මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියනයක මුදල තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරී වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවයක් පවතින බව

පොලිස්පති චන්දන වික්‍රමරත්න  මැතිවරණ කොමිසමේ සභාපති හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයා මේ බව පවසා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කළ කැඳවීමකට අනුව මැතිවරණ කොමිසමට ගොස් සාකච්ඡා කළ අවස්ථාවේදීය.

පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉකුත් බදාදා (11) මෙම කැඳවා තිබිණි.

මැතිවරණ කොමිසම හමුවේ පොලිස්පතිවරයා කරුණු දෙකක් පැහැදිලි කර තිබේ. මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවනු ඇති බවත් පොලිස්පතිවරයා පෙන්වා දී තිබේ.

එම නිසා මැතිවරණ රාජකාරි යෙදවීම වෙනුවෙන් මෙන්ම අපේක්ෂකයන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් නොමැති බවද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ. පොලිස් නිලධාරීන් 68,000 ක් සිටිය යුතු තැන සිටින්නේ නිලධාරීන් 60,000 ක් පමණක් බවද ඔහු දැනුම් දී ඇත.

දැනටමත් සමාජ මාධ්‍යයේ" ඡන්දය ඉල්ලාගෙන නිවෙස් වෙත පැමිණෙන අය ගැන බලාගන්නම්" යැයි ප්‍රකාශ හුවමාරු වන බැවින් යම් හෙයකින් අපේක්ෂකයෙකුට පහර දුනහොත් එවැනි පිරිස් වෙත ආරක්ෂාව සැපයීමට සිදුවන බැවින් ගැටළුවක් මතුව ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

ඉකුත් මැතිවරණයේදි රුපියල් බිලියනක මුදලක් ඡන්ද රාජකාරි වෙනුවෙන් වැය වුවත් එම මුදල තවමත් පොලිසියට ලැබී නැතැයි ද කී පොලිස්පතිවරයා මෙවර බිලියන 3 ක් මැතිවරණය වෙනුවෙන් අවශ්‍යව ඇතැයි ද පෙන්වා දී තිබේ.

එසේම නීති විරෝධි පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරීන් ද පොලිසියට පැවරෙන බැවින් පොලිසිය කුලී කම්කරුවන් යොදා එම කාර්යය කරන බවද පොලිස්පතිවරයා කියා තිබේ.

කම්කරුවන්ට කරන ගෙවීම් මුලින් පොලිසිය කරන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙනු ලබයි.

 එසේම මැතිවරණ රාජකාරිවල නිතරවීම අමතර රාජකාරියක් බැවින් ඊට විශේෂ ගෙවීමක් කරන අතර එයද මැතිවරණ කාර්යාලය හරහා පොලිසිය වෙත ලබා දෙයි.


''දෙන්නං කාසිවලට මේ සැරේ වැඩ කරන්න බෑ''


ඉකුත් මහ මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිසිය හිමිවිය යුතු මුදල් තවමත් පොලිසියට හිමිව නැති බැවින් පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටළුවක සිටින බව මෙහිදී පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ.

එම නිසා මැතිවරණ රාජකාරි ආරම්භවීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේ පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස ද පොලිස්පතිවරයා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

ගියවර ණය ද පියවා නොමැති නිසා මෙවර ණයට මැතිවරණ රාජකාරි වෙනුවෙන් පිරිස් කැඳවිය නොහැකි බැවින් දෙන්නම් කාසිවලට මෙවර කටයුතු කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

එසේම නිලධාරීන් නොමැතිව රාජකාරි කිරීමට ගොස් යම් ගැටළුවක් මතුවුවහොත් එය පොලිසියේ කීර්තිනාමයට ගැටළුවක් බැවින් මේ අවශ්‍යතා සපුරන තෙක් ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි යැයි ද ඔහු මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙත දැනුම් දී අතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

(lankadeepa.lk)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්