තත්පර 5ක නව තරගාවලි වාර්තාවක් සමගින් චීනයේ පුංචි ශූරිය මීටර් 200 සමනලආර ඉසව්වේ කිරුළ පළඳී; සත්කාරක ජපානයට පළමු රන් පදක්කම තුන්ප්‍රයාම ඉසව්වෙන්.
පැරණි වාර්තාව බිඳ දමා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් බලාපොරොත්තු දල්වන 13 හැවිරිදි පිහිනුම් තාරකාව; හොජෝ ජපානය වෙනුවෙන් සත්කාරක භූමියේ පළමු රන් ජය වාර්තා කරයි.
13 හැවිරිදි පිහිනුම් ශූරියක් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.
චීනයේ නැගී එන ආශ්චර්යය වන යූ සිඩි (Yu Zidi) ජපානයේදී මීටර් 200 සමනලආර පිහිනුම් ඉසව්වේ ඉහළම ස්ථානය හිමි කර ගත්තේ වාර්තාගත කාලයක් සටහන් කරමින්. මේ පුංචි ශූරියගේ ජයග්‍රාහී කාලය වී තිබුණේ මිනිත්තු 2යි තත්පර 5.08ක්. මෙය ආසියානු ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් වන අතර එමගින් කළින් තිබූ වාර්තාව තත්පරයෙන් භාගයකට ආසන්න කාලයකින් මැකී යනවා.
මේ ඉසව්වේ පැරණි වාර්තාව චීනයේ ම සංග් යූෆී (Zhang Yufei) මීට වසර තුනකට පෙර පිහිටුවා තිබුණා.
යූ සිඩි, රිදී පදක්කම හිමිකර ගත් චන්ග් මෝහන් ට වඩා තත්පර තුනකට වැඩියෙන් ඉදිරියෙන් සිටීම විශේෂත්වයක්. මේ ජයග්‍රහණය එතරම් ගණනකට නොගත්, ලබන ඔක්තෝබරයේ 14 වැනි වියට පා තබන යූ සිඩි මීට වඩා හොඳ කාලයක් සටහන් කිරීමට නොහැකි වීම ගැන කලකිරීමට පත්ව සිටියා.

“මට මීඩා වඩා වේගයෙන් පිහිනන්න පුළුවන් කියලා මම අපේක්ෂා කරනවා. අද මම මගේ කාලය තත්පර 0.9කින් දියුණු කර ගත්තා. ඊළඟ වතාවේ මට මීට වඩා හොඳ වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් යූ සිඩි තරගයෙන් පසුව කියා සිටියා.
මේ දැරිය 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පෙලහර පානු ඇති බවට තිබෙන බලාපොරොත්තු දැනටමත් ඉහළ ගොස් තිබෙන අතර ඒ වන විටත් ඇයගේ වයස අවුරුදු 15ක්ව තිබෙනු ඇති.
පසුගිය වසරේ පැවති ලෝක ශූරතාවලියේදී යූ සිඩි මීටර් 200x4 නිදහස්ආර සහාය පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් එම තරගාවලියක ළාබාලතම පදක්කම්ලාභිනිය බවට පත්වන විට ඇගේ වයස වී තිබුණේ යන්තම් අවුරුදු 12ක්.

සත්කාරක ජපානයට පළමු රන් පදක්කම
මේ අතර, ජපානය ඔවුන්ගේ දේශයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ටකුමි හොජෝ (Takumi Hojo) පිරිමි තනි තුන්ප්‍රයාම ඉසව්ව ජයග්‍රහණය කර අයිචි-නගෝයා ක්‍රීඩා බිමේ වාර්තා කළ පළමු රන් පදක්කමෙන්.
30 හැවිරිදි හොජෝ තීරණාත්මක අවසන් දිවීමක යෙදෙමින් මිනිත්තු 52යි තත්පර 56කින් තරගය අවසන් කළේ චීනයේ සැං සිරුයි තත්පර නවයකින් පරදවමින්.

මේ ජයග්‍රහණය 2026 ආසියානු ක්‍රීඩා සත්කාරක දේශය ට අමරණීය මොහොතක් වූ අතර මේ දක්ෂතාවත් සමග හොජෝ මීට තෙවසරකට පෙර ඔහු ආසියානු ක්‍රීඩා උළෙලේ දිනා ගත් මිශ්‍ර සහාය රන් පදක්කමට තවත් රන් පදක්කමක් එක්කර ගත්තා.
හොජෝ රන් පදක්කම දිනා ගත් මෙවර පිරිමි තනි තුන්ප්‍රයාම ඉසව්වට මීටර් 750ක් දුර පිහිනීම, කිලෝමීටර් 20ක පාපැදි අදියරක් සහ කිලෝමීටර් 5ක දුර දිවීමක් ඇතුළත්ව තිබුණා.
ජලයෙන් පිටතට එද්දී සිවු වැනියට සිටි හොජෝ පාපැදි ධාවනයේ සිටියේ පස් වැනි ස්ථානයේ. එහෙත් අවසන් අදියරය වූ දිවීමේදී ඔහු සැං සමග කරට කර තරග වදිමින් තරගයේ අවසාන දුර ධාවනයේදී පෙරමුණට පැමිණියා.
මේ ජයග්‍රහණයත් සමග ටකුමි හොජෝ ට ලොස් ඇන්ජලීස් නගරයේ පැවැත්වීමට නියමිත 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ සුදුසුකම ලැබුණා.
(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු







