leader s

විත්තිකරුවන් 24 දෙනෙකුගේ ඉරණම තීන්දු කෙරෙන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ තීරණය අභියස වින්දිතයන්ගේ බලාපොරොත්තුව

ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා සහිත නඩුවේ වසර දෙකහමාරක සාක්ෂි විභාගය නිමාවී තීන්දුව ප්‍රකාශයට සූදානම්

 


2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මොහොමඩ් නවුෆර් නොහොත් ‘නවුෆර් මවුලවී’ ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති ඓතිහාසික නඩුවේ තීන්දුව හෙට (22) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

 

මේ අතර, ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සාධාරණය සහ යුක්තිය ඉටුකරන ලෙස බලකරමින් මීගමුව පුරවැසි කමිටුව සංවිධානය කළ සාමකාමී විරෝධතාවක් අද (21) කටුවපිටිය හන්දියේදී පැවැත්විණි. එය පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව සත්‍යය සහ යුක්තිය ඉල්ලා ප්‍රදේශවාසීන් සහ වින්දිතයින් විසින් අඛණ්ඩව මාසිකව පවත්වාගෙන එනු ලබන 89 වැනි සාමකාමී විරෝධතාවයි. හෙට ප්‍රකාශයට පත්වන අධිකරණ තීන්දුව හරහා වින්දිත ජනතාවට සහ ඔවුන්ගේ පවුල්වලට නිසි සාධාරණයක් ඉටුවනු ඇතැයි තමන් දැඩි බලාපොරොත්තුවෙන් පසුවන බව විරෝධතාවට එක්වූවෝ අවධාරණය කළහ.  

 

චෝදනා 23,270ක් සහ විශේෂ ත්‍රිපුද්ගල අධිකරණය

 

මෙම නඩුව ලෝක අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක් තුළ විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කෙරුණු වැඩිම අධිචෝදනා සංඛ්‍යාව සහිත නඩුව ලෙස සටහන් වේ. නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,270ක් ගොනු කර තිබූ අතර, පිටු 5,000කට අධික වූ එම චෝදනා පත්‍රය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සකස් කර විත්තිකරුවන්ට භාර දෙන ලදී.  

 

නඩු විභාගය අතරතුර 17 වන විත්තිකරු බන්ධනාගාරයේදී මියයෑම හේතුවෙන් සංශෝධිත චෝදනා පත්‍රය අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියේය. වර්තමානයේදී නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග විය.  

නඩු විභාගය කඩිනම් කළ නෛතික සම්මුතිය  

පාස්කු ප්‍රහාර මාලාව හේතුවෙන් විදේශ සංචාරකයින් ඇතුළු පුද්ගලයන් 274 දෙනෙකු මියගොස් තවත් 577 දෙනෙකු තුවාල ලැබීමේ කරුණු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 420 වගන්තිය යටතේ විත්තිය විසින් අධිකරණය හමුවේ පිළිගැනීම නිසා, සාක්ෂිකරුවන් 3,000කට අධික පිරිසකගෙන් 547 දෙනෙකුගේ සාක්ෂි පමණක් කැඳවීමට හැකි විය. එමගින් නඩු විභාගය අනවශ්‍ය ලෙස දීර්ඝ වීම වැළකී ගිය අතර, රජයේ රස පරීක්ෂක වාර්තා, ඩී.එන්.ඒ වාර්තා සහ අධිකරණ වෛද්‍ය වාර්තා කේන්ද්‍ර කරගනිමින් පැමිණිල්ලේ සාක්ෂි විභාගය සාර්ථකව අවසන් කිරීමට අවකාශ සැලසිණි.  

 

නඩු විභාගයේ අවසන් අදියරේදී සහරාන්ගේ කණ්ඩායමේ හිටපු සාමාජිකයකු වූ රජයේ රහසිගත සාක්ෂිකරුවාගෙන් පැය ගණනාවක් පුරා හරස් ප්‍රශ්න විමසීම සිදුවූ අතර, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් අනන්‍යතාව හෙළි නොකිරීමට අධිකරණය දැඩි නියෝග නිකුත් කර තිබිණි. විත්තිකරුවන් බහුතරයක් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව, දෙපාර්ශ්වයේම ලිඛිත දේශන භාරගැනීම නිමාවට පත්විය.  

 

දේශීය හා ජාත්‍යන්තර අවධානය  

කොච්චිකඩේ, කටුවපිටිය, මඩකලපුව දේවස්ථාන මෙන්ම කොළඹ සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයට වසර හතකට ආසන්න කාලයක් සපිරෙන මොහොතක ප්‍රකාශයට පත්වන මෙම තීන්දුව කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව තිබේ. විශේෂයෙන්ම ජීවිතක්ෂයට පත්වූ විදේශීය සංචාරකයින් නියෝජනය වන රටවල තානාපති කාර්යාල මෙන්ම ජාත්‍යන්තර නීති නිරීක්ෂකයින් ද මෙම නඩු තීන්දුව දෙස විමසිල්ලෙන් බලා සිටියි.  

 

හෙට දිනයේදී ලබාදීමට නියමිත මෙම ඓතිහාසික නඩු තීන්දුව, මෙරට අධිකරණ පද්ධතිය තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේ මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් යුක්තිය සෙවීමේ දිගු ගමනේ ද තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත.

 

සබැඳි පුවත් : පාස්කු මහා නඩුවේ ඓතිහාසික තීන්දුව 22

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්