ගිවිසුමකින් රාජ්‍ය නිලධාරින්ගේ ඇඟ බැඳීම නම්බුවක්ද? විමසමින් අනිද්දා පත්‍රයේ පළවූ ලිපිය කියවා මා ඇමතූ ග්‍රාම නිලධාරි වරයා බැසිල්ගේ හුරතල් ගෝල තුන් කට්ටුව පිළිබඳ ලිපියද කියවා තිබිණ.  



සමෘධිලාභින් තේරීම ප්‍රාදේශීය සභා කාරයන්ට පැවරීමත්, කොවිඩ් වසංගතයෙන් අපහසුවට පත් අඩු ආදායම් පවුල් සඳහා බෙදා දුන් රුපියල් පන් දහස ගමේ මුදලාලිලාටත් ලබා දීම නිසා සාමාන්‍ය ජනතාව තුළ රාජ්‍ය සේවය කෙරෙහි ඇති වූ පිළිකුල ගම් මට්ටමේ රාජකාරි කරන තමන්ට අදටත් දැඩි සේ බලපාන බව හෙතෙම කීය. සමෘධි වැනි රාජ්‍ය ව්‍යාපෘති ගැන තීරණ ගැනීමේ බලතල ගමේ තක්කඩින්ට පැවරීමෙන් එදා වේල සඳහා වෙහෙසෙන අසරණයන් පක්ෂ  දේශපාලනයේ වහලුන් බවට පත් වී ඇතැයි කීය.  

88-89 කාලයේ ජවිපෙ තුවක්කු කාරයන්ට බියෙන් රටම අක්‍රියවූ දවසක සේවයට නො පැමිණි රජයේ සේවකයන්ගේ දවසක වැටුප කපන්නැයි ජනාධිපති ප්‍රේමදාස  රාජ්‍ය පරිපාලන ලේකම් සිරිල් ගමගේට නියෝග කළේය. එදින තමන්ද සේවයට වාර්තා නො කළ හෙයින් එකී දඬුවම ක්‍රියාත්මක කිරීමට සුදුස්සෙකු පත් කර ගැනීමට ඉඩ සලසා හැට වයස් නො පිරි සිරිල් ගමගේ රාජ්‍ය පරිපාලන ලේකම් ධුරයෙන් ඉවත්ව ගෙදර ගියේ ය.

 

sb nh sp

ගාමිණි සෙනරත් - පියදාස කුඩා බාලගේ - නීල් බණ්ඩාර හපුහින්න

 

එදා සිරිල් ගමගේ හෙබවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය භාර වර්තමාන ලේකම් වරයා, ලිට්රෝ, රක්ෂණ සහ සිනෝ ලංකා ආදි සමාගම්වල අධ්‍යක්ෂව සිටි ගාමිණි සෙනරත්, පියදාස කුඩා බාලගේ කල්ලියේ නීල් බණ්ඩාර හපුහින්නම නම්....? ලංකා සිවිල් සේවයේ සිරිල් ගමගේ දුන් යහපත් පූර්වාදර්ශයට අනුගතව, අමාත්‍යාංශ ලේකම් තනතුරෙන් මුත්තා කීවත් ඉවත්ව යන්නේ නැත.

ජරා දේශපාලනයට යටවී ජාවාරම් කාරයන්ගේ ප්‍රාණ ඇප කරයන්ව සිටින සමස්ත රාජ්‍ය සේවයට සිරිල් ගමගේ මෙන් ආදර්ශමත් වන්නේත් නැත. එහෙත් නීල් බණ්ඩාර හපුහින්න ලේකම් තානාන්තරය දරන රටේ විධායක ජනාධිපති සහ අගමැති දෙදෙනාම ජන මතයේ මස් කොක්කේ එල්ලා ගෙරි කුණු සේ බලයෙන් වීසි කොට තවමත් වසරක්වත් ගෙවී නැති බව සිහි තබා ගත යුතුවේ.

කොළඹ ග්‍රෑන්ඩ් හයට් හෝටල් නඩුවෙන් බැසිල්ගේ ගෝල තුන් කට්ටුව අධිකරණයෙන් නිදහස් කළ හෙයින් නීල් බණ්ඩාර හපුහින්න තවදුරටත් චුදිතයෙකු නොවේ. එහෙත් රටම දන්නා පරිදි,


(අ) වෝටර්ස් එජ් නඩුව අවසානයේ රජයේ කිසිම තනතුරකට නුසුදුස්සෙකු බවට තීන්දුව කොට ලක්ෂ පහක දඩයකටද යටත් කළ පී.බී. ජයසුන්දර තවත් උසාවියකින් සුද්ධවන්තයෙකු කිරිම,

(ආ) හෙල්පින් හම්බන්තොට නඩුවේ චුදිතයන් නිදොස් කොට තමා සාවද්‍ය තීන්දුවක් දුන් බව පිළිගත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුට එරෙහි කිසිදු පියවරක් නො ගැනීම,

(ඇ) පොන්සේකා නිවැරදිකරු කරමින් සුදු කොඩි නඩුවේ පැමිණිල්ලට අවාසි සහගත විසම්මතික තීන්දුව දුන් විනිසුරු රාජපක්ෂ පාලන කාලයේ විශ්‍රාම ගැන්වීම,

(ඈ) භාරත ලක්ෂමන් නඩුවේ පැමිණිල්ලට අවාසි සහගත විසම්මතික තීන්දුව දුන් විනිසුරු අභියාචනාධිකරණයට පත් කිරීම,

 



(ඉ) ජවිපෙය, මෛත්‍රිපාල සිරිසේන, ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ ගම්මන්පිල මතු නොව වේලුපිල්ලේ ප්‍රභාකරන්ද එක්ව විභාග වෙමින් පැවති හෙල්පින් හම්බන්තොට නඩුවේ චුදිත මහින්ද රාජපක්ෂ 2005දී රටේ ජනාධිපති කරවීම,

(ඊ) හෙල්පින් හම්බන්තොට නඩුවේම පළමු චුදිත ලලිත් වීරතුංග ජනාධිපති ලේකම් ලෙස පත් කිරීම

(උ) රාජ්‍ය දේපල වංචා කොට දෙමාපිය සොහොන් ඉදි කළ බවට චෝදනා නැගුණ වහාම කෝටි දහයකට ආසන්න මුදලක් රජයට ගෙවා වරද පිළිගත් ගෝඨාභය රාජපක්ෂව, මෛත්‍රිපාල සිරිසේන, ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල්  වීරවංශ, ගම්මන්පිල සමග චරිත හේරත් ආදි වියතුන් මගද එක්ව රටේ ජනාධිපති කරවීම,

 

1574160726 pb jayasundara

(ඌ) එකී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රේෂ්ඨාධිකරණය දූෂිතයෙකු ලෙස නම් කළ පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස පත් කිරීම

(එ) නැවත පී.බී.ජයසුන්දර වෙනුවට බැසිල්ගේ තුනෙන් එකක්වූ ගාමිණි සේදර සෙනරත් පත් කිරීම

(ඒ) මනුෂ්‍ය ඝාතනයකට මරණීය දඬුවමට නියම සිටි චොකා මල්ලිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දීමට ඉඩ සැලසීමෙන් මනුෂ්‍ය ඝාතනය නම් වරද පාච්චල් කිරීම,

 



(ඔ) ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම රටේ නීතිය කඩ කිරීමක් බව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී අවධාරණය කිරීමට සාපේක්ෂව,

(ඕ) ඒ 26 පාර 2010 සිට වසා දැමීමෙන් මහනුවර නගරයේ විෂ වායු  තත්වය ඉහළ යාමෙන් සිය ජීවත්වීමේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහන අපේක්ෂාවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි දැක්වෙන වායු දූෂණ තර්ජනය මෙන්ම වැඩි ඉන්ධන පිරිවැයක් දැරීමෙන් මහනුවර ජනතාව තවමත් පීඩා විඳීම ආදී ප්‍රකට ක්‍රියාකාරකම් අනුව, විධායකය අධිකරණය හා ව්‍යවස්ථාදායකය යන ලිග්ගල් තුන මත දේශපාලන තැටියේ බැදෙමින් රොස් වෙන ජනතාව බැසිල් තුන් කට්ටුවට හිමිවූ  නිර්දෝෂිභාවයද, මහජන පීඩාවක් සේ සලකන්නාහ.

 

අධිකරණයේ නඩු පමාවීම සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව සක්‍රියව මැදිහත්ව ඇති හෙයින් ඉහත කී මූලික අයිතිවාසිකම් නඩුව පැවරූ ජනතාව කඩිනමින් සහන අපේක්ෂා කළ ද, දූෂිත දේශපාලනඥයන්ට අවනතව, රාජ්‍ය සේවය ධන නිධානයක් කරගත් තක්කඩියන් දසක ගණනාවක් තිස්සේ විනාස කළ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයේ මානසිකත්වය එක් රැයෙන් වෙනස් කළ නොහැකිය.

 

මධ්‍යම පළාතේ එක් සේවා ස්ථානයේ වසර නවයක් අඛණ්ඩව ලැග සිටීම මත ප්‍රාදේශීය ලේකම් වරියකට නිකුත් කළ ස්ථාන මාරු කිරීම අත් හිටුවීමට, එකී දිස්ත්‍රික්කයේ  දිසාපතිවරයා දැඩිව මැදිහත් විය. එකී නිලධාරිනිය උක්ත දිසාපතිද ඇතුළු නිලධාරින් පිරිසක් සමග බස් රියකින් සම්මන්ත්‍රණයකට සහභාගි වීමෙන් පසුව එකී රාජකාරිය සඳහා සිය පුද්ගලික වාහනයෙන් ගමන් කළ  බව දක්වා රජයට වංචා කොට ලබා ගත් මුදල ආපසු ගෙවූ බව තහවුරු කළ විට, උක්ත දිසාපති වරයා මෙවැනි චෝදනා නැති රාජ්‍ය නිලධාරියෙකුගේ නමක් කියන්නැයි පෙරළා කළ අභියෝගය රාජ්‍ය සේවයේ බිඳ වැටීම පිළිබඳ රාජ්‍ය නිලධාරින් තුළ පවත්නා උද්දාමය තහවුරු කිරීමකි.

රජයේ මුදල් වංචනිකව ලබාගත් එසේම එකම සේවා ස්ථානයේ අට වසරක් සේවය කිරීම ආදි කරුණු වැදගත් සේ නො සලකන තරමට වර්තමාන රාජ්‍ය සේවා කොන්දේසි පුද්ගල සම්බන්ධතා හේතුවෙන් යටපත් කිරීමට දිසාපති මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිර්ලජ්ජීව ඉදිරිපත්වීම ඛේදවාදකයෙකි. අධිකරණයෙන් නුසුදුස්සෙකු කළ පී.බී.ජයසුන්දර රටේ සියලු අමාත්‍යාංශ නිලධාරින්ගේ පත්වීම් බලධාරියා ලෙස පත් කිරීම මෙන්ම, උක්ත දිසාපති වරයා පසු කලෙක රාජ්‍ය පරිපාලන ලේකම් තනතුරට පත් කිරීමද මෙහිදි අවධාරණය කෙරෙයි. ඒ අනුව නීල් බණ්ඩාර හපුවින්න රාජ්‍ය පරිපාලන ලේකම් ලෙස පත් කිරීම ලබුවැලේ පුහුල්දැයි විමසීමක් පමණකි.

අර ප්‍රාදේශීය ලේකම් වරිය වංචනිකව උපයා ගත් මුදල් ආපසු ගෙවීමෙන් තම පැවැත්ම කැත කර ගත්තාට රාජ්‍ය පරිපාලන ලේකම්  නීල් බණ්ඩාර හපුවින්න යනු අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ නිලධාරියෙකි. එහෙත් ප්‍රශ්නය වන්නේ අග සිට මුලට කුණුවී ඕජස් ගලන රාජ්‍ය සේවයට අනුගතව දේශපාලනඥයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවට ජනතාව විශ්වාස කරන නීල් බණ්ඩාර හපුවින්නට, රාජ්‍ය පරිපාලන ලේකම් ලෙස ජනතා අපෙක්ෂාවන් ඉටු කිරීම යථාවත් කිරීම කෙසේ වෙතත් ප්‍රාදේශීය පාලනයේ බිම් මට්ටම නියෝජනය කරන ඉහතින් මා ඇමතූ ග්‍රාම නිලධාරියා වැනි පහළ නිලධාරින්ගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමට හැකිවේද යන්නය.

 

 97696843 gettyimages 843645868

ලලිත් වීරතුංග - අනූෂ පැල්පිට

 

ලසන්ත රුහුණගේ විස්තර කළ සමහර සිද්ධින්ට හපුවින්න මැදිහත් වුණේ සිය පැවැත්ම වෙනුවෙන් විය හැකිය. සුදු රෙදි නඩුවේදී චුදිත ලලිත් වීරතුංග අධිකරණයේදී ජනාධිපති දුන් නියෝගය ප්‍රතික්ෂේප කිරීමට තමාට ශක්තියක් නොවූ බවට කළ ප්‍රකාශය සත්තකින්ම අනුකම්පාව අයැද සිටීමක් විය හැකිය. ජනාධිපතිගේ නියෝගය ඉටු නො කළා නම් ලලිත් වීරතුංගට පැවැත්මක් නැත. අගමැති ලේකම්ව සිටි ලලිත් විරතුංග සුනාමි සහනාධාර මහින්දගේ වාසියට පුද්ගලික ගිණුමක බැර කළේ තම පැවැත්ම උදෙසා මිස මුදල් රෙගුලාසි නො දැන නොවේ. අධිකරණයෙන් චෝදනා ලබා සිටි ලලිත් වීරතුංග පී.බී.ජයසුන්දර සහ ගාමිණි සෙනරත් තිදෙනාම ජනාධිපති ලේකම් ලෙස තෝරා ගැනීමේදී රාජපක්ෂලා අපේක්ෂා කළ එහෙයියන් මිස, රට වෙනුවෙන් පෙනී සිටින සිරිල් ගමගේ පන්නයේ විශිෂ්ටටන් නොවේ.

අනුෂ පැල්පිට හිරේ ගියේ ලලිත් වීරතුංගට අවනතවීම නිසා විය හැකිය.

 

කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට අනෛතික නියෝග ක්‍රියාත්මක කිරීමෙන් නිදහස් විය නො හැකි බවට ප්‍රකාශිත නඩු තීන්දු රාශියකි. සුදු රෙදි නඩුවේ අභියාචනයෙන් චුදිතයන් නිදහස්වූ පසුව මහින්ද රාජපක්ෂ “දැන් රාජ්‍ය සේවකයන්ට බය නැතිව වැඩ කළ හැකි ය යනුවෙන් කළ ප්‍රකාශය දේශපාලනඥයන්ගේ පැත්තෙන් උදාන වාක්‍යයයක් වුවද, රාජ්‍ය සේවය පැත්තෙන් කාලකන්නි කතාවකි. රාජ්‍ය මූල්‍ය බලය නීතියෙන් විධායක ජනාධිපතිට හෝ පවරා නැත. ලලිත් වීරතුංගලා පූර්වාදර්ශ කරගෙන තම වාසියට තනතුර පාවිච්චි කිරීමට රාජ්‍ය නිලධාරින්ට අවසරයක් නැත. එක් වසරකට රජයේ නිවාඩු 25ක්ද, සම්මත මාස 12ක් වුවද, 13 වෙනි මාසයක් සහ පැය අසූවක් සහිත ඉරිදාවක් සම්මත කොට ගෙවීම් ලබා ගනිමින් රට බංකොලොත් කිරීම ගැන රාජ්‍ය සේවය වගකිව යුතු වේ.

 

යහ පාලන යුගයේ හම්බන්තොට ජනතාව මයියොක්කා කොළ බුදින බවට පළවූ මාධ්‍ය වාර්තාව නිර්මානය කළ දිසාපති වරයා ගෝඨාභය ජනාධිපතිවූ වහාම  අමාත්‍යාංශ ලේකම් වරයෙකු විය. පසුව නීතිය මමයි කී ජනාධිපතිගේ උවමනාවක් ක්‍රියාත්මක කිරීමට නම් පවත්නා රෙගුලාසි වෙනස් කළ යුතු බව දැන්වූ සැනින් අර දිසාපති රාජ්‍ය පරිපාලන  සංචිතයට යැවිණ. මෙහිදි ඒබ්‍රහම්  ලින්කන් සිහිපත් වේ. රෙජිමේන්තු කිහිපයක් මාරු කරවීමට ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් පොළඹවා ගත් කොන්ග්‍රස් මන්ත්‍රී වරයෙකු ජනාධිපති අත්සනින් නිකුත් කළ නියෝගය කඩිනමින් යුද ලේකම් ස්ටැන්ටන් වෙත ගොස් භාර දුන්නේය. ජනාධිපති නියෝගය කියවා ඉරා දැමූ යුද ලේකම් ස්ටැන්ටන් කෝපයෙන් ගැහෙන්නට විය.

“ඕක නිකුත් කළේ අමෙරිකාවේ ජනාධිපතිතුමා” කොන්ග්‍රස් මන්ත්‍රී එසේ කීවේ යුද ලේකම් ස්ටැන්ටන්ට කලිසමේම සුළු දිය පහ වනු දැකීමේ ආසාවෙන්ය.
“ජනාධිපති මේ වගේ නියෝග දෙනවා නම් එයා පල් මෝඩයෙක්....” යුද ලේකම් ස්ටැන්ටන් මහ හඬින් කෑ ගැසීය. මේ කේලම ඇසූ ඒබ්‍රහම් ලින්කන් සාවධානව ඊට දුන් පිළිතුර මෙසේය.

 

“ යුද ලේකම් ස්ටැන්ටන් මා පල් මෝඩයෙකැයි කියනවා නම් එය එසේ විය හැකිය. මෙවැනි දේ නැවත නො කිරීමට මම කටයුතු කරමි.” මේ සිද්ධියේ විශිෂ්ඨයා ලින්කන් නොවේ. ස්ටැන්ටන්ය. එක් දහස් අටසිය හැට ගණන්වල ජීවත්වූ ලින්කන් ස්ටැන්ටන් දෙදෙනාම වගකීමෙන් අවබෝධයෙන් පෙනී සිටියේ අමෙරිකාව වෙනුවෙනි. ඔවුන් ලලිත් වීරතුංගලා රාජපක්ෂලා මෙන් හැසිරුණා නම් අද අමෙරිකාවක් නැත. රටේ ජනාධිපති වුණාට තම සීමාව හෙවත් බල්ලාගේ වැඩේ බල්ලාම කළ යුතු බව අවබෝධ කර ගත් ලින්කන් “මම නැවත මෙවැනි දේ නො කරමි” කළ ප්‍රකාශය ජාතිය වෙනුවෙන් දුන් ප්‍රතිඥාවකි. 2019 පාස්කු ප්‍රහාරය විග්‍රහ කළ යුත්තේ ඉහත කී අමෙරිකන් අත්දැකීමට සාපේක්ෂවය. පසුගිය මැයි 9 වෙනිදා උදෑසන රාජපක්ෂලා විශ්වාස කළ ආරක්ෂක ප්‍රධානින්, යුද ලේකම් ස්ටැන්ටන් මෙන් කල්පනා කළා නම් දේපල විනාශ වන්නේ හෝ අතුකෝරාළ මන්ත්‍රිවරයා පාරේ මැරුම් කන්නේ නැත. 

 

සමෘධිය යනු ආර්.ප්‍රේමදාස, ජනගහනයෙන් තුනෙන් එකක් දෙවසරක් තුළ ඇති හැකි අය කිරීමට, එක් පවුලකට මාසිකව රුපියල් දෙදහස බැගින් බෙදීමට ජනසවිය නමින් 1888 ජනාධිපති මැතිවරණය දිනා ගැනීමට ඇටවූ  ඡන්ද ගුණ්ඩුවකි. එ දවස රටේ වාර්ෂික රාජ්‍ය වියදමවූ රුපියල් බිලියන 45 මෙන් දෙගුණයක් එනම්  වාර්ෂිකව රුපියල් බිලියන 88ක වැය බරක් ජන සවියට යට කිරීම අතාර්කික බවට කළ විග්‍රහය හමුවේ “විජේදාස මං දේශපාලනඥයෙක්. සල්ලි හොයන්නේ මමයි” යනුවෙන් සිංහනාද කොට, ප්‍රේමදාස තමන්  නිහඬ කරවූ බව පහන් සංවේගය නම් සිය චරිතාපදානයෙහි කේ.එච්.ජේ.විජේදාස විස්තර කරයි.

එදා ප්‍රේමදාස ලින්කන් මෙන් කල්පනා කළා නම් ලංකාවේ ණයබර මෙතරම් ඉහළ නොයනු ඇත. රට වෙනුවෙන් වර්තමාන පාලකයන් ගන්නා ජනප්‍රිය නොවන  තීන්දු මැතිවරණ උරගලේ ඇතිල්ලීමේ අලුත්ම දේශපාලන සෙල්ලම අමෙරිකන් යුද ලේකම් ස්ටැන්ටන්ගේ රළු භාෂා ශෛලියෙන් ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය සේවය ශක්තිමත් විය වේ. මායාදුන්නේගේ අත්සනින් නිකුත් කළ ලිපිය භාණ්ඩාගර ලේකම් කැබිනට් ලේකම් ඇතුළු රාජ්‍ය සේවා ප්‍රධානින්ට නිකුත් නො කිරීම ගැන විශ්‍රාමික රාජ්‍ය නිලධාරින්ට ඇත්තේ කුතුහලයකි.

21 වෙනි සංශෝධනය අනුව, තවමත් ස්වාධින කොමිෂන් පත් කර නැති හෙයින් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිෂම උත්තර බැඳීය යුතු නැතුවා සේම කිසිදු රාජ්‍ය නිලධාරියෙකු තේරිම් බාර නිලධාරියෙකු ලෙස පත් කිරීමට මැතිවරණ කොමිෂම බලයක් ඇත්තේද නැත.



පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

320723070 553561629955212 5233208659897488127 n



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්