*නායකයන්ගේ සංවිධානාත්මක ගනුදෙනුවකින් ඔබ්බට ගොස්, පුරවැසියා සැබෑ දේශපාලන හවුල්කරුවකු කරගන්නා නව අර්ථයක් ගොඩනැඟීමට විපක්ෂයට හැකිවේද?
*පැරණි ප්‍රභූ කේන්ද්‍රීය බල ව්‍යුහයන් අලුත් නම්වලින් ප්‍රතිනිෂ්පාදනය කරනවාද, නැතහොත් ජනතාව අතට තීරණ ගැනීමේ බලය දෙනවාද යන්න තීරණාත්මකයි.
මෙරට විපක්ෂ දේශපාලනය මේ වන විට නැවතත් යම් සන්ධිස්ථානයකයක් කරා එළඹෙමින් තිබේ. සැප්තැම්බර් 17 වැනිදා මෙරට පළමු විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධනගේ එකසිය විසිවෙනි අනුස්මරණ උත්සවයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව දේශපාලන බලවේගයක් ලෙස ඉදිරියට යාම පිළිබඳව ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රශ්නය නැවතත් මතු වී තිබේ. එම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටීම මෙම දේශපාලන සංවාදයට තවත් අර්ථයක් එක් කළේය. එහෙත් මෙය සරලව පක්ෂ දෙකක් එකතු වීමේ ප්‍රශ්නයක් ලෙස කියවා අවසන් කළ හැකිද යන්න සැක සහිතය. ඇත්ත වශයෙන්ම මෙහි මතු වන වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනය අලුත් දේශපාලන සම්බන්ධතාවක් ගොඩනඟන්නේද, නැතහොත් පැරණි දේශපාලන සම්බන්ධතා සහ පැරණි බල ව්‍යුහයන්ම නව නාමයකින් නැවත ගොඩනඟන්නේද යන්නයි.
අන්තර්-ආත්මීය සම්බන්ධතාව සහ දේශපාලන පක්ෂයක සැබෑ පැවැත්ම

මෙම ප්‍රශ්නය තේරුම් ගැනීමට සාම්ප්‍රදායික බල දේශපාලන විග්‍රහයකට වඩා සංයෝජනතාවදී constructivist හෝ අන්තර්-ආත්මීය inter-subjective දේශපාලන දෘෂ්ටිකෝණයක් වැදගත් වේ. දේශපාලන පක්ෂයක් යනු කාර්යාලයක්, සාමාජික ලැයිස්තුවක්, නායකයෙකු සහ මැතිවරණ ලකුණක් පමණක් නොවේ. පක්ෂයක සැබෑ දේශපාලන පැවැත්ම ගොඩනැගෙන්නේ එය සහ ජනතාව අතර ඇතිවන පොදු අර්ථයන්, අනන්‍යතාවයන්, විශ්වාසයන් සහ අන්‍යෝන්‍ය පිළිගැනීම මතය. ජනතාව යම් පක්ෂයකට ඡන්දය දෙනවාට වඩා වැදගත් වන්නේ ඔවුන් එම පක්ෂය තමන් ද එහිම වූ කොටසක් වන පක්ෂයක් ලෙස දකිනවාද යන්නයි. එහි දේශපාලන ව්‍යාපෘතිය තමන්ගේ ජීවිතය, අපේක්ෂාව සහ අනාගතය සමඟ සම්බන්ධ කරගන්නවාද යන්නයි.
ප්‍රභූ කේන්ද්‍රීය ව්‍යුහයන් සහ සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය
මෙතැනදී ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන පක්ෂවල ඉතිහාසය නැවත කියවිය යුතුය. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පසුව ඒවායෙන් බිහි වූ විවිධ දේශපාලන ව්‍යාපාරත් දශක ගණනාවක් පුරා ජනතාව සමඟ දැඩි දේශපාලන සම්බන්ධතා ගොඩනඟා තිබුණි. එහෙත් කාලයත් සමඟ මෙම පක්ෂවල අභ්‍යන්තර බල ව්‍යුහයන් ක්‍රමයෙන් වඩාත් නායකත්ව කේන්ද්‍රීය සහ ප්‍රභූ කේන්ද්‍රීය ස්වභාවයක් ගත් බවට විවේචන මතුවිය. පක්ෂය ජනතාව සංවිධානය කරන ආයතනයක් වීම වෙනුවට, ජනතාව නායකත්වය අනුගමනය කරන සංවිධානයක් බවට පත්වීම එහි එක් ප්‍රතිඵලයකි.
එහිදී දේශපාලනයේ මූලික සම්බන්ධතාවක් වෙනස් වේ. එය නායකයා සහ ජනතාව අතර සම්බන්ධතාවයක් බවට පත්වෙයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ගැඹුරු අර්ථය නායකයෙකුට අනුගාමිකයන් සිටීම පමණක් නොවේ. පුරවැසියා දේශපාලන ක්‍රියාවලියේ සහභාගිවන්නෙකු වීමයි. ජනතාව දේශපාලන පක්ෂයකට සහය දක්වන පිරිසක් පමණක් නොව, එහි දේශපාලන අර්ථය නිර්මාණය කරන පිරිසක් විය යුතුය.
සජිත්–රනිල් සංවාදය: නායකත්ව තරඟයක්ද, දේශපාලන අනන්‍යතාවක්ද?
මෙය සජිත්–රනිල් සම්බන්ධතාවය පිළිබඳ වර්තමාන සංවාදයටද වැදගත් වේ. SJB සහ UNP අතර සම්බන්ධතාවය ගොඩනැඟීම පක්ෂ දෙකක සංවිධානමය එකතුවක් ලෙස පමණක් සැලකුවහොත්, එහි ප්‍රධාන ප්‍රශ්නය නායකයා කවුද යන්න බවට පත්වනු ඇත. සජිත්ද, රනිල්ද, නැතහොත් වෙනත් පුද්ගලයෙකුද යන ප්‍රශ්නය එවිට දේශපාලන සංවාදයේ කේන්ද්‍රයට පැමිණේ. එහෙත් අන්තර්-ආත්මීය දේශපාලන දෘෂ්ටියෙන් බැලූ විට එය ප්‍රශ්නයේ මතුපිට පමණි. වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ එම සන්ධානය කුමන ආකාරයේ දේශපාලන අනන්‍යතාවයක් ජනතාව සමඟ එක්ව ගොඩනඟන්නේද යන්නයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ අභියෝගයද එතැනින් තේරුම් ගත හැකිය. ඔහුට ඉදිරියේ ඇති ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බලය බෙදාගන්නේද නැද්ද යන්න පමණක් නොවේ. ඔහු නියෝජනය කරන බව පවසන දේශපාලනය පැරණි UNP දේශපාලන සංස්කෘතියේම දිගුවක්ද, නැතහොත් වෙනස් ආකාරයක දේශපාලන සම්බන්ධතාවයක්ද යන්න තීරණය කිරීමේ ප්‍රශ්නයයි. SJB යනු UNP තුළ ඇති වූ බෙදීමකින් බිහි වූ බලවේගයක් වුවද, එහි දේශපාලන අනාගතය තීරණය වන්නේ එය නැවත පැරණි පක්ෂ ව්‍යුහයට කොපමණ දුරකට එකතු වේද යන්නෙන් පමණක් නොවේ. එය තමන්ගේම නව දේශපාලන අර්ථයක් නිර්මාණය කරගන්නේද යන්නෙනි.
සන්ධානයක් යනු ඉහළ මට්ටමේ බල ගනුදෙනුවක් පමණක්ද?
මෙතැනදී “සන්ධානය” යන වචනයම විසංයෝජනය කළ යුතුය. පක්ෂ දෙකක් අතර ගිවිසුමක් ඇතිවීම සහ ජනතාව අතර නව දේශපාලන සම්බන්ධතාවයක් ඇතිවීම එකම දෙයක් නොවේ. පක්ෂ නායකයන් අතර ඇතිකරගන්නා සම්මුතියක් දේශපාලන සන්ධානයක් නිර්මාණය කළ හැකිය. නමුත් එය ස්වයංක්‍රීයව ජනතාවගේ විශ්වාසය, පිළිගැනීම සහ අයිතිවාසිකම පිළිබඳ හැඟීම නිර්මාණය කරන්නේ නැත. පක්ෂ දෙකක් එකතු වූ පමණින් ඒවාට සහය දක්වන ජනතාවගේ දේශපාලන අනන්‍යතාවයන් එකතු වන්නේද නැත.
එබැවින් සන්ධානයේ සැබෑ අභියෝගය සංවිධානික එකමුතුවට වඩා දේශපාලන අර්ථයක එකමුතුවක් නිර්මාණය කිරීමයි. එය සිදු නොවුණහොත්, පක්ෂ නායකයන්ගේ එකතුවක් ජනතාවට තවත් එක් ඉහළ මට්ටමේ බල ගනුදෙනුවක් ලෙස පෙනීමට ඉඩ තිබේ. පැරණි දේශපාලන චරිත සහ පැරණි දේශපාලන සංස්කෘතිය එකතු කර නව දේශපාලන විකල්පයක් නිර්මාණය කළ හැකිද යන්න එවිට ප්‍රශ්නයක් බවට පත්වේ.
මේ නිසාම සජිත්ට එරෙහිව හෝ සජිත් වෙනුවට චම්පික රණවක වැනි වෙනත් දේශපාලන චරිතයක් ඉදිරියට එන්නේද යන්න පිළිබඳව පවතින සංවාදයද වෙනත් ආකාරයකින් කියවිය යුතුය. විවිධ විපක්ෂ කණ්ඩායම් අතර බලය ගොඩනඟා ගැනීමේ උත්සාහයන් සහ නව සන්ධාන පිළිබඳ සාකච්ඡා දැනටමත් දක්නට ලැබේ. නමුත් මෙය එක් පුද්ගලයෙකු වෙනුවට තවත් පුද්ගලයෙකු තැබීමේ තරඟයක් ලෙස පමණක් කියවීමෙන් ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ගැඹුරු අර්බුදය නොපෙනේ. ප්‍රශ්නය වන්නේ කවුද නායකයා යන්නට වඩා, නායකත්වය නිර්මාණය කරන්නේ කවුද යන්නයි. එය පක්ෂ කාර්යාලවල සාකච්ඡා කරන නායකයන් කිහිපදෙනෙකුද, නැතහොත් දේශපාලන ක්‍රියාවලිය තුළ සහභාගි වන පුරවැසියන්ද?
ජනප්‍රියවාදයෙන් ඔබ්බට ගිය ‘සැබෑ ජනතා දේශපාලනය’
මෙහිදී “ජනතාවගේ දේශපාලනය” යන අදහසද සරල ජනප්‍රියවාදී වචනයක් ලෙස භාවිතා නොකළ යුතුය. ජනතාවගේ දේශපාලනය යනු ජනතාව ගැන කතා කිරීම නොවේ. ජනතාවට දේශපාලනය තුළ සැබෑ අයිතියක් ලබාදීමයි. ප්‍රතිපත්ති සකස් කිරීමේදී ජනතාවගේ අදහස් ඇතුළත් කිරීම, පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, අපේක්ෂකයන් තෝරා ගැනීමේදී විනිවිදභාවය ඇති කිරීම, තරුණයන්ට සහ කාන්තාවන්ට තීරණ ගැනීමේ අවකාශ ලබාදීම, ප්‍රාදේශීය මට්ටමේ සාමාජිකයන්ට බලය ලබාදීම සහ නායකත්වය ජනතාව ඉදිරියේ වගකීමට යටත් කිරීම වැනි ක්‍රියාවලියක් එහි අන්තර්ගත වේ.
ඒ අර්ථයෙන් ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණය පැවැත්වීමෙන් අවසන් නොවේ. මැතිවරණ අතර කාලය තුළ පක්ෂය තුළ සහ සමාජය තුළ ජනතාව සතු දේශපාලන භූමිකාවද එහි කොටසකි. “ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙන් අදහස් කරන්නේ ඡන්දය ඉල්ලීම පමණක් නම්, ජනතාව නැවතත් අනුගාමිකයන් බවට පත්වෙති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන බලයේ අවසාන මූලාශ්‍රය ලෙස ජනතාව පිළිගැනීමක් බවට පත්වන්නේ නම්, දේශපාලන පක්ෂයක ස්වභාවයම වෙනස් වේ.
මෙහිදී පැරණි දේශපාලන පක්ෂවල අර්බුදය හඳුනාගැනීම වැදගත්ය. UNP, SLFP හෝ ඒවායෙන් බිහි වූ පක්ෂ සියල්ලම එකම ආකාරයෙන් ක්‍රියා කරන බව පැවසීම නිවැරදි නොවේ. ඒවාට විවිධ ඉතිහාසයන්, ප්‍රතිපත්ති සහ සමාජ පදනම් තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයේ දිගු ඉතිහාසය තුළ පක්ෂය සහ ජනතාව අතර තිබූ සජීවී සම්බන්ධතාවය ක්‍රමයෙන් දුර්වල වූ බවට ඇති විවේචනය බැහැර කළ නොහැක. ජනතාව පක්ෂයේ අයිතිකරුවන් වෙනුවට ඡන්දදායකයන් බවට පත්වන විට පක්ෂය තමන්ගේ සමාජ පදනමම දුර්වල කරගනී.
එබැවින් SJB–UNP එකතුව පිළිබඳව අවසාන වශයෙන් ඇසිය යුතු ප්‍රශ්නය “කවුරු කා සමඟ එකතු වන්නේද?” යන්න නොවේ. “මෙම එකතුව ජනතාව සමඟ ගොඩනඟන නව සම්බන්ධතාවයක් තිබේද?” යන්නයි.

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ ඇති දේශපාලන අවකාශයද මෙහිදී කියවිය හැකිය. ඔහුට පැරණි දේශපාලන බලවේග සමඟ එකතුවීමෙන් පමණක් තම දේශපාලන ව්‍යාපෘතියට නව අර්ථයක් ලබාගත නොහැක. එසේම පැරණි බලවේගයන් සම්පූර්ණයෙන් බැහැර කිරීම පමණක්ද ප්‍රමාණවත් නොවේ. සැබෑ ප්‍රශ්නය වන්නේ පැරණි දේශපාලන ප්‍රාග්ධනය, අත්දැකීම් සහ සංවිධානික හැකියාවන් නව දේශපාලන සම්බන්ධතාවයක් තුළට ගෙන එන්නේ කෙසේද යන්නයි.
මෙය සජිත්ගේ පෞද්ගලික නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය ඔහු වටා ගොඩනැඟෙන දේශපාලන ප්‍රජාවේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. ජනතාව ඔහුගේ දේශපාලනයේ අනුගාමිකයන් පමණක් වන්නේ නම්, එය පැරණි දේශපාලන ආකෘතියේම නව අනුවාදයක් විය හැකිය. නමුත් ජනතාවට එම දේශපාලනය තුළ කතා කිරීමට, ප්‍රතිපත්ති හැඩගැස්වීමට, විවේචනය කිරීමට සහ තීරණ ගැනීමට සැබෑ අවකාශයක් ලැබෙන්නේ නම්, එවිට වෙනස් දේශපාලන සම්බන්ධතාවයක් ගොඩනැඟිය හැකිය.
විවිධත්වයේ හඬවල් සහ සංයෝජනතාවාදී දේශපාලන දැක්ම
මෙහිදී “ජනතාව” යනුවෙන් එකම මතයක් ඇති ඒකකයක් නොමැති බවද අමතක කළ නොහැක. ශ්‍රී ලංකාවේ සමාජය විවිධ පංති, ප්‍රදේශ, ජනවාර්ගික කණ්ඩායම්, ආගමික ප්‍රජාවන්, තරුණයන්, කාන්තාවන්, වෘත්තීය කණ්ඩායම් සහ ආර්ථික අත්දැකීම් ඇති පුද්ගලයන්ගෙන් සමන්විතය. එබැවින් ජනතාවගේ දේශපාලනය යනු “ජනතාව” නැමති අජීවී ඒකකයට ඒකීය හඬක් ආරෝපණය කිරීම නොව, ජනතාව අතර පවතින විවිධ හඬවල් අතර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ගොඩනැඟීම හරහා ජනතාව සක්‍රීය බලවේගයක් ලෙස පිළිගැනීමයි. මෙය අපි සංයෝජනතාවදී දේශපාලනයක් ලෙස හඳුනාගන්නා තත්වය සහ එහි වැදගත්ම අංගයකි. දේශපාලන ප්‍රජාවක් යනු දැනටමත් බිහිවී පවතින ස්වභාවික දෙයක් නොව, සංවාදය, අන්තර්ක්‍රියාව, පිළිගැනීම සහ පොදු අර්ථ නිර්මාණය තුළින් නිරන්තරයෙන් ගොඩනැඟෙන දෙයකි.
එබැවින් සජිත්–රනිල් සම්බන්ධතාවයේ අනාගතය පිළිබඳව දැනටමත් නිශ්චිත නිගමනයකට පැමිණීමට අප ඉක්මන් විය යුතු නැත. UNP සහ SJB අතර සම්බන්ධතාවයේ නිශ්චිත සංවිධානික ආකෘතිය, නායකත්වය සහ බලය බෙදාගැනීමේ ආකාරය පිළිබඳව තවමත් දේශපාලන සාකච්ඡා පැවතිය හැකිය. SJB නායකයන් සියල්ලන්ම එකම ස්ථාවරයක සිටින බවක් හෝ කිසියම් පිරිසක් රහසිගතව වෙනත් නායකයෙකු වෙත ගමන් කරන බවක්ද සාක්ෂි නොමැතිව ප්‍රකාශ කළ නොහැක. එවැනි අනුමානවලට වඩා වැදගත් වන්නේ මෙම පක්ෂ හා නායකයන් ජනතාව ඉදිරියේ ඉදිරිපත් කරන දේශපාලන ව්‍යාපෘතිය කුමක්ද යන්නයි.
විවේචනයෙන් ඔබ්බට ගිය ප්‍රතිපත්තිමය විකල්පයක අවශ්‍යතාව

අද විපක්ෂයේ ගැටලුව පක්ෂ සංඛ්‍යාව වැඩිවීම පමණක් නොවේ. එය 'පොදු දේශපාලන අර්ථයක්' පිළිබඳ ගැටලුවකි. ආණ්ඩුව විවේචනය කිරීම විපක්ෂයක අවශ්‍ය කාර්යයක් වුවද, විවේචනය පමණක් විකල්ප දේශපාලනයක් නිර්මාණය නොකරයි. ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, රාජ්‍ය පරිපාලනය, ජාතික සංහිඳියාව, විදේශ ප්‍රතිපත්තිය, තරුණ රැකියා, ඩිජිටල් ආර්ථිකය සහ සමාජ ආරක්ෂණය වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් වෙනස් ප්‍රතිපත්තිමය මාර්ගයක් ඉදිරිපත් කළ යුතුය. එම ප්‍රතිපත්ති ජනතාව සමඟ සංවාදයෙන් නිර්මාණය වන්නේ නම්, දේශපාලන පක්ෂය සහ ජනතාව අතර නව අන්තර්-ආත්මීය සම්බන්ධතාවයක් ඇතිවිය හැකිය.
අවසානයේදී ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනය ඉදිරියේ ඇති මූලික ප්‍රශ්නය සජිත්ද, රනිල්ද, චම්පිකද යන්න නොවේ. එම පුද්ගලයන් සහ ඔවුන් වටා ඇති දේශපාලන බලවේග කුමන ආකාරයේ දේශපාලන ප්‍රජාවක් නිර්මාණය කරන්නේද යන්නයි. පැරණි දේශපාලන පක්ෂවල අභියෝගය වන්නේ පැරණි නායකයන් වෙනුවට නව නායකයන් ඉදිරිපත් කිරීම පමණක් නොවේ. එහිදී ජනතාවට ලැබෙන දේශපාලන ස්ථානය වෙනස් කිරීමයි.
එබැවින් SJB–UNP එකතුව සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කරන ප්‍රධාන මිනුම පක්ෂ කාර්යාලයක ඇති කරගන්නා ගිවිසුමක් නොව, ජනතාව සමඟ ගොඩනඟන දේශපාලන සම්බන්ධතාවයයි. එය පැරණි බලවතුන්ගේ එකතුවක් පමණක් වුවහොත්, නව දේශපාලන නාමයක් යටතේ පැරණි දේශපාලනයම නැවත පැමිණිය හැකිය. නමුත් එය ජනතාවට තමන්ගේම දේශපාලන භූමිකාවක් ලබාදෙන නව සමාජීය සහ දේශපාලන සම්බන්ධතාවයක් බවට පත්වන්නේ නම්, එවිට එම සන්ධානයට වෙනස් අර්ථයක් ලැබිය හැකිය.
දේශපාලනයේ අවසාන බලය පක්ෂ නායකයන් සතුව නොව ජනතාව සතුව පවතින බව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහසයි. එබැවින් අද අවශ්‍ය වන්නේ ජනතාවට තමන් වෙනුවෙන් කතා කරන තවත් දේශපාලන නායකයෙකු පමණක් නොව, තමන්ට දේශපාලනය තුළ කතා කිරීමටත්, තීරණ ගැනීමටත්, ප්‍රතිපත්ති නිර්මාණය කිරීමටත් ඉඩ දෙන දේශපාලන සංස්කෘතියකි. එවැනි සංස්කෘතියක් නිර්මාණය කළ හැකිද යන්න මතම පැරණි පක්ෂවල අනාගතයත්, නව සන්ධානවල අර්ථයත්, ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉදිරි ගමනත් තීරණය වනු ඇත.

(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo
(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)







