leader s

*ඉඩම් අයිතිය, ඩිජිටල් හැඳුනුම්පත සහ විදුලිබල ප්‍රතිසංස්කරණවල යහපත් ඇරඹුම් මධ්‍යයේ - වෙළෙඳ ගිවිසුම්, බදු සහ විශ්‍රාම වැටුප් අර්බුදයට වහා පිළියම් සෙවීමේ අවශ්‍යතාව


*ප්‍රතිපත්තිමය යහපත් ආරම්භයන් ඉදිරියට ගෙන යන අතරතුර, ආර්ථිකය දිනවීමට කඩිනමින් අවධානය යොමු කළ යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍ර 4ක්


ජේ.ආර්.ජයවර්ධනගෙන් පසු සෑම රජයකට ම අවුරුදු දෙකක ගැටලුවක් තිබිණි. සමහර ආණ්ඩු එතනින් එහාට පවතින්නේ නැත. පවතින ආණ්ඩු දිශාව සහ ප්‍රමුඛතා වෙනස් කල බව පෙනේ. උදාහරණයක් ලෙස, ජනාධිපති මහින්ද ඔහුගේ පළමු ධුර කාලය තුළ වසර දෙක වටා කාලයේ ප්‍රධාන වෙනස්කම් සිදු කළේය: ජිනීවා වෙනුවට මාවිල් ආරු; බහුපාර්ශ්වික ආයතනවලින් ගන්න ණය වෙනුවට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ චීන ණය, ආදී වශයෙනි.

මෙයට එක් හේතුවක් වන්නේ මැතිවරණ ජයග්‍රාහකයින් තම සියලු ශක්තිය ජයග්‍රහණය සඳහා යොදවන අතර, පාලනය කිරීමට සූදානම් නොවීමයි. බලයේ සිටින කාලය තුළ යමක් කිරීමට කැමති නායකයින්ට වසර දෙකක තක්සේරු කිරීම් ප්‍රයෝජනවත් විය හැකිය

හොඳ ආරම්භයන්

සින්නක්කර ඔප්පු


"ජයභූමි" ඔප්පු වැනි සංකීර්ණ ඉඩම් හිමිකාරිත්ව අයිතිවාසිකම් සින්නක්කර ඔප්පු බවට පරිවර්තනය කිරීම දිගට ම කරගෙන යාමට ගත් තීරණය විශිෂ්ට තීරණයක් විය.


වාරිමාර්ග යෝජනා ක්‍රම මගින් සේවා සපයන ප්‍රදේශවල බොහෝ දෙනෙකු සතුව ඇති ඉඩම් ඔප්පුවල සංකීර්ණතා සහ කොන්දේසි වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්ව ඇත. දියණියක විසින් ඉඩම වැඩිදියුණු කර තිබියදීත්, වැඩිමහල් පිරිමි දරුවාට හිමිකාරිත්ව අයිතිවාසිකම් ලබා දුන් අසාධාරණ අනුප්‍රාප්ති නීති විවේචනයට ලක් ව තිබිණි. දුප්පත් ජනතාව ඔවුන්ගේ වත්කම් (සාමාන්‍යයෙන් ඉඩම්) වැඩි වාසි ලැබෙන ලෙස උපයෝගී කරගැනීම තහනම් කරන නීති මගින් දරිද්‍රතාවයේ හිර කර ඇති බව පෙන්වා දුන් හර්නාන්ඩෝ ඩි සෝටෝගේ නිබන්ධනය බුද්ධිමය පදනම සපයයි.

 

urumaya

2024 දී උරුමය වැඩසටහන යනු  මේ ගැන විසඳුමක් ඉදිරිපත් කල පළමු අවස්ථාව යි. “හිමිකම” ලෙස එය දිගටම කරගෙන යාම නව රජය විසින් ගන්නා ලද හොඳ පියවරකි.

අනන්‍යතා සත්‍යාපනය

2015-2017 කාලය තුල ICTA ආයතනය විසින් රෝදය නැවත සොයා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක වීමෙන් පසු, ඉන්දියාවේ පුළුල් ලෙස පිළිගැනීමට ලක් වූ ජෛවමිතික පාදක අනන්‍යතා සත්‍යාපන පද්ධතිය සඳහා සංවර්ධනය කරන ලද MOSIP [මොඩියුලර් විවෘත-මූලාශ්‍ර අනන්‍යතා වේදිකාව] මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ජාතික අනන්‍යතා සත්‍යාපනය ගොඩනැගීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් 2018 දී ගන්නා ලදී. ඉන්දියාවේ තත්‍ය කාලීන (real time) ඩිජිටල් ගෙවීම් දර්ශනීය ලෙස වර්ධනය වීමට එය හේතු විය. කුඩා ම වෙළඳසැල් පවා ඩිජිටල් ගෙවීම් පිළිගනී. ලෝකයේ තත්‍ය කාලීන ඩිජිටල් ගෙවීම් වලින් අඩක් සිදුවන්නේ ඉන්දියාවේ ය.

1972 දී ක්‍රියාත්මක කරන ලද නැගෙනහිර ජර්මානු අනන්‍යතා පද්ධතිය වෙනුවට ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතාවය (SLUDI) ආදේශ කිරීම සඳහා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් කොළ එළිය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කිරීම නැවතී තිබුණි. ප්‍රගතිය මීට වඩා වේගවත් විය හැකිව තිබුණු, නමුත් අමාත්‍යාංශයට අනුව පළමු SLUDI ක්‍රියාකාරීත්වය මාස කිහිපයක් ඇතුළත එලි  දකිනු ඇත. මෙය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක වූ පසු, රජයට  ගෙවීම් පහසු කිරීම සඳහා දැනට ගෙන ඇති ප්‍රශංසනීය ක්‍රියාමාර්ගවලට (GovPay) අමතරව, රජයේ සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීමේ ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය.

විදුලිය

 

electricity board 260209
තනි ආයතනයක්ව තිබූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමට උත්සාහ කළ නීති, 2005 දී ආණ්ඩුව වෙනස් වූ අවස්ථාවේ ආපසු හරවන ලදී. 2025 දී එය නැවත සිදුවනු ඇතැයි බියක් තිබිණි. ඒ වෙනුවට, නියාමනය කළ නොහැකි සහ අකාර්යක්ෂම ලංවිම ඛණ්ඩනය කිරීම සඳහා 2024 අංක 36 දරන පනතේ ඇතුළත් කර ඇති මූලික සැලසුම 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත මගින් ආරක්ෂා කරනු ලැබීය.

සැකමුසුව සෝදිසියෙන් සිටින ශ්‍රම බලකායක් සමඟ විශාල ඒකාධිකාරයක් විසුරුවා හැරීමේ ප්‍රායෝගික ගැටළු කිහිපයක් විසඳන අතරම, සම්ප්‍රේෂණ ජාලයේ සහ බෙදාහැරීමේ ජාලයන්ගේ ව්‍යාප්ත කිරීම් සඳහා අත්‍යවශ්‍ය පෞද්ගලික ආයෝජන සිදු කිරීමට මෙම සංශෝධනය මගින් ඉඩ සලසා ඇත. ආයෝජන සඳහා ඉඩ සලසන අවසාන හුවමාරු සැලැස්ම (Final Transfer Plan) ළඟ දී ම නිකුත් කිරීමට නියමිත අතර, එම අවස්ථාවේ දී සංශෝධනයේ සාර්ථක හෝ අසාර්ථකබව දැකගත හැකිවනු ඇත.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සහ මත්තල

මෙම නොසලකා හරින ලද (සහ ගුවන් තොටුපළ සම්බන්ධයෙන් නිරන්තරව මුදල් අහිමි වන) වත්කම්වල වටිනාකම විද්‍යාමාන කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) සඳහා ආයෝජකයින් හඳුනා ගැනීම සඳහා අනපේක්ෂිත ලෙස රජය ඉල්ලීම් කැඳවා තිබේ.

ආසියාවේ තම හමුදාවන්ට උපායමාර්ගික අතිරේක ආධාරකයක් ලෙස 1930 දශකයේදී බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද තෙල් ටැංකි කිසි විටෙකත් සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගෙන නැත. ඒවා භාවිතා කිරීම සඳහා ටැංකි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පමණක් නොව, නල මාර්ග සහ වරායේ තටාක පහසුකම් සඳහා ද විශාල ආයෝජන අවශ්‍ය වනු ඇත. දිගු කාලයක් ඉන්ධන ගබඩා කර තැබීම යනු ආදායම් නොලබන තොග වලින් සිදුවන පිරිවැය සහ එම පිරිවැය අයකර ගැනීමේ අවදානම ද වෙයි. ආයෝජන සහ මෙහෙයුම් පිරිවැය රජයට දරාගත නොහැකි නිසා, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් අවශ්‍ය වේ. බොහෝ ප්‍රමාද වී ඇති රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP)  නීතිය ක්‍රියාත්මක කිරීමටත් පෙර වුව, රජය මෙම යථාර්ථයන් පිළිගෙන ලංසු කැඳවීම හොඳ දෙයකි.

ජනගහනය අඩු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මත්තල ගුවන්තොටුපළ ශක්‍ය තත්ත්වයට පත්  කිරීමට සහ වර්තමානයේ දිනකට රුපියල් මිලියන 4-6 ක් වන මෙහෙයුම් පාඩු අවම කිරීමට පසුගිය රජයයන් උත්සාහ කර ඇතත් ඒවා අසාර්ථක වී ඇත. චීන එක්ස්-ඉම් බැංකුවෙන් ලබාගත් සහ තවමත් ආපසු ගෙවනු ලබමින් ඇති ණය භාවිතා කර ඉදිකරන ලද මෙම ගුවන් තොටුපළේ රාජ්‍ය හිමිකාරිත්වයේ සීමාවන් හඳුනාගෙන, ආණ්ඩුව රාජ්‍ය පෞද්ගලික හිමිකාරිත්ව (PPP) හවුල්කරුවන් සොයමින් සිටී.

ඉක්මනින් කළොත් හොඳයි

වෙළෙඳ සාකච්ඡා

export 260702
ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය සඳහා වැදගත් ම ගමනාන්ත දෙක අවදානම්වලට ලක්ව ඇත. ඇමරිකානු තීරුබදු ක්‍රමයේ අස්ථාවරත්වය සහ ඇමරිකානු රජයේ වචනයේ අවිශ්වාසනීයත්වය හේතුවෙන් ඇමරිකානු වෙළෙඳපොළෙන් ඈත් වී විවිධාංගීකරණය අත්‍යවශ්‍ය වේ. බලාත්මක වීමට නියමිත ඉන්දියා-යුරෝපා සංගම් වෙළෙඳ ගිවිසුම සහ GSP+ සහන අඛණ්ඩව ලබා ගැනීම සඳහා අවශ්‍ය මානව හිමිකම් කැපවීම් ඉටු කිරීමේ දී රජයට ඇති දුෂ්කරතා හේතුවෙන් යුරෝපා සංගමයට කරන අපනයන තර්ජනයට ලක්ව ඇත.

රජයේ වෙළෙඳ ප්‍රතිපත්තිය මගින් පොරොන්දු වී ඇත්තේ ආසියාව දෙසට හැරීමට ය. නමුත් ප්‍රතිපත්ති ලේඛනවල ප්‍රකාශන වෙළෙඳපොළ ප්‍රවේශය නිර්මාණය නොකරයි. ඉන්දියාව සහ RCEP [කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය] සාකච්ඡා සම්බන්ධයෙන් රජය පූර්ණ වේගයෙන් ඉදිරියට යා යුතුය. ඒ සඳහා කැපවූ වෙළෙඳ කාර්යාලයක් අවශ්‍ය වෙයි. එය පෙනෙන තෙක් මානයක නැත.

පැරා තීරුබදු සහ තීරුබදු තාර්කිකකරණය

පසුගිය දශක කිහිපය තුළ, ආණ්ඩු විසින් පැරා තීරුබදු සහ සංකීර්ණ ආනයන බදු ආකාරයෙන් ආරක්ෂණවාදී බාධක ඉදිකරන ලද අතර එමඟින් ගෝලීය නිෂ්පාදන ජාලයන්හි ශ්‍රී ලාංකික සමාගම්වල සහභාගීත්වය අවහිර කර ඇති අතර තරුණ ජනයාට තමන්ගේ ම නිවාස ලබා ගැනීමට නොහැකි වී තිබේ. භාණ්ඩ බහුවිධ බදු වලට යටත් වන අතර, බොහෝ අවස්ථාවල දී ඒවා වරායෙන් පිටතට එන විට පිරිවැය දෙගුණ වෙයි. මෙම අතිරේක වියදම් තම අපනයන සඳහා මෙම යෙදවුම් භාවිතා කරන සමාගම් විසින් දැරිය යුතු වන අතර එමඟින් ඒවා තරඟකාරී නොවන බවට පත්වෙයි. එබැවින්, අපි විවිධාංගීකරණය නොවූ අපනයන සංයුතියක  සිරවී සිටිමු. එමනිසා, අපට තම දෙමාපියන් සමඟ ජීවත් වන හෝ රට හැර යන තරුණ ජනයා සිටිති.

2026 අයවැය කතාවෙන් පැරා ගාස්තු ඉවත් කරන බවට පොරොන්දු වූ අතර ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. නමුත් අඩු කිරීම් 2029-2030 දක්වා කල් දමා ඇත. අපට වඩාත් ම අවශ්‍ය වන මේ අවස්ථාවේ අපනයන වැඩි කර වර්ධනය අත්කර ගත හැකි වන පරිදි ඒවා ඉදිරියට ගෙන ආ යුතුය.

පොදු ප්‍රවාහනය

metro 260803

රජය බස් සහ දුම්රිය ස්ථාන අලංකාර කිරීමට, පහත් තට්ටු බස් රථ ආනයනය කිරීමට සහ දිට්වා වලින් විනාශ වූ දුම්රිය මාර්ග නැවත ගොඩනැගීමට මුදල් වැය කරයි. නොමැති දෙය නම්, සහනාධාර ඇතුළත් විය හැකි නමුත් පසුගිය දශකවල සිදු වූවාක් මෙන් බදු ගෙවන්නන් මත අසීමිත බරක් ඇති නොකරන සුසංයෝගී ව්‍යාපාරික ආකෘති ය. උදාහරණයක් ලෙස, බෙලිඅත්ත දක්වා දුම්රිය සේවාව දීර්ඝ කිරීම සහ ඕමන්තෙයි නගරයෙන් ඔබ්බට ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම යන දෙක ම මගින් පාඩු වැඩි කළ අතර ඒවා සඳහා බදු ගෙවන්නන්ගේ මුදල් වැඩිපුර යෙදවීමට අවශ්‍ය විය. ඵලදායී කාලසටහන්කරණය සහ සම්පූර්ණයෙන් ම ඩිජිටල් ටිකට්පත් වැනි විසඳුම් අතීතයේ දී නියමු ව්‍යාපෘති ලෙස ක්‍රියාත්මක කරනු ලැබීය.අවශ්‍ය වන්නේ ඒවා ක්‍රියාත්මක කිරීම යි.


වයස්ගත වන ජනගහනය


ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණ වයස අවුරුදු හැටට වැඩි අය වෙයි. සාමාන්‍ය ආයු කාලය කාන්තාවන් සඳහා අවුරුදු 80 ක් සහ පිරිමින් සඳහා අවුරුදු 76 කි. හමුදා විශ්‍රාමිකයන් ද ඇතුළුව මෙම පිරිසෙන්  සියයට 19 කට පමණක් රජය විසින් ජීවිත කාලය පුරා ම විශ්‍රාම වැටුප් ලබා දෙනු ලැබේ. 2014 සිට රජයේ විශ්‍රාම වැටුප් වියදම් හතර ගුණයකින් වැඩි වී ඇති අතර රජයේ වැටුප් බිල වැඩි වී ඇත්තේ තුන් ගුණයකින් පමණකි. දායක නොවන විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා භාවිතා කරන මූලික වැටුපට දීමනා ඇතුළත් කිරීමට මෙම රජය ගත් තීරණය නිසා විශ්‍රාම වැටුප් පිරිවැය වැඩිවීම සහ බදු ගෙවන්නන් මත බර පැටවීම තවදුරටත් වේගවත් කිරීම සිදුවනු ඇත.

රජයේ විශ්‍රාම වැටුප් සඳහා වෙනස්කම් නිර්දේශ කිරීම සඳහා කොමිසමක් පත් කර ඇත. අර්බුදය ඇත්තේ අප මත යි. නිර්දේශ එනතෙක් බලා නොසිට, රජය අවම වශයෙන් නව බඳවා ගැනීම් සඳහා දායක මුදල් නොගෙවන විශ්‍රාම වැටුප් අවසන් කළ යුතු ය.

සේවක අර්ථසාධක / භාරකාර අරමුදල්  (EPF/ETF) යෝජනා ක්‍රමවල (වැඩිහිටි පුද්ගලයින්ගෙන් සියයට 10 ක් පමණ ආවරණය වන) ප්‍රතිලාභ තාර්කික කිරීම සහ වැඩි කිරීම සහ කිසිවක් නොමැති ස්වයං රැකියාලාභීන් සඳහා යම් සහයෝගයක් සහතික කිරීම අනෙකුත් ප්‍රමුඛතා වෙයි.


Rohan Samarajiva
(සටහන | මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Chair, LIRNEasia (www.lirneasia.net)
Twitter: @samarajiva

https://www.linkedin.com/in/rohan-samarajiva-39199918/
Most recent publication: https://journals.sagepub.com/doi/full/10.1177/14614448221143428
Most recent book: https://www.idrc.ca/en/book/infocus-information-lives-poor-fighting-poverty-technology
 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්