කිරිගිස්තානයේ පැවැති 13 වන ලෝක සවි එසවීමේ ශූරතාවලියේදී (13th World Strengthlifting Championship – Kyrgyzstan 2026) කිලෝග්‍රෑම් 115 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ පණ්ඩුක ජයලත් රන් පදක්කමක් දිනාගැනීමටත්, ලෝක වාර්තාවක් පිහිටුවීමටත් සමත්වී තිබේ.
ඒ අනුව, Hack Lift තරග ඉසව්වේදී කිලෝග්‍රෑම් 282.5ක බරක් ඔසවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වී ඇත. ඔහුට මෙම ජයග්‍රහණය ලබාගැනීමට හැකිවී ඇත්තේ මින්පෙර ලෝක වාර්තාව පිහිටවූ කිරිගිස්තාන් ක්‍රීඩකයා ද තරගාවලියේ දී රැඳී සිටින පසුබිමක වීම විශේෂත්වයකි.
මීට අමතරව ඉන්ක්ලයින්ඩ් බෙන්ච් ප්‍රෙස් (Incline Bench Press) ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ද පණ්ඩුක ජයලත් සමත් වී ඇත.

ක්‍රීඩකයන් එකොළොස් දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වී ඇති අතර රන් පදක්කම් එකොළහක්, රිදී අටක් සහ ලෝකඩ තුනක් සමඟින් තරගාවලි අනුශුරතාව දිනාගැනීමට මෙරට කණ්ඩායමට හැකියාව ලැබී තිබේ.
මෙම ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ පණ්ඩුක ජයලත්,
"2028 ලෝක ශුරතාවලි 3කට අපි තේරිලා ඉවරයි. අපිට ටුවර් 3ක් තියෙනවා 2028 වෙනකම්. මට මේ අවුරුදු 6-7 ඇතුලත සම්පුර්ණ වියදම් බරපැන දැරුවේ අපේ එගොඩ කැලණිය විහාරස්ථානයේ විහාරාධිකාරී අඹේපුස්ස අමරජෝති ස්වාමින් වහන්සේ. මම විතරක් නෙවේ අපේ ක්‍රීඩකයෝ ඉන්නවා බයික් විකුනලා ලෝන් ඇප්ලයි කරලා එහෙම ගියපු ක්‍රීඩකයෝ ඉන්නේ ඔක්කොම. අපි ඔක්කොම තේරිලා ඉන්නේ ඊළඟ ටුවර් වලට. මට වැඩිය දක්ෂ ක්‍රීඩකයෝ තව ලංකාවේ ඉන්නවා යන්න බැරිවුණ. අපේ ව්‍යාපාරික ප්‍රජාව ගෙන් අපේ ලාංකිකයන් ගෙන් අපි ඉල්ලන්නේ අපිට උදව් කරන්න. අපි යන්නේ අපේ නම ප්‍රසිද්ධ කරගන්න නෙවෙයි ශ්‍රී ලාංකික නාමය ප්‍රසිද්ධ කරන්න, ශ්‍රී ලාංකික නම ඉදිරියේ පදක්කමක් ගන්න. අපේ රටේ තවත් දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා ඉතින් ඔවුන්ට මේ වගේ රටවලට ගිහිල්ලා තරඟ කරන්න යම්කිසි අනුග්‍රහකත්වයක් ලබා දෙන්න කියලා මං අපේ රටේ ක්‍රීඩාවට කැමති ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා"







