පළාත් පාලන ඡන්දයක් මේ මොහොතේ නොපවත්වනු ඇත්තේ, ඒ සඳහා වන කිසි නීති තර්කයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ පළාත් පාලන මැතිවරණයට අදාළ වෙනත් පනත්වලින් හෝ සොයාගැනීමේ ඈතක ඉඩක්වත් ආණ්ඩුවට ඇති නිසා නොව. නීතිමය වශයෙන් ගත් කල, ලබන මාර්තු මාසයේදී ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබේ.



එහෙත්, ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ පැනවීමක්, යථාර්ථයක් වීම හෝ නොවීම තීරණය වන්නේ, හුදෙක් නෛතික පැනවීම් පමණක් පෙරදැරිව නොවේ. එවැනි නෛතික පදනම් මත පමණක් පිහිටා විනිශ්චයන්ට පැමිණිය හැකි කාරණා නැතිවා නොවේ. උදාහරණයක් වශයෙන්, දින 52 ආණ්ඩු කුමන්ත්‍රණයේ නීත්‍යානුකූල භාවය, හුදෙක් නෛතික රාමුවක් තුළ සහ ව්‍යවස්ථාපිත භාවය තුළ නිර්වචනය කොට යම් විනිශ්චයකට පැමිණිය හැකිව තිබුණි. තවත් උදාහරණයක් ගත්තොත්, ව්‍යවස්ථාවෙන් පැනවෙන නියමිත කාලය ඉකුත් වීමට කලින් පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයෙකු පියවර ගත්තොත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත විනිශ්චයකට පැමිණීමේ හැකියාවක්ද නෛතික රාමුව තුළ තිබේ.

එහෙත්, එම කාරණයම අනිත් පැත්තට පෙරළා බලන්න: කල් ඉකුත් වීමෙන් පසුවත් මැතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුවක් වැළකී සිටියොත්, ඒ සඳහා ආණ්ඩුව පැත්තෙන් සැපයෙන භෞතික සහ ප්‍රායෝගික හේතුවාචක අධිකරණයක සැලකිල්ලට ගැනීම සිදු වනු ඇත. මන්ද යත්, මැතිවරණයක් පැවැත්වීම, භෞතික අර්ථයකින්, නීතියට පිටස්තර වෙනස් පරාසයන් කරා විහිදෙන බැවිනි. හෙවත්, වෙනත් කොන්දේසිවලට යටත් වන බැවිනි. උදාහරණයක් වශයෙන්, බරපතල කෝවිඩ් තර්ජනයකට මුහුණදී සිටින අවස්ථාවක මැතිවරණයක් කල්දැමීම, ව්‍යවස්ථාවේ කෙසේ සඳහන්ව තිබුණත්, යුක්තිසහගත හේතුවාචකයක් වශයෙන් පිළිගැනීමේ යම් අවකාශයක් භෞතික අනතුර විසින් සපයා දෙනු ලැබේ. ඒ ආකාරයෙන්ම, මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන මුදල් සහ වෙනත් සම්පත් සපයා ගැනීමේ නොහැකියාව, විශේෂිත ආර්ථික වසංගත තත්වයක් නිසා අසීරු වන අවස්ථාවකත්, මැතිවරණයක් කල්දැමීමේ හේතුවාචකය පිළිගැනීමට සිදුවීමේ භෞතික තත්වයක් නිර්මාණය කෙරේ.


මහ භාණ්ඩාගාරයටත් වඩා ආණ්ඩුවේ දේශපාලනය බංකොළොත්


ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරන්නේ මේ අවසානයට කී පදනම යටතේ ය. එනම්, මැතිවරණයක් පැවැත්වීමට මුදල් නැත යන හේතුවාචකයයි. මහ භාණ්ඩාගාරය මුදල් නැතැයි කියන්නේ නම්, මුදල් නොලැබුණොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි යැයි රජයේ මුද්‍රණාලයේ අධිපතිනිය කියන්නේ නම්, රුපියල් බිලියන දෙකකට අධික මුදලක් තමන්ට නොලැබෙන්නේ නම් මැතිවරණය සඳහා අවශ්‍ය කරන යටිතල ආරක්ෂාව සැපයීමේ හැකියාවක් තමන්ට නැතැයි පොලිස්පතිවරයා කියන්නේ නම්, මැතිවරණය පැවැත්වීමේ නෛතික අවශ්‍යතාව, මුදල් සපයාගැනීමට හැකිවීමේ හෝ නොහැකි වීමේ භෞතික කාරණයට යට කිරීමට සිදු වෙයි.

 

 

තවත් විදිහකින් කිවහොත්, මැතිවරණයක් නොපැවැත්වීම වියදමකින් තොරව කළ හැකි දෙයක් වන අතර, මැතිවරණයක් පැවැත්වීම සඳහා වියදමක් සහ තවත් යෙදවුම් රාශියක් අවශ්‍ය කෙරෙන බවයි. ඒ වියදම සහ යෙදවුම් සම්පාදනය කිරීමේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම, පවතින නීතියේ හෝ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පිටින් සිදු කිරීමේ හැකියාවක්, විශේෂිත තත්වයන් යටතේ පාලකයන්ට ලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ ඇතුළු වර්තමාන ආණ්ඩුව රැඳෙන්නේ, ඒ ‘හයිය’ මතයි. අවසාන විග්‍රහයේදී, රටේ ආර්ථික දුර්වලතාව, පාලකයෙකුගේ දේශපාලනික හයියක් බවට පරිවර්තනය කර ගැනෙන තත්වයක් ඒ අනුව නිර්මාණය වී ඇති බවක් පෙනේ.

 

සත්භාවය සහ සදාචාරය වෙනුවට මෙහිදී ප්‍රතිස්ථාපනය වන්නේ, වංචාව සහ බොරුවයි. පාලකයා දෙන මේ ව්‍යාජ හේතුවාචකය (මුදල් නැතැයි කීම) අභියෝගයට ලක්කිරීම අධිකරණයක් විසින් කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ නොහේ. හිස් භාණ්ඩාගාරයක් ඇති මොහොතක, ව්‍යවස්ථාවෙන් පැනවෙන රාජකාරියක් වුව නොකර හැරීමට පෙළඹෙන පාලකයෙකු විෂයයෙහි, නීතිය අකුරට ක්‍රියාත්මක වන බවට (එනම්, පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවට) වගබලාගැනීමේ අධිකරණමය කාර්යභාරයත් දුර්වල වෙයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම ආශ්‍රයෙන් ඉදිරිපත්ව තිබූ පෙත්සම් කිහිපයක් පසුගිය සතියේ විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මැතිවරණ කොමිසමට එම ඡන්දය පැවැත්වීමේ කටයුතු ඉදිරියට කරගෙන යාමට බාධාවක් නැති බව ප්‍රකාශයට පත්කෙළේය. මෙය විශාල ‘ජයග්‍රහණයක්’ වශයෙන් විපක්ෂය හඳුන්වා තිබුණත්, ජයපැන් බීමට තරම් කාරණයක් ඒ විනිශ්චය තුළ ගැබ්ව නොතිබුණු බව බැලූ බැල්මට පෙනෙන්ට තිබුණි.

 

 

ශ්‍රේෂ්ඨාධිකරණය කියා ඇත්තේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නීතිමය බාධාවක් නැති බව පමණි. එවැනි නීතිමය බාධාවක් ඇති බවක්, රනිල් වික්‍රමසිංහ හෝ ආණ්ඩුව හෝ කියා නැත. සැබෑ ප්‍රශ්නය වන්නේ, ඡන්දය පැවැත්වීම සඳහා මුදල් නැති බවට ආණ්ඩුව කරන ප්‍රකාශය සත්‍යයක්දැයි සොයා බැලීමත්, එය අසත්‍යයක් නම්, අදාළ ඡන්දය පැවැත්විය යුතු බවට විධිමත් නියෝග පැනවීමත් ය. එහෙත් එවැන්නක් පිළිබඳ කිසිවක් ඉහත කී අධිකරණ තීන්දුව තුළ අඩංගු නොවුණි.

 

කළුකඩයක් යනු, වෙළෙඳපොළේ හිඟකමක් නිසා නිර්මාණය වන අසාමාන්‍ය තත්වයකි. එහිදී සිදුවන්නේ, හිඟ භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදන වියදම සහ සාධාරණ ලාභය අභිභවා යන මිලක් කළුකඩකාරයා විසින් හිතුවක්කාරී ලෙසින් ක්‍රියාත්මක කරනු ලැබීමයි. තවත් විදිහකින් කිවහොත්, ජාවාරම්කාරයෙකු විසින් හිඟකම ගසාකනු ලැබීමයි. වර්තමාන ආණ්ඩුව, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි කියන වියදම, ඒ අර්ථයෙන් කළුකඩයකට සමානයි.

 

මෙහිදී වියදම යනුවෙන් මා අදහස් කරන්නේ, හුදෙක් ඇස්තමේන්තුගත නාමික වියදම පමණක් නොවේ. ඒ වියදම දැරීමට තමන්ට ඇතැයි ආණ්ඩුව කියන ව්‍යාජ නොහැකියාවත් ඒ වියදමට ඇතුළත් වෙයි. එවිට ලැබෙන්නේ, අනවශ්‍ය තරමට පුම්බන ලද තත්වයකි. එය, රටේ ඇත්ත වශයෙන් පවතින ආර්ථික අර්බුදය, තමන්ගේ දේශපාලන බලය තව කාලයක් රැකගැනීම සඳහා, විශාලනය කොට පෙන්වා අනිසි වාසියක් ලබාගැනීමට බැලීමකි.

 

ආවස්ථික පිරිවැය යනුවෙන් හැඳින්වෙන දෙයක් තිබේ. එනම්, යම් දෙයක් මිල දී ගැනීමට සිදුවීම නිසා, ඒ මුදලින් මිල දී ගත හැකිව තිබූ වෙනත් දෙයක් මිල දී ගැනීමට නොහැකි වීමේ පාඩුවයි. වර්තමාන ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කෙරෙන බොහෝ තර්ක වැටෙන්නේ මේ ගණයටයි. එය, මේ වන විට මොන තරම් හාස්‍යාකාර මට්ටමකට වැටී ඇත්ද කිවහොත්, ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වන සමහරු සමාජ මාධ්‍ය තුළ මෙසේ සඳහන් කර තිබෙනු දක්නට ලැබුණි: “පළාත් පාලන මැතිවරණය සඳහා තාප්පවල තවරන පාප්ප සඳහා යොදාගන්නා පිටි, නිරාහාර මිනිසුන්ට ආහාරයට ගත හැකි රොටි සඳහා පාවිච්චියට ගත හැකිය. තාප්පවල අලවන පෝස්ටර් සහ තවරන තීන්ත, පොත් මුද්‍රණය සඳහා යොදාගත හැකිය.” (වචන වෙනස් විය හැකි වෙතත්, ඒ පණිවිඩය තුළ ගැබ්ව තිබූ දළ අදහස එවැන්නකි).

 

මේ මොහොතේ පළාත් පාලන ඡන්දයක් නොපැවැත්වීමට ආණ්ඩුව තීරණය කරන්නේ, ආර්ථික කාරණා නිසා නොව, දේශපාලනික කාරණා නිසා ය. ඒ ආශ්‍රයෙන් කාරණා කිහිපයක් පෙළගැස්විය යුතුව තිබේ. ඉන් පළමුවැන්න වන්නේ, වර්තමාන ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට සුජාත ජනවරමක් නැති බව, මේ අවස්ථාවේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් නිට්ටාවට ඔප්පු වීමේ ශක්‍යතාවයි. නිදහසේ පටන් බලයට පත් බොහෝ ආණ්ඩු, තමන්ගේ ධුර කාලය අතරමැද පැවැත්වෙන පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණවලින් මීට පෙර පරාජය වී නැතිවා නොවේ. එසේ වූ පමණින්, පවතින මහ ආණ්ඩුවේ හෝ ජනාධිපතිවරයාගේ සුජාත භාවය අවසන් වෙතැයි සැළකුණේ නැත.

ranil we

 

එහෙත්, වර්තමාන ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සෑම අර්ථයකින්ම, මීට පෙර පැවති සෑම ආණ්ඩුවකින්ම සහ හිටපු සෑම ජනාධිපතිවරයෙකුගෙන්ම වෙනස් වෙයි. ජනාධිපතිවරයාගේ පටන් අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලයක් මහා ජනතා නැඟිටීමකින් ගෙදර යැවූ පළමු අවස්ථාව මෙයයි. එසේම, එක ආසනයක් පමණක් හිමි පක්ෂයකින් කෙනෙකු ජනාධිපති තනතුරට පත් පළමු අවස්ථාවත් මෙයයි. (එය ලංකාවේ පමණක් නොව, මුළු ලෝකයේමත් පළමු අවස්ථාව වන්නේය). එවැනි අවස්ථාවක ආණ්ඩුවේ සුජාත භාවය බිම් මට්ටමින් නිශ්චිත වශයෙන්ම පරාජය කරනු ලැබීම, දැනට හොබවන බලය පිළිබඳ විශාල අර්බුදයක් නිර්මාණය කරනු ඇත. රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ පොහොට්ටු ආණ්ඩුව, ඕනෑම වියදමක් දරා, පළාත් පාලන ඡන්දය වැළැක්වීමට වලිකන්නේ එබැවිනි.

ඊයේ වන විට, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල්වරයාට අනුව, තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දමා තිබේ. එහෙත්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අනුව, මෙය තැපැල් ඡන්දය කල් දැමීමක් නොව, තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ දිනය කල් දැමීමක් පමණි. අප පිළිගන්නේ කාගේ කතාවද? ඒ කෙසේ වෙතත්, තව සතියකින් හෝ දෙකකින් අපට යථාර්ථය මුණගැසෙනු ඇත. සල්ලි නැතිව ඡන්දය කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද එවිට කීමට සිදු වනු ඇත.


ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ


මෙය ඉතා අයහපත් පූර්වාදර්ශයකි. මෙපමණ කලක්, විවිධ අවසරයන් යටතේ ඡන්ද කල් දමා තිබේ. සිරිමා බණ්ඩාරනායක සහ ජේ. ආර්. ජයවර්ධනත් එසේ කළෝය. එහෙත් ඒ සෑම අවස්ථාවකම, හරියට හෝ වැරදියට, ව්‍යවස්ථාමය අර්ථ නිරූපණයක් අස්සේ සැඟවීමට ඔවුන්ට හැකි විය. ව්‍යවස්ථාවේ සහායකින් තොරව, ව්‍යවස්ථාවට පිටස්තර ආර්ථික හේතුවක් හුවාදක්වා ඡන්දයක් නොපවත්වා සිටීමට යන පළමු අවස්ථාව මෙයයි.

දැන් මෙසේ සිතන්න: ඊළඟ මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය අභියසදීත්, ‘සල්ලි නැති නිසා ඡන්දය පැවැත්විය නොහැකි’ යැයි මෙලෙසින්ම පාලකයන් කීවොත් ඇති වන තත්වය කුමක්ද?

 

collapse of the Rajapaksa camp sri lankan politics

 

සල්ලි නැති වුණේ කෙසේද? ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ කඳවුරේ අදූරදර්ශී දැක්ම නිසා ය. තෙල් ජාවාරම්කාරයන්ගේ, සීනි ජාවාරම්කාරයන්ගේ බදු කපාහැරීමෙන් භාණ්ඩාගාරයට ලැබිය යුතු ප්‍රකෝටි ගණන් ආදායම් පවා අහිමි කළ නිසා ය. කුණු පොහොර නැව්වලට ඩොලර් මිලියන ගණන් ගෙවූ නිසා ය. ඒ දීර්ඝ ජාවාරම් වැලට සම්බන්ධ ගෝඨාභයගේ සහ මහින්ද රාජපක්ෂගේ පටන්, මේ කිසිවෙකු අදටත් නීතිය ඉදිරියට පමුණුවා තිබේද? එසේ නොකොට, රටක් බංකොළොත් කළ ඔවුන්ගේ වරදට රටේ ජනතාව තමන්ගේ ඡන්ද අයිතියත් නැති කරගැනීමෙන් වන්දි ගෙවිය යුතුද?

 

ඒකාධිපතියන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නේ එක රැයකිනි. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිතියි කියන සහ තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා දේශපාලනඥයෝද ඒ හා සමානවම ප්‍රජාතන්ත්‍රවාදයට විණකටිති. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් ලෙවිට්ස්කි සහ ඩැනියල් සිබ්ලාට් ලියූ “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රම මියයන්නේ කෙසේද?” නමැති කෘතියේ තැනක මෙසේ සඳහන් වෙයි:



hddd“ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරය බොහෝවිට ඇරඹෙන්නේ හෙමිහිට ය. බොහෝ පුරවැසියන්ට එය එතරම්ම නොපෙනෙන්ටත් පුළුවනි... මෙවැනි අවස්ථාවක, ප්‍රජාතන්ත්‍රවාදයේ හෝදාපාළුව සිදුවන්නේ කොටස් වශයෙනි. එකිනෙක කොටස, වෙන වෙනම ගත් විට, නොවැදගත් ය. එබැවින් ඒ කිසිවක් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් යැයි නොපෙනෙයි.”

 

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව ගත් විට, පළාත් පාලන මැතිවරණයකට ලැබෙන්නේ අඩු ලංසුවේ වැදගත්කමක් බව ඇත්ත. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණයකටත් වඩා සුවිශේෂයි. මන්ද යත්, පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම, ගිය වසරේ මැද භාගයේ සිට මහපොළොවේ අවලංගු කෙරී ඇති බව ලෝකයාට කියාපාන නිසැක දර්ශකය එය වීමට නියමිත බැවිනි. එසේ හෙයින්, වෙනදාටත් වඩා ඒ ඡන්ද අයිතිය අද අපට අවශ්‍ය බව අප කියා සිටිය යුතුය.        



GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


Anida



JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්