රංජිත් සහ රිසානාගේ අතීත මතකයන් මැද අනෝජන් වෙනුවෙන් ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම
මරණ දඬුවම පිළිබඳ නිල දැනුම්දීමක් නැතත් ජීවිතය බේරාගැනීමේ සංවාදය කරළියට
සමාජ මාධ්‍ය සටහනක් මුල්කරගනිමින් සවුදි අරාබියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට මුහුණ දී සිටින අම්පාර, නාවිතන්වෙලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයාගේ සිදුවීමත් සමඟ, මැදපෙරදිග කලාපයේ සේවය කරන විගාමික ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන නීතිමය සහ මානුෂීය ගැටලු පිළිබඳ කතිකාව යළිත් කරළියට පැමිණ තිබේ.
මුල් අධිකරණ තීන්දුව මඟින් වසර පහක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන තුනක දඩයක් නියම වූ අනෝජන්ට, අභියාචනා ක්‍රියාවලියෙන් පසු මරණ දඬුවමක් නියම වී ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පළවි ඇත. කෙසේ වෙතත්, එවැනි මරණ දඬුවමක් පැනවීම පිළිබඳව සවුදි රජය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නොමැති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
අතීත අත්දැකීම් සහ මාධ්‍යවේදී සරෝජ් පතිරණගේ හෙළිදරව්ව
මෙම සිදුවීම පසුබිම් කරගනිමින් සිය අත්දැකීම් විස්තර කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරෝජ් පතිරණ පෙන්වා දෙන්නේ, මීට වසර ගණනාවකට පෙර සවුදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දුන් ඩී.ටී. රංජිත් ද සිල්වා ඇතුළු සිව්දෙනා සහ රිසානා නෆීක් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම යළි මතකයට නැගෙන බවයි.
2005 වසරේදී කොල්ලකෑමේ චෝදනාවකට වරදකරුවන් වී රියාද් නුවර අල්-හායර් බන්ධනාගාරයේ රඳවා සිටි රංජිත් ද සිල්වා ඇතුළු සිව්දෙනා, තම ජීවිත බේරා දෙන ලෙස ඉල්ලා දුරකථනය ඔස්සේ නිරන්තරයෙන් ආයාචනා කළ ආකාරයත්, සිකුරාදා දිනයන්හි දඬුවම ක්‍රියාත්මක වෙතැයි බියෙන් බ්‍රහස්පතින්දා රාත්‍රිය පහන් කළ ආකාරයත් ඔහු සිහිපත් කරයි.
රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ මානව හිමිකම් සංවිධානවල ඉල්ලීම් මධ්‍යයේ වුවද, 2007 වසරේදී ඔවුන් සිව්දෙනාගේ මරණ දඬුවම ක්‍රියාත්මක විය. එමෙන්ම 2013 දී බිළිඳු මරණයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ රිසානා නෆීක් මුදාගැනීමට දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් දැරූ උත්සාහයන් ද අවසානයේ ව්‍යර්ථ වූ බව ඔහු පෙන්වා දෙයි.
අනෝජන් වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය තාන්ත්‍රික මාවත
මෙම සංවේදී වාතාවරණය හමුවේ අනෝජන්ගේ ජීවිතය රැකගැනීම සඳහා දෙරට අතර පවතින සුහද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා භාවිත කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙද්දාහි කොන්සල් කාර්යාලය හරහා නිල මට්ටමින් නීතිමය තත්ත්වය නිරීක්ෂණය කරමින් පවතින අතර, අනෙක් පසින් ආගමික නායකයන්ගේ සහයෝගය ද සහිතව සමාව ලබාගැනීමේ හැකියාවන් පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙමින් පවතී.
මැදපෙරදිග රැකියාවල නිරත වන මිලියනයකට අධික ශ්‍රී ලාංකික ප්‍රජාව මෙරට ආර්ථිකයට විදේශ විනිමය උපයන ප්‍රධානතම ශක්තියක් වන බැවින්, මෙවැනි නීතිමය අර්බුදවලදී ඔවුන්ට ක්ෂණික නීති ආධාර සහ රාජ්‍ය තාන්ත්‍රික රැකවරණය සැලසීමේ යාන්ත්‍රණයක් තවදුරටත් ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සැලකේ.







