දිය මත ලිස්සා යන්නවුන් ගනුදෙනු කරන්නේ රළ සමගය. තරංගය විශාල වන තරමට ඔවුහු ඉහළට ගමන් කරති. රළ මගහැරීමට උත්සාහ කරන්නෝ රැල්ලට යට වෙති.

විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ විසින් නිර්මාණය කරන පළාත් පාලන මැතිවරණය කැඳවන එම රැල්ල මතින් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා ලිස්සා යෑමට නියමිත බව පෙනෙන්නට තිබිණි.

මේ වසරේ මාර්තු මාසය වන විට නීත්‍යානුකූලව මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඡන්දදායකයන් ආණ්ඩු පක්ෂය කෙරෙහි දක්වන පහතට වැටුණු ගෞරවය ඉදිරි මැතිවරණවලින් පෙන්නුම් කිරීමට ඉඩ තිබේ. එමගින්, ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී ජනාධිපතිවරයාගේ හස්තය ශක්තිමත් කළ හැකි අතර, රට නැවත ගොඩනැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ගවලට එළඹීමට ඔවුන්ට බල කළ හැකිය.

ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරයා කල්තියා ප්‍රකාශ කළේ තමා මැතිවරණවලදී තම දේශපාලන පක්ෂය වෙනුවෙන් පවා ප්‍රචාරක කටයුතුවල නොදෙන බවත්, ජාතික ආර්ථිකයට පණ දීම තමාගේ ජනවරම වූ බැවින් පක්ෂ දේශපාලනික කටයුතුවලින් ඉවත්ව සිටින බවත්ය. ආර්ථික ප්‍රකෘතිය කෙරෙහි අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයාගේ උනන්දුව, ඒ සඳහා පවතින හදිසි අවශ්‍යතාව ඉස්මතුකර පෙන්වනු ලබයි.

ආර්ථිකය අඛණ්ඩව දැඩි පරිහානිකර තත්වයක පවතින අතර, පසුගිය වසරේ සියයට 08කට වඩා හැකිළුණු ආර්ථික වර්ධන වේගය, මෙම වසරේ ධනාත්මක වර්ධනයකට නැවත පැමිණීම අපේක්ෂා කළ හැක්කේ සුළු වශයෙනි. අපනයන ක්ෂේත්‍රයේ වැඩිදියුණු වූ කාර්ය සාධනය සහ විදේශයන්හි සිටින සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හේතුවෙන් පමණක් ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒමේ යම් වර්ධනයක් දැකගත හැකිවේ.

Gas Line

කෙසේ වෙතත්, දිගුකාලීනව, යටිතල පහසුකම් සහ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ආයෝජනය සමඟ විශාල ප්‍රමාණයෙන් විදේශ මුදල් ගලා ඒම තවමත් සිදු වී නොමැත. වඩාත්ම බලගතු, ගෝලීය අරමුදල් සම්පාදනය කරන සංවිධාන සහ අනෙකුත් ආයෝජකයන්, ණය සහන සාකච්ඡාවලදී සිය දැඩි ස්ථාවරය සමගින්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය කෙතරම් දුරකට සාර්ථක වන්නේදැයි යන්න පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.


පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී, මැතිවරණ ව්‍යාපාරයෙන් ඈත්වීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් ඔහුගේ දේශපාලන පක්ෂයට සාර්ථක ලෙස ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ පවතින ඔහුගේ තක්සේරුව පිළිබිඹු වේ. පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන මට්ටමින් එක් මන්ත්‍රී ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි විය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පක්ෂය මීට වඩා හොඳ තත්ත්වයකට පත්වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. විරෝධතා පැවති කාලපරිච්ඡේදයේ අවුල් සහගත තත්ත්වයෙන් අනතුරුව, නිර්මාණය වූ ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා ජනතාව අතුරින් ඇතැම් කොටස් විසින්, ජනාධිපතිවරයාගේ නායකත්වයට ගෞරවයක් හිමිවිය යුතු බව පෙන්වාදී තිබේ.

එහෙත් මහජනතාව අත්විඳින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම ස්ථාවරත්වය, යළිත් එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ඡන්ද බවට පරිවර්තනය කළ නොහැකි ය. එමනිසා, එම තත්වය, දැන් මැතිවරණ ක්‍රියාවලිය නතර කරන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් කරන, කනස්සල්ල පළකිරීමක් විය හැකිය.

ප්‍රගතියක් නොමැත

 

thediplomat 2020 05 15 5
ගෙවුණු වසර අවසානයේ පොරොන්දු වූ ධනාත්මක වෙනස්කම්, නව වසරට ගෙන ඒමේ අවශ්‍යතාව ඉටුකළ යුතුව ඇත. ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන මොහොත වන විට, ජනවාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට ජනාධිපති වික්‍රමසිංහ දුන් පොරොන්දුව සැබෑ වන ලකුණු මෙතෙක් පහළ වී නැත. රටේ උතුර, නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් පවා ප්‍රගතියක් නොලැබීම පිළිබඳව ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය සිය අප්‍රසාදය පළ කර තිබේ.

දෙමළ සහ මුස්ලිම් ජනතාව වගා කරනු ලබන රජයේ ඉඩම් පවරාගෙන, සමාගම්වලට හෝ සිංහල ජනතාවට ලබාදීමත් සමඟ ඉඩම් ප්‍රශ්නය ඉවක් බවක් නැතිව දිගටම ඉදිරියට ගමන් කරන බව දැකගන්නට ලැබේ. එම ප්‍රදේශවලින් හමුවූ බෞද්ධ පුරාවිද්‍යා නටඹුන් ස්ථාන, දෙමළ හා මුස්ලිම් ජනතාව ජීවත් වන ප්‍රදේශවලට සිංහල ජනතාව ඇතුළුවීමත් සමඟ, ගැටුම් ඇති වන භූමීන් බවට පත්ව තිබේ.

 
 යුද්ධයේ තුවාල එලෙසම තව තවත් පැසෙමින් පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින  සිරකරුවන්ගේ ප්‍රශ්න සහ අතුරුදන්වූවන්ගේ ඉරණම තවදුරටත් නොවිසඳී තිබේ. මෙම ප්‍රශ්න දෙකම දෙමළ ජනතාවට අතිශය වැදගත් වන අතර, රජය එම ගැටලුවලට විසඳුම් ලබදෙන බවට පොරොන්දු වී, ඔවුන් සමඟ කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන්, රජය කෙරෙහි ඔවුන් තුළ ඇති විශ්වාසය තවදුරටත් පළුදු වනු ඇත.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ, රජය සමඟ සාකච්ඡා කරන සහ ජනාධිපතිවරයාගේ පොරොන්දු පිළිබඳව යම් අපේක්ෂාවකින් යුතුව බලාසිටින පාර්ශවය ඔවුන් වීම නිසා, එහිදී ආණ්ඩුව අසාර්ථක වීමත් සමග ඔවුන්ගේ විශ්වාසනීයත්වයද නොමැතිවන තැනට කටයුතු යෙදීමයි. මේ නිසා සිය ඡන්දදායකයන් සමඟ ඔවුන්ගේ විශ්වසනීයත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව මත, ආණ්ඩුව සමග සම්බන්ධ වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බවට දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කිරීමට සිදුවනු ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය දරන උත්සාහය අලුත් අවුරුද්ද ආරම්භයේ තවත් නරක පෙර නිමිත්තකි. ඕස්ට්‍රේලියාව වැනි ඇතැම් රටවල මහ මැතිවරණය වසර තුනකට වරක් පැවැත්වේ. එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල මන්ත්‍රී ආසනවලින් අඩක් සඳහා වසර දෙකකට වරක් මහ මැතිවරණ පැවැත්වේ.

එම රටවල් මෙම පිළිවෙත අනුගමනය කරනුයේ, ජනතාවට තමන් එකඟ වුවත් නැතත් තීන්දු තීරණ ගැනීමට සිය නියෝජිතයන්ට භාර දී ඇති බව පෙන්වාදීමටත්, නව නියෝජිතයන් පත්කිරීමෙන් සෑහීමකට පත් නොවන්නේ නම්, ඔවුන්ගේ කලකිරීම් පිටකිරීමටත් අවස්ථාව ලබාදීම සඳහාත් ය.

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමෙන් ජනතව මත පීඩනයක් ඇති කරනු ඇතැයි පවසමින් මැතිවරණවල ඇති වැදගත්කම අවතක්සේරු කළ නොහැක්කේ, ජනතාව තමන් මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාතය ගැන කනස්සල්ලෙන් හා කලකිරීමෙන් සිටින බැවිනි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමෙන් ජනතාවගේ කලකිරීම් සාමකාමී නොවන වෙනත් දිශාවකට යොමු වීමට හේතු විය හැක. 

අභියෝගය භාරගත යුතුය

image 335f16d2c4
මැතිවරණ සම්බන්ධයෙන් දේශපාලන අභ්‍යන්තරයේ පවතින ගැටුම සහ ජනාධිපතිවරයාට එල්ල වන බලපෑම්, ඔහුගේ එකිනෙක ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ සහ ක්‍රියා තුළින් දැකගත හැකිය. මීට පෙර පස්වතාවක් අගමැතිවරයකු ලෙස කටයුතු කළ නායකත්ව භූමිකාවන්හිදී ඔහු සැහැල්ලු ආකාරයකින් පාලනය ගෙන ගියේය. එහෙත් ඔහු සතුව බලය නොපවතිද්දී ඔහු විසින් සහාය ලබාදුන් විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා පසුව ලෙස දැඩි වෙහෙසක් දරනු ලැබීය.

උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම ක්‍රියා කරන ආකාරය විසින්, ඉදිරියේදී එවැනි විරෝධතා ගැන කල්පනා කරන අයට තර්ජනාත්මක පණිවිඩයක් ලබාදී ඇත. විරෝධතාකරුවන්ට දඬුවම් කිරීමට සහ ඔවුන් අකර්මණ්‍ය කිරීමට නීතියේ උපරිම ප්‍රතිපාදන භාවිත කෙරේ. ආණ්ඩුව පාර්ශ්වයෙන් මැර ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන්ට සහ ඉහළ මූල්‍ය දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, වත්මන් තත්ත්වය තුළ සමාව දිය නොහැකි දූෂිත ප්‍රසම්පාදන කටයුතුවල තවදුරටත් යෙදීමට අවසර දීමේ දෙබිඩි පිළිවෙතක් ක්‍රියාත්මක වේ. 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිධූරයට පත්වූයේ ඔහුට ජනතාව අතර පවතින ජනප්‍රියත්වය හෝ ජනතාව ඡන්දය ලබාදුන් නිසා හෝ නොවේ. ඔහු ජනාධිපති වූයේ ආර්ථිකය කඩා වැටුණු විට, රජය ඔහුට දුන් අභියෝගය භාර ගැනීමට කැමැත්තෙන් සිටි නිසාය. විරෝධතා ව්‍යාපාරය හමුවේ තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වූ අතර, ආණ්ඩු පක්ෂයේ හොඳම විකල්පය බවට පත්වූයේ ජනාධිපති වික්‍රමසිංහය. දූෂණයෙන් සහ වැරදි කළමනාකරණයෙන් රට දණ ගැස්වූ පාලක පක්ෂය සමඟ හවුල් වී බලයේ රැඳී සිටීමට වඩා, තම මෙහෙවර නිසියාකාරයෙන් දැකීම ජනාධිපතිවරයා හමුවේ ඇති අභියෝගයයි.

ජනාධිපතිවරයා හමුවේ ඇති උසස් මෙහෙවර විය යුත්තේ, පක්ෂ දේශපාලනයෙන් සහ ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවලින් ඔබ්බට නැගී සිටීම සහ රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති ධුරයේ බලතල භාවිතා කිරීමය.

රටේ 75 වන නිදහසේ සංවත්සරය වන විට වාර්ගික ගැටුමට විසඳුමක් ගෙන එන බවට ප්‍රතිඥා ලබාදී ඇති ජනාධිපතිවරයා, රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහයක් සිදුකර සමස්ත ජාතියේ යහපැවැත්ම පිළිබඳ දැක්මක් ද පෙන්වා දී තිබේ. ඔහුට දැන් අවශ්‍ය වන්නේ විශ්ලේෂණවලින් ඔබ්බට ගොස් ජාතික අවශ්‍යතා පෙරදැරි කරගෙන ක්‍රියා කිරීමටය.

තමාට ලැබුණු අවස්ථාව ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමටය යන පදනම මත, පළාත් පාලන මැතිවරණයේදී තම දේශපාලන පක්‍ෂය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු නොකරන බවට ඔහු කළ ප්‍රකාශය, ජනාධිපතිවරයාට ඔහු තුළ ඇති හැකියාව සහ බුද්ධිමතුන් හා අන්තර්ජාතික ප්‍රජාව විසින් දකින උසස් චින්තනය පිළිබඳ තවත් ඉඟියකි. අඳුරුතම පැයේදී රටට අවශ්‍ය වන්නේ, මීළඟ මැතිවරණය ජයග්‍රහණය කරනු ඇත්දැයි සිතමින් කටයුතු කරන නායකත්වයක් නොව, අද පවතින බලය භාවිත කරමින් ඊයේ පැවැතුණු සහ අද හා හෙට පවතින ප්‍රශ්න විසඳන නායකත්වයකි.

JP

 

 

 

 

 

  ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්