සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළ පැවත්වේ
මතකය මැකී යන්නේ නැත. අතුරුදහන් කළ මිනිසුන්ගේ හඬ නිහඬ වන්නේ නැත.
බලහත්කාරී අතුරුදහන් කරවීම්වලට ලක්වූ ආදරණීයයන්ගේ මතකයන්, ඔවුන්ගේ පවුල්වල වේදනාව සහ සත්‍යය කලාත්මක ප්‍රකාශනයක් බවට පත් කරමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 21 සිට 23 දක්වා කොළඹ JDA පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.
“ශරීර දේශපාලන හා මතකයන් – අතුරුදහන් නොවූ අතුරුදහන් ආදරණීයයන් වෙනුවෙන්” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 වැනිදා පස්වරු 4.00 සිට ආරම්භ වන අතර, සැප්තැම්බර් 22 සහ 23 යන දෙදින තුළද මහජනතාව සඳහා විවෘතව පවතී. අතුරුදහන්වූ පවුල් එකතුව විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ කලාකරුවන්ගේ නිර්මාණද එක්කර තිබේ.
වසර ගණනාවක් පුරා තම ආදරණීයයන් පිළිබඳ පිළිතුරක් අපේක්ෂාවෙන් සිටින පවුල්වල මතකයන්, බලාපොරොත්තු සහ වේදනාව විවිධ කලා නිර්මාණ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම මෙහි අරමුණ වී තිබේ.
එමෙන්ම, බලහත්කාරී අතුරුදහන් කරවීම් පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරීමත්, අතුරුදහන් වූවන්ගේ මතකය සහ ඔවුන්ගේ පවුල්වල අත්දැකීම් සමාජය හමුවේ තැබීමත් මෙම ප්‍රදර්ශනය හරහා සිදුකෙරේ. “මතකය මැකී යන්නේ නැත. අතුරුදහන් කළ මිනිසුන්ගේ හඬ නිහඬ වන්නේ නැත.” යන පණිවුඩය මූලික කරගනිමින් මෙම කලා ප්‍රදර්ශනය පැවැත්වේ.










