්’’ කවිය ද අතැඹුලක් සේ ඉදිරිපත් කර ඇති කාව්‍ය සංග්‍රහයක් රස විඳින්නට ලැබිණ.


310831887 643188947420991 7599871369061844958 nකාව්‍ය සංග්‍රහය නම් ‘‘ඇතුළුවීම තහනම්’’ ය. එහි නිර්මාතෘ ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමියෝ ය. උන්වහන්සේ වඩාත් බර තබා ඇත්තේ සඳැස් ආරට වුව ද එම ආරෙන් රචිත බහුතරයක් නිර්මාණ හුදු කවි කතන්දර ආර අභිභවා තිබේ.

 

කවිය සඳැස් ද නිසඳැස් ද යන්න වර්ග කිරීම අභියෝග කරන්නට තරම් එම සඳැස් කවි අර්ථ පූර්ණ ය; රස පූර්ණ ය; ධ්වනි පූර්ණ ය. ඒ අතර හුදු හතරපද ගනයට හෝ හතරැස් කවි ගණයට ලා හැකි නිර්මාණ කිහිපයක් ද පවතී. එම නිර්මාණ නිසඟයෙන් ම පැන නැගි සිතුවිලි බව පැහැදිලි ය. එබඳු නිර්මාණ පසෙක ලූව ද සමස්ත කාව්‍ය සංග්‍රහය එක මිටට කැටි කර ගත් විට ‘‘ඇතුළුවීම තහනම්’’ යනු මගේ වින්දන අවකාශය පුරවා ලූ කාව්‍ය සංග්‍රහයක් බව පළමුවෙන් ම සටහන් කළ යුතු ය.

 

තවත් පසෙකින් ගත් විට මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත බොහෝ (සඳැස් නිසඳැස් යනාදි සියල්ල) නිර්මාණ තත්කාලීන: සමාජ, දේශපාලන, ආර්ථික සහ ආගමික පසුබිම ඉදිරිපත් කරන, ඒ පිළිබඳ දැනුවත් කරන සහ ඇතැම් සිද්ධි සහ සාම්ප්‍රදායික සිරිත් යැයි සැලකෙන දෑ නිර්දය විචාරයට ලක් කෙරෙන නිර්මාණ සංග්‍රහයකි. ඒ, හුදු පුද්ගලික අදහස මත ම පිහිටා නොව එකී සිරිත් විරිත් සහ ක්‍රියාදාම තුළ සැඟව පවත්නා යථා ස්වරුපය මැනවින් අවබෝධ කරගත් උන්වහන්සේ ඒ පිළිබද සමාජය ද දැනවත් කිරීමේ අටියෙන් ම එම නිර්මාණ ඉදිරිපත් කර ඇති බැවිනි. කවි ලියන පුද්ගලයන් මතු නොව ඕනෑම සාහිත්‍ය කලා නිර්මාණයක් තුළින් සිදු විය යුත්තේ ද එකී කාර්යය යි. ඒ නයින් ගත් විට ‘‘ඇතුළුවීම තහනම්’’ යනු තත්කාලින සමාජ වටපිටාව ගැඹුරින් කියවාගත හැකි නිර්මාණයකි; අවබෝධ කරගත හැකි නිර්මාණයකි.


ජීවිතය ජීවත් කරවීම සහ නිවා ගැනීම
 
 
බුදු දහමට අනුව අල්ලා ගැනීම හෝ ආසක්ත වීම යනු සතුට දනවන සිද්ධි මාලාවකට වඩා නෑකම් කියන්නේ දුක දනවන සිද්ධි මාලාවකට ය. එසේ නම් අල්ලා ගැනීම, බැඳීම, ආසක්ත වීම යනාදියට යොමුවන අප එහි විරුද්ධාභාෂය ද සමපාත ලෙස දරාගත යුතු ය. ජීවිතය නිවාගත හැකි වන්නේ ද, ජීවිතය ජීවත් කරවිය හැකි වන්නේ ද යට කී සමපාතිත්වය ජීවිතයට සමීප කරගන්නේ නම් පමණි.
 
 
මෙම සිද්ධිය මැනවින් විදාරණය කෙරෙන නිර්මාණයක් ලෙස 41 වන පිටුවේ ඇති ‘‘උපාදාන’’ නමැති නිර්මාණය හැඳින්විය හැකි ය. ‘‘උපාදාන’’ යනු ම: තදින් අල්ලා ගැනීම ය; සත්වයා භවයට ඇද බැඳ තබාගැනීම ය. ‘‘උපාදාන’’ නිර්මාණය තුළ අල්ලා ගැනීම කෙතරම් බලවත් ප්‍රපංචයක් වුව ද අත් හැරීම ප්‍රගුණ කරන්නේ නම් එහි බලවත් භාවය බල ශූන්‍ය කිරීම ඉතා ම පහසු කාර්යයක් බව පසක් කරයි.
 

පිළිතුරු ඇති පැන සහ නැති පැන
 

නිරුවත් කය පමණක් රැගෙන මෙලොවට බිහි වෙන නව ජීවියෙකු සියලු දෑ දැක බලාගන්නේ, ඉගෙන ගන්නේ තමා අවට පවතින සහ සිදුවන දෑ ඇසුරෙනි. කුඩා අවධියේ දී නිවසේ අය ද, කෙමෙන් කෙමෙන් මිනිසකු ලෙස වර්ධනය වන විට සමාජය ද මේ ජීවියාට විවිධ දෑ පිළිබඳ විවිධ අදහස් පළ කරයි; විවිධ දෑ කරන්නැයි කියන්නැයි මෙන් ම නොකරන්නැයි ද නොකියන්නැයි ද පවසයි. මේ සියල්ල ඒ ආකාරයෙන් ම පිළිපැදිය යුතු ද නැද්ද යන්න පිළිබඳ සිතීම පවා වරදක් ලෙස සමාජය අර්ථකථනය කර තිබේ. එහෙත් ලොව සියලු වෙනස්කම් සිදුව ඇත්තේ ද, මෙතරම් දියුණු වී ඇත්තේ ද සමාජයේ පවත්නා ඇතැම් දෑ විමසීමෙනි; විචාරය කිරීමෙනි; අභියෝගයට ලක් කිරීමෙනි; නව අත්හදා බැලීම් කෙරෙහි යොමු වීමෙනි. එසේ නොවන්නට පෘථිවි ජනයා තවමත් පසුවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ම ය. එසේ වුව ද මේ වන විටත් ලොව පවත්නා සහ සිදුවන ඇතැම් සිද්ධි පිළිබඳ නිසි විග්‍රහයකට එළඹිය නොහැකි අවස්ථා පවතී; ඒ පිළිබඳ විමසුව ද නිවැරැදි යැයි විශ්වාස කළ හැකි පිළිතුරු නොපවතී; ඒ සියල්ල එදා මෙන් ම අද ද, අද මෙන් ම හෙට ද විසඳිය නොහැකි, පිළිතුරු නොමැති පැන සේ ම පවතී. කතුවර හිමි සිය කාව්‍ය සංග්‍රහයේ අවසන් (පිටුව 64) නිර්මාණය වන ‘‘ප්‍රශ්න’’නමැති කවිය තුළින් ගම්‍යමාන කරන්නේ ද මෙකී තත්ත්වය යි. මේ කථකයා හෝ කථකාව කුඩා දරුවකු හෝ දැරියක විය හැකි ය. එසේ අනුමාන කළ හැකි වන්නේ කථකයා හෝ කථකාව මේ සියලු පැන විමසන්නේ සියාගෙන් වන බවට කෙරෙන ඉඟියෙනි. කුඩා දරුවකු හෝ දැරියකගේ මනසේ මතු නොව වැඩිහිටියෙකුගේ මනසේ වුව මෙවන් පැන තිබිය හැකි ය. එහෙත් ඒ සඳහා නිවැරැදි යැයි විශ්වාස කළ හැකි පිළිතුරු පවතී ද...?

මෙය හුදෙක් කුඩා දරුවෙකුගේ හෝ දැරියකගේ මනසෙහි පමණක් රැඳී පවත්නා ප්‍රශ්න නොවන බව පාඨක ප්‍රජාව වටහාගත යුතු ය. තවත් සරලව ම පවසන්නේ නම් කතුවර හිමි විමසන්නේ කුමක් ද යන්න අවබෝධ කරගත යුතු ය; අවබෝධ කර ගත නොහැකි නම් ඒ සඳහා වෙහෙසිය යුතු ය. එවිට ජනතාවට තමන් සිටින ස්ථානයෙන් මඳක් හෝ ඉහළට ගමන් කළ හැකි බව පසක් වනු නියත ය.


ආගම, ජනතාව සහ දේශපාලනය


‘‘ආගම යනු ධනපති පංතියේ සහ පාලකයන්ගේ හොඳ ම සගයා ය.’’
 
යට උපුටා දැක්වූයේ ආගම පිළිබඳ කාල් මාක්ස් දරන අදහස් අතුරෙන් එක් අදහසකි. ඔහුට අනුව නම් ආගම යනු ධනපති පංතියේ සහ පාලකයන්ගේ හොඳ ම සගයා ය. නමුදු මේ වන විට නම් ‘‘ආගම’’ යනු ධනපති පංතියේ දේශපාලකයන්ගේ මතු නොව නිර්ධන පංතිය නියෝජනය කරනවා යැයි පෙනි සිටින දේශපාලකයන්ගේ ද සගයෙක් බවට පත්ව හමාර ය. ඊට අදාළ නිදසුන් දැක්වීම පවා කාලය අපතේ හැරීමකි.
 
 
‘‘ඇතුළුවීම තහනම්’’ කෘතියේ රචකයා බුද්ධ පුත්‍රයෙක් වුව ද උන්වහන්සේ ආගම සහ ආගම අදහන පුද්ගලයන්ගේ යථා ස්වරුපය කුමනාකාරදැයි හෙළිදරව් කරන්නට පසුබට වී නොමැත. ඒ මාතෘකාවට අදාළ කාව්‍ය නිර්මාණ කිහිපයක් ම මෙම කෘතියේ අන්තර්ගත ය. වර්තමානයේ දක්නට ලැබෙන: ආගමත්, පන්සලත්, නූතන බුද්ධ පුත්‍රයන් පිළිබදවත් කදිම චිත්‍රයක් මවන්නට, ගැඹුරු අරුතක් සපයන්නට ‘‘අහෝ පන්සල් නොදුටු මොක්පුර’’ (පිටුව 14) නමැති නිර්මාණය උපස්තම්භක කරගෙන ඇත. මෙහි වැඩි වටිනාකමක් පවතින්නේ අදාළ සන්දර්භය පිළිබද විවේචනය එල්ල වන්නේ ද බුද්ධ පුත්‍රයෙකු වෙතින් ම වීම ය. ආගම අලෙවි කරමින් කුස පුරවාගන්නා චීවරධාරින්ට මෙන් ම, ආගම ආයුධයක් ලෙස භාවිත කරමින් මඩි තර කරගන්නා සහ ජනතාව මුළා කරන දේශපාළුවන් පිළිබඳව කදිම සිතුවමක් චිත්‍රණය කරන්නට මෙම නිර්මාණය සමතව තිබේ.
 
 
සදය උපහාසය

මෙහි අන්තර්ගත ‘‘ඇතුළුවීම තහනම්’’ (පිටුව 21) නමැති නිර්මාණය ද යට කී නිර්මාණය ද අභිභවන, ආගම නමැති සංකල්පය මෙන් ම පුරුෂ මූලික සමාජය තුළ කාන්තාව කෙරෙහි දක්වන ආකල්පමය සිතුවිලි සදය උපහාසයට ලක් කෙරන නිර්මාණයකි. එහි වැඩි වටිනාකමක් පවත්නේ එකී මුග්ධත්වය බුද්ධ පුත්‍රයෙකු විසින් ම ප්‍රශ්න කරනු ලැබීම ය. එය එසේ කළ යුත්තේ ද එම පාර්ශ්වය ම ය. මන් ද ආගම ජීවිතය යැයි විශ්වාස කරන, ආගම විසින් පනවන ලදැයි විශ්වාස කෙරෙන සියල්ල නිවැරැදි යැයි විශ්වාස කරන ගිහි ප්‍රජාව යම් තරමකට හෝ ඇති තතු වටහා ගන්නේ බුදුධ පුත්‍රයන් ම එබඳු ප්‍රශ්න විචාරීම සහ එබඳු ක්‍රියාකලාප විවේචනයට බඳුන් කිරීමෙනි.

‘‘පොඩි සාදු’’ (පිටුව 37) නමැති නිර්මාණය ද සාමණේර පැවිදි දිවියේ අඳුරු පැතිකඩ නිරාවරණය කෙරෙන නිර්මාණයකි. මෙම නිර්මාණයට පාදකවන්නට ඇත්තේ ඇතැම් විට කතුවර හිමි නමගේ ම අනුභූතියක් විය හැකි ය. නමුදු එය උන්වහන්සේගේ මතු නොව සමස්ත සාමණේර ප්‍රජාවගේ ම දිවි සැරියේ එක් පැතිකඩක් බව පැහැදිලි ය.
 

ගස සහ මිනිසා

43වන පිටුවේ අන්තර්ගත Depth of Love (ආදරයේ ගැඹුර) නමැති නිර්මාණය තුළින් පිළිබිඹු කෙරෙන්නේ විද්‍යාත්මක පාර්ශ්වයෙන් ගත් කල සජීවි වස්තුවක් ද වෙනත් පාර්ශ්වයකින් (වෙසෙසින් ම භාෂාමය පාර්ශ්වයෙන්) ගත් කල අජීවි වස්තුවක් ද වන ගසක ඉරණම පිළිබඳව ය. මෙම නිර්මාණයේ කාව්‍යමය ලක්ෂණ හෙවත් කාව්‍යෝක්තිම භාවය අනෙක් බොහෝ නිර්මාණවලට සාපේක්ෂව වෙසෙස් ස්ථානයක පවතී. ගස සහ මිනිසා අතර පවත්නා සබඳතාව පිළිබඳ විවරණයක යෙදෙන කවිවර හිමි නම අවසන මිනිසාගේ අවශ්‍යතාව වෙනුවෙන් මිනිසා විසින් ම විනාශ කරනු ලබන ගස නමැති වස්තුව කෙතරම් නම් මිනිස් දිවියට සමීප ද යන්න මැනවින් ප්‍රකට කර ඇත. මෙම නිර්මාණය කියවා අවසන් වු සැණින් මට සිහිපත් වූයේ යනුෂා ලක්මාලි කිවිඳියගේ දෙවන කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ‘‘වැව සහ මී මුත්තා’’ නමැති නිර්මාණය යි. එම නිර්මාණයට ද පාදක කරගෙන තිබුණේ වසර සියයක් පමණ පැරණි වෘකෂයක් කපා කොටස් කර ලොරියක පටවන මොහොතේ දී එය දකින කථකයාගේ සිතුවිලි දාමය යි. එම නිර්මාණය ද ගස පිළිබඳ හෘද සංවේදී භාවයක් පාඨක ප්‍රජාව තුළ ජනිත කරවන්නට සමත්කම් දක්වා තිබිණ.
 

ශෘංගාරය ද රසයකි
 
 
ස්වාමින් වහන්සේලා යනු පුරාතන ගද්‍ය සාහිත්‍ය මෙන් ම පද්‍ය සාහිත්‍ය මැනවින් ඇසුරු කරන පිරිසකි. එමෙන් ම සිංහල මතු නොව සකු පාලි යන භාෂා ද්වය ද ඉතා සමිපව ඇසුරු කරන පිරිසකි. ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි ද උන්වහන්සේගේ බොහෝ නිර්මාණ තුළින් එකී භාෂා ශක්‍යතාව පිළිබිඹු කරන්නට සමත්කම් දක්වා ඇත. එය වඩාත් ඔප් නැංවෙන නිර්මාණයක් ලෙස ‘‘මධු චන්ද්‍ර’’ (පිටුව 45) නමැති නිර්මාණය සාක්ෂි දරයි. මෙය ඉතා අගනා ශෘංගාර කාව්‍යයකි. මගේ වින්දනයට අනුව නම් මෑත භාගයේ මා කියවූ ඉතා අපූරු ශෘංගාර කාව්‍ය නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකි ය.
 
 
පුරුෂාධිපත්‍යයට රුකුලක්


කවියකු හෝ කිවිඳියක ලිවිය යුත්තේ මෙබඳු කවි ම යැයි පවසන්නට පාඨක ප්‍රජාවට හෝ විචාරක ප්‍රජාවට හිමිකමක් නොමැති වුව ද හැකිතාක් දුරට සමාජ සංවර්ධනයට උපස්තම්භක කරගත හැකි නිර්මාණ කරන්නේ නම් මැනවයි යෝජනා කළ හැකි ය. එමෙන් ම සාම්ප්‍රදායික මඩ ගොහොරුවෙන් ජන ප්‍රජාව මුදවාගන්නා නිර්මාණ කරන්නැයි ආරාධනා කළ හැකි ය. එම අදහස පෙරදැරි කරගත් විට සමස්ත කාව්‍ය සංග්‍රහය පුරා ම නවමු අදහස් විදාරණය කෙරෙන අතර තව දුරටත් ස්ත්‍රිය සාම්පදායික රාමුව තුළ ම රාමුගතව සිටිය යුතු යැයි අදහස් කෙරෙන නිර්මාණයක් ද මෙම කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගත ය. ඒ, ‘‘ලොකු දූට’’ (පිටුව 54) නමැති නිර්මාණය යි. බහුතරයක නිර්මාණ තුළ මිනිස් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන, එය ස්ථාපිත කළ යුතු යැයි බල කෙරෙන අතර මෙවන් නිර්මාණයක් අන්තර්ගත වීම කෙතරම් සුදුසුදැයි යන්න මට හැඟිණ. එම නිර්මාණය තුළින් ගම්‍ය කෙරෙන්නේ ‘මිනිහෙක් එක්ක දිග ගියාට පස්සෙ මොන දුක හරි විඳගෙන දීගය රැකගෙන හිටපන්’ යැයි දියණියට බල කෙරෙන අදහසකි. එය එසේ නොවිය යුතු ය යන්න සහ එබඳු සංකල්ප සමාජ ගතකිරීම නොකළ යුතු ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.


සිද්ධිවාචකත්වය අභිභවන භාවාතිශය

මෙහි එන ඇතැම් නිර්මාණ සිද්ධිවාචක කවි ලෙස හැඳින්විය හැකි ය. නමුදු එම නිර්මාණ භාවාතිශ ය. ඒ භාවාතිශ ලක්ෂණ හේතුවෙන් ම අදාළ නිර්මාණ තුළ දක්නට ලැබෙන වාර්තාමය ලක්ෂණ පරාජයට පත්වන්නේ ය. උදාහරණ ලෙස: ‘‘සුදු ගවුම්’’ (13වන පිටුව), ‘‘අපේ පංතිය’’ (17වන පිටුව), ‘‘මාළු’’ (පිටුව 25), ‘‘සාදය’’ (පිටුව 29), ‘‘ආයාචනා’’ (පිටුව 42), ‘‘වට්ටි අම්මා’’ (පිටුව 52) සහ ‘‘අම්මා ඇවිත්’’ (පිටුව 60) යන නිර්මාණ හැඳින්විය හැකි ය.


අක්ෂර වින්‍යාස පිළිබඳ අඩු අවධානය


‘ස්වාමින් වහන්සේලා යනු පුරාතන ගද්‍ය සාහිත්‍ය මෙන් ම පද්‍ය සාහිත්‍ය මැනවින් ඇසුරු කරන පිරිසකි.’ ය යන්න යට සඳහන් කළා සේ ම උන්වහන්සේලා අක්ෂර වින්‍යාසය පිළිබඳව ද දැඩි සැලකිල්ලක් දක්වන පිරිසකි. එහෙත් ‘‘ඇතුළුවීම තහනම්’’ කෘතියේ භාෂා සදොස් තැන් බහුල බව ද සඳහන් කළ යුතු ය. ඒ, කතුවර හිමිගේ භාෂා දැනුමේ මඳ බව ද එසේත් නොමැති නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකළ බැවින් ද යන්න අපහැදිලි ය. වෙසෙසින් ම අක්ෂර වින්‍යාස පිළිබඳ අවධානය යොමු නොකර ඇති බවක් දක්නට තිබේ. ඉදිරි නිර්මාණ කාර්යයේ දී එකී පාර්ශ්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නම් වඩාත් අගනේ ය යන්න මම යෝජනා කරමි.



නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/01/01  
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්